Sunday, January 19, 2025

හලාවත අවට විදුහල්පතිවරුන් සෞඛ්‍ය කාර්ය මන්ඩල වල දරුවන් ප්‍රතික්ෂේප කරයි

Must read

 

01 (1)
සෞඛ්‍ය කාර්ය මණ්ඩල වල සාමාජිකයින්ගේ දරුවන් සහ පවුල් වල අයවළුන්ව පාසල් වලට ඇතුළත් කර නොගැනීමට හලාවත අවට පාසල් කීපයක විදුහල්පතිවරුන් කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කරයි.
විදුහල්පතිවරුන් කීප දෙනෙකුම 15 වැනිදා අළුයම ඇතැම් ගුරුවරුන්ට මේ බව දැණුම් දී ඇතැයි ද උපුල් රෝහණ මහතා සදහන් කරයි.
මෙරට 13 වැනි කොවිඩ් මරණය පසුගිය 14 වැනිදා හලාවත මහා රෝහලෙන් වාර්තා විය.ඒ සමගම ඇතැම් විදුහල්පතිවරුන් මෙම තීරණය ගෙන ඇතැයිද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සදහන් කරයි.
තම සාමාජිකයින් මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් පසුගිය කාලය තුළ කොරෝනා රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සදහා විශාල කැප කිරීමක් කර ඇති බවත්,එවන් තත්ත්වයක් මත මෙවැති තීරණයක් ඇතැම් විදුහල්පතිවරුන් විසින් ගෙන තිබීම කනගාටුවට කරුණක් බවද හෙතෙම සදහන් කළේය
අප මේ සම්බන්ධයෙන් හලාවත කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක සද්ධාමංගල සුභසිංහ මහතාගෙන්ද විමසීමක් කළේය.“එවැනි කිසිදු තීරණයක් අපි මේ වන විට අරගෙන නැහැ.එමෙන්ම එවැනි උපදේශයක්ද ලබා දී නැහැ.කොවිඩ් 19 සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍ර ලේඛණය විධිමත්ව ක්‍රියාත්මක කරන ලෙස පමණක් අපි විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.″ යැයි ඒ මහතා පැවසීය.
ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතාගෙන්ද අප විමසීමක් කළේය.හෙතෙම මෙසේ පැවසීය.“කිසියම් විදුහල්පතිවරයෙකු එවැනි තීරණයක් අරගෙන තියනවා නම් හෝ ක්‍රියාත්මක කර තිබේ නම් එය වැරදියි. සෞඛ්‍ය කාර්ය මණ්ඩල පසුගිය කාලය තුළ සිදු කළ සේවාව අති විශාලයි. එවැනි තත්ත්වයක් මත ඔවුන්ගේ දරුවන් සහ පවුල් වල අය කොන් වන්නට ඉඩ ලබා නොදිය යුතුයි.පසුගිය දිනවල ඇතැම් පාසල් දරුවන් නිසි සෞඛ්‍ය උපදෙස් මත නීරෝධායනය වීමෙන් පසුව පාසල් වලට ඇවිත් තියනවා.අපි ඒ දරුවන්වත් පාසල් වලට ඇතුළත් කරගෙන අධ්‍යාපන කටයුතු ලබා දෙනවා.ඒ නිසා කිසියම් විදුහල්පතිවරයෙකු එවැනි තීරණයක් අරගෙන හෝ ප්‍රකාශයක් කර ඇත්නම් එය ඉතාමත්ම වැරදි ක්‍රියාවක් ලෙස දක්වන්න පුළුවන්.″

ජූඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article