Saturday, January 18, 2025

සෝමා එදිරිසිංහ අද හවසම අවසන් ගමනත් යයි.

Must read

soma _ edirisingheඊ ඒ පී සමූහ ව්‍යාපාරයේ සභාපතිනි , අභාවප්‍රාප්තසෝමා එදිරිසිංහ මහත්මියගේ අවසන් කටයුතු අද දිනයේදීම සිදුකිරීමට නියමිතව තිබේ.

මේ වන විට බොරැල්ලේ සුලෙයිමන් ටෙරස් අංක 17 දරණ නිවසේ තැන්පත් කර ඇති සෝමා එදිරිසිංහ මහත්මියගේ දේහය අද පස්වරු 6 ට බොරැල්ල කනත්තේදී ආදාහනය කරන බව පවුලේ ඥාතීහු කියති.

සෝමා එදිරිසිංහ මහත්මියගේ දේහය අද දිනයේදීම ආදාහනය කිරීමට තීරණය කර ඇත්තේ ඇය ජීවත් වී සිටි කාලයේ කරනු ලැබූ ඉල්ලීමකට අනුව බවද පවුලේ ඥාතීහු කියති.

1939 වසරේ ජූලි 5 වැනිදා මීගොඩදී උපත ලැබූ සෝමා එදිරිසිංහ මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ මීගොඩ රජයේ පාසලෙනි.

සිය සැමියා වූ ඊ.ඒ.පී. එදිරිසිංහ මහතාගේ අභාවයෙන් පසුව ඇය ඊ.ඒ.පී. එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට නායකත්වය දෙමින් ශ්‍රී ලංකාව පුරා ව්‍යාපාරික කටයුතු මෙන්ම සමාජ සේවා කටයුතු වලද නිරත වූවාය. එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්, ස්වර්ණ මහල්, එදිරිසිංහ ඩිවලොපර්ස්, ඊ.ඒ.පී.සිනමා, ඊ.ටී.අයි. ෆිනෑන්ස්, සුව නෙත අක්ෂි රෝහල ආදී ආයතන රැසක හිමිකාරිත්වය හෙබවූ ඇය ජනසරණ, සිංහ සමාජ, පුනර්ජීව ඇතුළු සමාජ සේවා සංවිධාන රැසක නායකත්වයද හෙබවූවාය.

සෝමා එදිරිසිංහ මහත්මිය මෙරට සිනමා ක්ෂේත්‍රය වෙනුවෙන් විශාල සේවයක් කළ අතර ඇයගේ මූලිකත්වයෙන් ඊ.ඒ.පී සමාගම චිත්‍රපට 12 ක් නිෂ්පාදනය කළාය. ධවල පුෂ්පය, සෙයිලම, වීසිදැල, කිණිහිරියා මල්, රෝස වසන්තේ, සලෙලු වරම, ඉර මැදියම, අසනි වර්ෂා, හාර්ට් එෆ්එම්, සර් ලාස්ට් චාන්ස් වැනි චිත්‍රපට රැසක් ඇය නිෂ්පාදනය කළ අතර ඒ වෙනුවෙන් සරසවි සම්මාන 3ක්ද දිනා ගත්තාය.

ජීවක, නාලක, අසංක යන පුතුන් තිදෙනාගේ හා දීපා දියණියගේ මව වූ ඇය 1974 වසරේදී සිංහ සමාජයේ සාමාජිකත්වය ලබාගනිමින් සමාජ සේවා කටයුතු ඇරඹුවාය. වසර කිහිපයක්ම සිය සේවය වෙනුවෙන් සිංහාධිපතිනිය යන ගෞරව සම්මානයට පාත්‍රවූ සෝමා එදිරිසිංහ මහත්මිය දෙස් විදෙස් කීර්තියට පත් සමාජ සේවිකාවක හා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ හිණිපෙත්තටම නැගි කාන්තාවක වූවාය.

වසර 2005 දී විවෘත විශ්ව විද්‍යාලය විසින් ඇය ආචාර්ය පදවියකින්ද පුදනු ලැබූ සෝමා එදිරිසිංහ මහත්මිය දේශබන්ධු, දේශශක්ති යන ගෞරව නාමයන්ද ලබා සිටියාය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article