Saturday, September 21, 2024

වෙන්නප්පුව නගරය අඳුරේ

Must read

දැනට මාස ගණනාවක සිට වෙන්නප්පුව ප්‍රදේශයේ විශේෂයෙන්ම වෙන්නප්පුව නගරයේ කොළඹ- හලාවත ප්‍රධාන මාර්ගයේ ස්ථාපිතව ඇති වීදි ලාම්පු බොහෝමයක් ක්‍රියාත්මක නොවන බව වාර්තා වුණි. මේ පිළිබඳව නගරය වෙසෙන බොහෝ දෙනෙකු පවසන්නේ වෙන්නප්පුව වැනි ආර්ථික වශයෙන් වැදගත් සහ ජනාකීර්ණ නගරයක් රාත්‍රී කාලයට මෙලෙස අඳුරේ පැවතීමට මූලික වී ඇත්තේ ප්‍රාදේශීය සභාවේ පවතින අකාර්යක්ෂමතාවය බවයි. ඊට හේතු ලෙස ඔවුන් දක්වන්නේ වෙන්නප්පුව නගරයේත් නගරයට ආශ්‍රිත ගම් ප්‍රදේශවලත් සවිකර ඇති වීදි ලාම්පු ක්‍රියා විරහිත වූ විට ඒ සඳහා නව විදුලි බල්බ ලබාදීම කඩිනමින් සිදු නොවන බවයි. එමෙන්ම සමහර අය චෝදනා කරන්නේ, වීදි ලාම්පු ක්‍රියා විරහිත වී ඇත්තේ විදුලි රැහැන් පද්ධතියේ ගැටළුවක් නිසා නම් ඒ පිළිබඳව විදුලි බල මණ්ඩලයේ නඩත්තු අංශයට ඉක්මනින් වාර්තා කර ඒ සඳහා කඩිනමින් මැදිහත් වී එම තත්ත්වය යථා තත්ත්වයට පත් කරන්නට ප්‍රාදේශීය සභාවේ ඉක්මන් උත්සුක වීමක් දක්නට නොලැබෙන බවයි. මේ හේතූන් නිසාම වෙන්නප්පුව නගරය සහ නගරය ආශ්‍රිත ගම් ප්‍රදේශ රාත්‍රී කාලයේ බොහෝවිට පවතින්නේ අඳුරේය.

            වෙන්නප්පුවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අප වෙත කියා සිටියේ විදුලි බල මණ්ඩලයෙන් වෙන්නප්පුව නගරයේ  සහ නගරය ආශ්‍රිත ගම් ප්‍රදේශවල වීදි ලාම්පු දැමීම සඳහා  වැය වන විදුලිය සම්බන්ධයෙන් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට ලබා දී ඇත්තේ ස්ථාවර මිල ගණනක් බවයි. එහෙයින් වීදි ලාම්පු දැල්වුවත් නැතත් එම මාසික  විදුලි බිල වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව විසින් විදුලි බල මණ්ඩලය වෙත අනිවාර්යෙන් ගෙවිය යුතුමය. ඒ අනුව නගරයේ පවතින මෙම වීදි ලාම්පු ප්‍රශ්නය  ප්‍රාදේශීය සභාවේ මුදල් සම්බන්ධ ප්‍රශ්නයක් නොවන බවත් ප්‍රාදේශීය සභාව මේ ගැටළුව සඳහා මැදිහත් වන ආකාරයේ පවතින අකාර්යක්ෂමතාවය පිළිබඳ ගැටළුවක් බව ඔහුගේ අදහසයි.
          වෙන්නප්පුවේ වීදි ලාම්පු ගැටලුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ තවත් අයෙකු කියා සිටියේ වෙන්නප්පුව නගරයේ පවතින්නේ මෙයට වසර ගණනාවකට කලින් සවිකල අඩු එළියක් සහිත වීදි ලාම්පු පද්ධතියක් බවයි. එහෙත් මේ වන විට වෙන්නප්පුව නගරයේ සහ නගරයට ආශ්‍රිත මාර්ග පද්ධතිය පුළුල් වී කාපට් කර ඇති නිසා එම අඩු එළිය සහිත වීදි ලාම්පු පද්ධතිය ඉවත්කර වැඩි එළියක් සහිත නව වීදි ලාම්පු පද්ධතියක් සවිකිරීමට කාලය එළැඹ ඇති බව ඔහුගේ අදහසයි. එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසන්නේ වෙන්නප්පුව මේ වන විට සුපිරි මට්ටමකට දියුණු වී ඇති නිසාත් එමෙන්ම නගරය පෙරට වඩා ජනාකීර්ණ වීම නිසාත් කටුනායක ගුවන් තොටුපළ මාර්ගයේ ස්ථාපිත කර ඇති ආකාරයේ නව වීදි ලාම්පු පද්ධතියක් වෙන්නප්පුව නගරය සහ නගරයට ආශ්‍රිතව  ඇති මාර්ගවලට ඉතා ඉක්මනින්ම ස්ථාපිත විය යුතු බවයි.

         වෙන්නප්පුව නගරයේ සහ නගරය අවට මාර්ග පද්ධතියේ සවිකර ඇති වීදි ලාම්පු සම්බන්ධයෙන් ඇති ⁣වී තිබෙන මෙම ගැටලුව සම්බන්ධයෙන් විමසීම සඳහා අප වෙන්නප්පුව  ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමන් දුරකථනයෙන් සම්බන්ධ කරගත්තෙමු. එහිදී ඔහු කියා සිටියේ වෙන්නප්පුව නගරයේ සහ නගරයේ අවට  වීදි ලාම්පු සම්බන්ධයෙන් පැන නැගී ගැටළු සඳහා ඕනෑම අයෙකුට ප්‍රාදේශීය සභාවට පැමිණිලි කළ හැකි බවයි. එලෙස පැමිණිලි කර දින දෙකක් යාමටත් මත්තෙන් ඒවා යථා තත්ත්වයට පත් කිරීමට ප්‍රාදේශීය සභාව කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පවසන ලදී. එමෙන්ම අප ලේකම්තුමන්ගෙන් දැනට මාස ගණනක සිට වෙන්නප්පුව නගරයේ හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගයේ බොහෝ ස්ථානවල  වීදි ලාම්පු ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් විමසූ විට ඔහු කියා සිටියේ ඒ පිළිබඳව ඉක්මණින්ම සොයා බලන බවයි.
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article