මේ දිනවල ඇති දැඩි සුළං සමග මහවැව – තොඩුවාව මුහුදු තීරණය නැවත වතාවක් උග්‍ර ලෙස ඛාදනය වීමට පටන් ගෙන ඇත.
තොඩුවාවේ සිට උතුරු දෙසට කිලෝ මීටර් 01 ක් පමණ දුරක් මීටර් 400 ක පමණ කොටසක් මේ වන විට මුහුදට බිලිවී ඇති බව ප්‍රදේශයේ ධීවරයින් සදහන් කරයි.මුහුදු වෙරළ ආසන්නයේ ඉදිකර තිබූ කුඩා ප්‍රමාණයේ කතෝලික වැදුම් පිදුම් කරන ස්ථානයක්,මාර්ගයක්ද මේ වන විට මුහුදට බිලිවී ඇති අතර,තොඩුවාව ක්‍රීඩාංගනයද ක්‍රමයෙන් ඛාදනය වෙමින් පවතින බවක්ද දක්නට ඇත.
“දැන් සමහර අය ඇවිත් කියනවා අපි ඉන්නේ මුහුද අයිනේ ගෙවල් හදාගෙන කියලා. ඒත් ඇත්ත කථාව ඒක නෙමෙයි.අපි ඉස්සර මේ හරියේ එල්ලේ ගහනවා. එතකොට හිතා ගන්න කෝ ගෙවල් වලට කොච්චර දුරින්ද මුහුද තිබිලා තියෙන්නේ කියලා.අපේ ගෙවල් එකම තැන තිබුණට මුහුද ටික ටික ගමට ඇවිත් තියනවා.අන්න ඒකයි වෙලා තියෙන්නේ.ගෙවුණු කාලයට මීටර් 400 කට වැඩි ප්‍රමාණයක් මුහුද කඩා ගෙන ඇවිත් තියනවා.අපි මේ ගැන කී දෙනෙකුට නම් කීවද?දැන් බලන්න මුහුද ගෙවල් ළගටම ඇවිත්.අපිට යන්න එන්න තැනක් නැහැ.හෙට අනිද්දා වාරකන් කාලය පටන් ගන්නවා.එතකොට වෙන්නේ මුහුද ඇවිත් මේ ගෙවල් ටිකත් කඩා ගෙන යන එකයි…..” අපහසුතාවයට පත්ව සිටින ධීවරයෙකු කියා සිටියේය.
“සුනාමි වෙලාවෙවත් මේ සුරුවමට හානියක් වුනේ නැහැ.ඒත් අද ඒකත් කඩලා ගියා.අපි හැමදාම හවසට ඇවිත් යාඥා කළේ මෙතන.දැන් එහෙම තැනකුත් නැහැ.විනාශයක් වෙන්න පුළුවන් කියලා අපි ලොකු ලොකු අයට කියලා ගොඩාක් කල්.මොකද අපිට වැඩේ තේරුණා.ඒත් කිසිම කෙනෙක් ඒ ගැන අවදානයක් යොමු කළේ නැහැ.ඒ නිසා තමයි මේ විනාශය අද වෙලා තියෙන්නේ.”තවත් කාන්තාවක් කියා සිටියාය.
සිදු වෙමින් පවතින විනාශය සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව විසින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැණුවත් කිරීමට කටයුතු කර ඇත.එහි ප්‍රතිඵලයක් ලෙස ඛාදනය වෙමින් පවතින ස්ථාන කීපයකට කළු ගල් වැටි යෙදීම ආරම්භ කර ඇත.නමුත් එය ප්‍රමාණවත් නොවන බව ප්‍රදේශයේ ධීවරයින්ගේ මතය වී ඇත.
“මේ වෙලාවේ පවතින අවදානම ගැනවත් හිතන්නේ නැතිව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අය ඇවිත් ගල් වැටි දානවා. නමුත් ඒක ප්‍රමාණවත් නැහැ. ඔය ගල් වැටිය තොඩුවාව මෝය දක්වාම දාන්න ඕනා.එහෙම නැත්නම් වෙන්නේ මුහුද උතුරු පැත්තට කඩා ගෙන එන එකයි.එතකොට වෙන්නේ මුහුදට ආසන්නයෙන් තියන මේ පාරවල්,ගෙවල්,ධීවර වාඩි ඔක්කෝම කඩා ගෙන යන එකයි.ඒ නිසා තමයි අපි මීට කලින් මේ ගැන පෙන්වලා දුන්නේ.එදා ක්‍රියාත්මක වුනානම් අද මේ විනාශය වෙන්නේ නෑ…..”තොඩුවාවේ පදිංචි තවත් ධීවරයෙකු කියා සිටියේය.
තොඩුවාවේ පදිංචිකරුවන් බහුතරයක් ධීවරයින්ය.ඔවුන් මුහුද අද්දර පදිංචිව සිටින්නේ ඒ නිසාය.මුහුදට යන තම ධීවර යාත්‍රාව ගාල් කිරීමට,මසුන් බේරා අලවි කිරීමට එය ඉතා පහසු ක්‍රියාවක් වන නිසාය.ධීවරයින් බහුතරක් මුහුදට ආසන්නයෙන් පදිංචිව සිටීමට සත්‍ය හේතුව එයයි.එමෙන්ම මුහුදු වෙරළද ඔවුන්ට අවශ්‍යමය.මන්ද මුහුද සහ වෙරළ යනු තමන්ගේ ජීවිතය හා බද්ධව පවතින බැවිනි.
මේ වලාල සමයේ අවසානයයි.තවත් දින 10 කින් පමණ උදා වන්නේ වාරකන් සමයයි.වාරකන් සමයේදී මුහුද තවත් රළු වී යන්නේය.එවිට මීටත් වඩා විනාශයක් සිදු විය හැකි බවට ධීවරයින් අනතුරු හගවයි.සැබෑවකි.පෙර අත්දැකීම් ඇති ඔවුන් පවසන අනාවැකිය හෙට දිනයේ ඉටු වීමට බොහෝ විට ඉඩකඩ ඇත.ඊට පෙර වගකිව යුත්තන් ක්‍රියාත්මක නොවුවහොත් සිදුවීමට ඇති විනාශය අති මහත්ය.අප ඒ බව පමණක් මතක් කර සිටිමු
.
ජුඩ් සමන්ත.