Monday, February 24, 2025

හොන්ෂුට උසස්වීමක් !

Must read

honshu

ශ්‍රී දළදා මාළිගාවට අයත් සතර මහා දේවාලවලින් එකක් ලෙස සැලකෙන මහනුවර ශ්‍රී පත්තිනි දේවාලයේ අභිනව බස්නායක නිලමේවරයා ලෙස ‍ ඓතිහාසික විල්බාව පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ තනතුර හොබවමින් සිටින , ‍කුරුණෑගල හොන්ෂු එන්ටර්ප්‍රයිසස්හි අධිපති හේමන්ත බණ්ඩාර හේරත් මහතා අද වැඩි ඡන්දයෙන් තේරී පත් විය.

​ඒ ශ්‍රී පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ තනතුර සදහා මහනුවර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී අද පැවැති ඡන්ද විමසීමකදීය. මහනුවර දිස්ත‍්‍රික් සහකාර බෞද්ධ කටයුතු කොමසාරිස් පරාක‍්‍රම ජයවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ පැවති මෙම ඡන්ද විමසීමේදී හේමන්ත බණ්ඩාර මහතාට ඡන්ද 16 ක් හිමි වූ අතර ඔහුගේ ප්‍රතිවාදියා ලෙස තරග කළ රොහාන් පරණගම මහතාට හිමි වූයේ ඡන්ද 02 ක් පමණි.

හේමන්ත බණ්ඩාර මහතා කුරුණෑගල ඓතිහාසික විල්බාව පත්තිනි දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙසද වසර හයක් තිස්සේ කටයුතු කරමින් සිටී. ඊට අමතරව කුරුණෑගල ඇත්කද විහාරයට අයත් පුරාණ ගලේබණ්ඩාර දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙසද වසර නවයක් තිස්සේ කටයුතු කරන්නේ හේමන්ත බණ්ඩාර මහතායි.

මහනුවර, ගලගෙදර ප්‍රදේශයේ දැනට පදිංචිව සිටින 48 හැවිරිදි වියෙහි පසුවන හේමන්ත බණ්ඩාර මහතා කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකි. 2002 වසරේ සිට 2006 වසර දක්වා කාලය තුළ කුරුණෑගල මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙසද ඒ මහතා කටයුතු කළේය.

හොන්ෂු එන්ටර්ප්‍රයිසස් නමින් ජපන් වාහන සහ වාහන අමතර ‍කොටස් අලෙවි කිරීමේ ප්‍රකට ව්‍යාපාරයක් හිමි හේමන්ත බණ්ඩාර මහතා කුරුණෑගල සහ ඒ අවට ප්‍රදේශවල ජනප්‍රිය වී සිටින්නේ ‘හොන්ෂු’ යන නමිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article