Sunday, February 23, 2025

වෙන්නප්පුව සති පොළේ වෙළෙඳුන්ට ටෙන්ඩර්කරුවන්ගෙන් තර්ජන

Must read

වෙන්නප්පුව නගරයේ පොදු වෙළෙඳසැල බද්දට ගෙන ඇති පුද්ගලයන් විසින් වෙළෙඳුන් සුපුරුදු ස්ථාන වලින් ඉවත් කිරීමට උත්සාහ දරන බවත් මේ හේතුකොටගෙන පෙරේදා (09 ) වනදා සති පොළ තුළ යම් කලහාකාරී තත්ත්වයක් ඇතිවූ බව වෙළඳුන් පවසයි. වසර 25ක් පමණ වෙළඳාමේ යෙදී සිටි වෙළෙන්දෙකුට ඔහු වෙළදාම් කරන ස්ථානයෙන් ඉවත් වන ලෙස ටෙන්ඩරකරුවන් විසින් තර්ජනය කර පහරදීමට තැත්කර ඇති හේතුවෙන් අදාළ වෙළඳාම්කරු විසින් වෙන්නප්පුව පොලීසියට පැමීනිල්ලක් සිදුකර තිබේ.
2025 වසරේ වෙන්නප්පුව පොදු වෙළඳපොලේ ටෙන්ඩරය ලබාගෙන ඇත්තේ වෙන්නප්පුව වෙළඳ සංගමයෙන් වන අතර , එම සංගමයෙන් සති පොලේ කටයුතු සඳහා පුද්ගලයන් තිදෙනෙකුට බාරදී ඇති අතර , මෙම පුද්ගලයන් විසින් වෙළඳපොලේ ඉදිරිපස වෙළදාම් කරගෙන ගිය පුද්ගලයන් ඉවත්කර ඇත. වෙන්නප්පුව පොලට ඇතුළු වන පිවිසුම් මාර්ග දෙපස තිබූ කඩල කඩ,සරුවත් කඩ ආදිය මේ වන විට ඉවත්කර ඇති අතර සති පොළට ඉදිරිපස පාලු ස්වභාවයක් ගෙන තිබේ. වෙළෙඳුන් පවසන්නේ ටෙන්ඩර් කොන්දේසි අනුව බදු අයකිරීම හැරෙන්නට වෙළෙදුන් බලහත්කාරයෙන් කඩ ඉවත්කිරීමට ටෙන්ඩර් කරුට අයිතිවාසිකම් නොමැති බවයි. එමෙන්ම පෙර කාල වලදි වෙන්නප්පුව ප්‍රා.සභාව විසින් සතිපොළ බදුදීම සිදුකළ අතර මේ වනවිට ප්‍රා.සභාව විසින් ටෙන්ඩරය වෙළඳ සංගමයට හෝ වෙනත් පුද්ගලයන් හට පැවරීම හේතුකොට මෙම අලුත් ප්‍රශ්න පැන නැගී ඇති බවද ඔවුන් පවසයි.

වෙන්නප්පුව සති පොලේ පිටුපසට වන්නට ඇති බිම්කොටසෙහි වාහන නවතා තැබීමට අවශ්‍ය ඉඩකඩ වෙන්වි ඇති ආකාරය

වෙන්නප්පුව සති පොළේ ඇතිවී ඇති මෙම අර්බුදය නිසා පීඩාවට පත්වී ඇති ප්ලාස්ටික් බඩු වෙළදාමේ නිරතවන වෙළෙන්දෙකු දැක්වූ අදහස්.
මම මේ පොලේ රස්සාව කරන්නේ මට අවුරුදු 16 ඉදලා. දැන් අවුරුදු 25 ක ඉදන් මම මේ වෙන්නප්පුව පොළේ වෙළදාම් කරනවා. ඉස්සර වෙන්නප්පුව ප්‍රා.සභාවෙන් පොළ කරද්දී අපිට මෙහෙම කරදර තිබුණේ නෑ. දැන් අලුතින් බදු දීපු මිනිස්සු ඇවිත් එකපාරටම අපිව මේ තැන්වලින් එලවනවා. ගහන්න යනවා, එයාලා අපිව චන්ඩි පාට් එකෙන් ඉවත්කරන්නයි යන්නේ. ඒ අය කියනවා මට මේ වෙළඳාම අරන් කරවල වීදිය තියෙන පැත්තට යන්නලු. එතකොට මට වෙන පාඩුවට කවුද ගෙවන්නේ. මම මේ වෙද්දී ලක්ෂ 4කට වඩා බඩු අරන් තියෙනවා. 2024 අවුරුද්දේ මම මෙතෙන්ට ගෙව්වා රු 3500ක්. දැන් අලුත් ටෙන්රඩය ගත් අයට මම ගෙව්වා 2025 අවුරුද්දට රු 5000ක්. ඒ වර්ග අඩි 50ට. අපිට ගාන වැඩි කළත් අපි ගෙවනවා. නමුත් අපිව බලෙන් ඉවත් කරන්න මේ ගොල්ලන්ට බෑ. අපිට දීලා තියෙනවා ප්‍රා.සභාවෙන් ටෙන්ඩරය දුන්න පුද්ගලයන්ට දීලා තියෙන ගිවිසුම. ඒකේ හැටියට අපිව ඉවත්කරන්න එයාලට බෑ. මේ තියෙන්නේ මම මේ පාර ගත්ත බඩු වල බිළ. ඊයේ හවස ඇවිත් ටෙන්ඩර් ගත්ත පුද්ගලයන් මට මෙතනින් ඉවත් වෙන්න කියලා තර්ජනය කලා. මම දැන් ඒකට වෙන්නප්පුවේ පොලීසියට ගිහින් පැමිණිලි කළා. ඒ වගේම අපි කුරුණෑගල පළාත් සභාවේ කොමසාරිස්වරියටත් මේ ගැන දැනුම් දුන්න. අද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න කොමසාරිස්වරයා වෙන්නප්පුව ප්‍රා.සභාවට එන්න නියමිතයි. මමත් ඇතුළුව පොළේ තවත් වෙළෙන්දෝ මුහුණ දීලා තියෙන මේ ප්‍රශ්න ඔක්කොම අපි එතනදී ඉදිරිපත් කරනවා.

ප්‍රා.සභාවේ බදු ගිවිසුමේ කරුණු කිහිපයක්

නව ටෙන්ඩර්කරුවන් විසින් වෙන්නප්පුව සති පොලේ භුමිය බිම් කඩවල් අලුතින් ලකුණු කර ඇති ආකාරය

වෙන්නප්පුව සති පොළ පැවැත්වෙන දිනයට පොලේ පිවිසුම දෙපස කඩල කඩ,සරුවත් කඩ මෙන්ම ප්ලාස්ටික් බඩු වෙළෙන්දන්ගෙන් පිරී තිබූ භුමිය මේ වන විට හිස්ව පවතී. සමහර වෙළෙන්දන් ඉවත්කර ඇති බවත් වෙළෙදපොළක් තිබෙනවාද කියා මිනිසුන්ට දැකගැනීමටවත් දැන් වෙළෙන්දන් ඒ අවට නොමැති බවත්,ඉදිරියේදී වෙන්නප්පුව සති පොළ ඉබේම අභාවයට යනු ඇති බවත් වෙළෙන්ඳුන් අප හා පවසන ලදී.

සබැදි පුවත්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article