මීට සතියකට පමණ පෙරදී පැවිදි දිවියට පිවිසි සාමණේර හිමිවරුන් 75 නමක් උදෙසා පළමු දන් පිළිගැන්වීම දොඩම්ගස්ලන්ද රාජකීය විද්‍යාලයේදී පසුගියදා සිදුකෙරිණි.
මෙලෙස දන් පිළිගැන්වුණේ කුල දරුවන් පන්සියයක් සසුන් ගතකිරීමේ ජාතික වැඩසටහන යටතේ අනුරාධපුර, රුවන්වැලි මහා සෑය අසලදී මැයි මස 2 වැනිදා පැවිදි දිවියට පත් සාමණේර හිමිවරුන් 75 නමක් වෙනුවෙනි.
රුවන්වැලි සෑය අසලදී පැවිදි බව ලැබූ සාමණේර හිමිවරුන් 75 නමක් රම්බඩගල්ල, මොණරාගල විද්‍යාසාගර පිරිවෙන වෙත මේ වනවිට වැඩම කර සිටිති. උන්වහන්සේ එම පිරිවෙනෙහි වැඩවසමින් අධ්‍යාපනය ලැබීමට නියමිතව සිටිති. පැවිදිවීමෙන් පසුව පළමු සතිය තුළ සාමණේර පුහුණුව ලැබූ මෙම සාමණේර හිමිවරුන් 75 දෙනා දානයක් පිළිගැනීම සදහා පළමුවරට වැඩමවනු ලැබුවේ දොඩම්ගස්ලන්ද රාජකීය විද්‍යාලය වෙතය.
රිදීගම නගර මධ්‍යයේ සිට පෙරහැරින් විද්‍යාලය කරා වැඩමවනු ලැබූ සාමණේර හිමිවරුන් මහත් බැතියෙන් පිළිගත් ගුරුවරුන්, සිසුන් සහ මව්පියන් විසින් උන්වහන්සේ වෙත දන් පැන් පිළිගැන්වූහ.
දොඩම්ගස්ලන්ද රාජකීය විද්‍යාලයේ විදුහල්පති ජගත් එම් ජයසේකර මහතාගේ උපදෙස් මත විද්‍යාලයිය ආචාර්ය මණ්ඩලයේ සහ සිසු සිසුවියන්ගේ සහයද ඇතිව ප්‍රාථමික අංශ දරුවන්ගේ මව්පියන් විසින් මෙම පින්කම සංවිධානය කර තිබිණි.