ආරක්ෂක අංශ සතුව පැවති මුලතිව් ප්‍රදේශයේ ඉඩම් අක්කර 243 ක් ඒවායේ මුල් පදිංචිකරුවන් වෙත යළි පවරාදීම ඊයේ (25 දා) මුලතිව් විද්‍යානන්ද විද්‍යාලයේදී සිදුකෙරිණි.
මුලතිව් කේප්පාපිලව් ප්‍රදේශයේ පිහිටි සිවිල් වැසියන්ට අයත් ඉඩම් අක්කර 243 යළි පවරාදීම එහිදි සිදුකෙරිණි. ඊට අමතරව මුලතිව් දිස්ත්‍රික්කයේ තවත් පුද්ගලයින් 1350 දෙනෙකු වෙනුවෙන් ඉඩම් හිමිකම්පත් ප්රදානය කිරීම සහ ස්වයං රැකියාලාභීන් වෙත මුදල් ආධාර ලබාදීමද එදින සිදුකෙරිණ.
මෙම ඉඩම්වල අයිතිය පවරා දෙන ලෙසට ජනතාවගෙන් කෙරුණු ඉල්ලීම්වලට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි අදාළ ඉඩම් ඒවායේ මුල් පදිංචිකරුවන් වෙත පවරාදීම සිදුකෙරිණි. එහිදී අදහස් දැක් වූ මුලතිව් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශිවමෝහන් මහතා පැවසුවේ ආරක්ෂක අංශ සතුව පවතින අනෙකුත් ඉඩම්ද නිදහස්කොට මුල් පදිංචිකරුවන් වෙත ලබාදෙන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.
මුලතිව් දිස්ත්‍රික් ලේකම් රූපවති කේදීශ්වරන් මහත්මිය හා මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ඩබ්.බී.ඩී.පී.ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන්, පොලිස්පති පූජිත ජයසුන්දර , ජනාධිපති උපදේශක ප්‍රභා ගනේෂන් යන මහත්වරුන් සහ මුලතිව් ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ ප්රදේශවාසිහු පිරිසක්ද සහභාගි වී සිටියහ.