වර්තමාන පාර්ලිමේන්තුව පිරිසිදු කරන්න කාලය ඇවිත් තිබෙනවා. හරවත් විවාදයක් කරන්න හැකියාවක් තිබෙන,ඇත්ත කථා කරන පිරිසක් අවශ්‍ය වන්නේ නම් පත් කළ යුතු කණ්ඩායම සිටින්නේ තම කණ්ඩයමේ බව ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඉකුත් 25 වැනිදා සවස හලාවත පැවති ජාතික ජන බලවේගය සමුළුව අමතමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියේය.
වැඩිදුරටත් කථා කළ ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.
කාලෙන් කාලෙට ආණ්ඩු වෙනස් වෙනවා.ජනතාව හිතාගෙන ඉන්නේ ආණ්ඩුව වෙනස් වෙන කොට වැඩ කටයුතු සියල්ල වෙනස් වෙයි කියලයි. නමුත් සිද්ධ වෙන්නේ පරණ මුහුණු ටිකම ආපහු එතෙන්ට යන එකයි.ඒ අය ගිහිං කරන්නේ පරණ බෙරේම ඒ තාලෙටම නැවතත් ගහන එකයි.ජනතාව ආණ්ඩුවක් හදන කොට විශාල බලාපොරොත්තුවක් තියා ගන්නවා.නමුත් සිද්ධ වෙන්නේ වෙනත් දෙයක්.
පොහොට්ටුවෙන් හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හරි සාමාජිකයින් අළුතින් ආණ්ඩුවක් හදන්නේ විනාශකාරී දේවල් කරන්න නෙමෙයි.ජනතාවගේ අපේක්ෂාව හොදයි.ඒ අයගේ බලාපොරොත්තුව නරක නැහැ.නමුත් නරක ජනතාවගේ ඡන්දය අරගෙන බලයට එන පිරිසයි.
ඒ නිසා අපේ කිසිම කෙනෙක් ගමේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හරි, මහින්ද මහත්තයාගේ හරි,එක්සත් ජාතික පක්ෂයේ හරි රණ්ඩුවට යන්න එපා.ඒ අයත් එක්ක තරහ වෙන්නත් එපා.ගිහිං අහන්න එපා දැන් සැපද කියලා. දන්නවානේ තිබෙන්නේ දුක කියලා.ඒ අයට කියලා දෙන්න ඔබේ බලාපොරොත්තුව හොදයි,නමුත් තෝරා ගන්නා කෙනො තමයි නරක කියලා. ඒ අයට කියලා දෙන්න ඕනේ ඔබේ බලාපොරොත්තුව සහ අපේක්ෂාව සමපාත වෙන්න නම් කළ යුතු වන්නේ අරමුණ ඉටු කරන්න හැකි ආණ්ඩුවක් හදන එකයි කියලා.අන්න එදාට හැකියාව තිබෙනවා ජාතික ජන බලවේගය රජයක් රට තුළ ස්ථාපනය කරන්න.
මැතිවරණ සිතියම අනුව මහා මැතිවරණය පැවැත්විය යුතුතේ ලබන සැප්තැම්බර් මාසයේ.නමුත් රජය ඉක්මනට මැතිවරණයකට යන්නේ ඇයි.ඒ අය ජනතාවට දුන්න කිසිදු බලාපොරොත්තුවක් ඉටු කරන්න බැරිව ගිය නිසයි හදිසියේම මැතිවරණයකට යන්නේ.අනිත් කරුණ වන්නේ වැඩි බදු බරක් ජනතාවට පටවලා මැතිවරණයකට යන්න හැකියාවක් නැහැ.ඒ නිසා සිද්ධි වෙන්නේ මැතිවරණය අවසන් වී දවස් කීපයක් යන විට ලොකු බදු බරක් ජනතාව මත පටවන එකයි.
ඉදිරියේදී ආණ්ඩුව කරන්නේ කව්ද කියන එක මේ වන විට ඉතාමත්ම පැහැදිලි දෙයක්.ඒ අය ආණ්ඩුව හදලා ඉවරයි.එහෙම නම් අපි කළ යුතු වන්නේ ශක්තිමත් විපක්ෂයක් හදන්න කටයුතු කරන එකයි.එක්සත් ජාතික පක්ෂයට මේ ටික කරන්න බැහැ.මොකද ආණ්ඩුව හැදුවාට පස්සේ ලොකු පිරිසක් ඉන්නවා දෑත් ශක්තිමත් කරන්න ඒ පැත්තට යන්න බලාගෙන.ආණ්ඩුව වැරදි අණ පනත් හදනවා නම්,ලොකු බදු බරක් පටවලා ජනතාවට හානියක් කරන්න හදනවා නම් ඊට විරුද්ධය පාර්ලිමේන්තුව තුළ හඩක් නැගිය හැකි පිරිසක් තමයි පාර්ලිමේන්තුවට යවන්න ඕනේ.ජනතාවට ලොකු බරක් දැණුහම කරන්නේ පාරට බහින එකයි.එතකොට ආණ්ඩුව කරන්නේ පාරට බැහැපු ජනතාව මර්ධනය කරන්න කටයුතු කරන එකයි.අපි කළ යුතු වන්නේ ජනතාව පාරට බස්සනවා වෙනුවට ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කථා කරන්න පුළුවන්, හඩක් නැගිය හැකි කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යවන එකයි.ඒක කරන්න හැකියාව තිබෙන්නේ ජාතික ජන බලවේගයේ කණ්ඩායමට පමණයි.
ඕනම වාර්තාවක් අරගෙන බැළුවොත් අපේ රට දුප්පත්.අපේ අම්මලාව ගෘහ සේවිකාවන් ලෙස මැද පෙරදිගට යවලා,එහෙම නැත්නම් ඉතාලියේ ඉන්න නාකි සිංඤෝර්ලා බලන්න යවලා ජීවත් වෙන රටක් මේක.හැමදාම කියන්නේ අපි දුප්පත් කියලා විතරයි.නමුත් කිසිම කෙනෙක් හොයලා බලන්නේ නැහැ ඇයි අපි දුප්පත් කියලා.අපේ රටේ පාලකයෝ මේ තරම් පොහොසත් ඇයි කියලා හොයා ගත්තු දවසට හැකියාව තිබෙනවා රට දුප්පත් ඇයි කියලා සොයා ගන්න.අපේ රට පොහොසත් කරන්න හැකියාව ලැබෙන්නේ වංචනිකයින්ගෙන් රට මුදා ගත් දවසට පමණයි.ඒ දේ කරන්න හැකියාව තිබෙන්නේ ජාතික ජන බලවේගයට පමණයි.අන්න ඒ දේ අපි ගමට ගිහිං කථා කරන්න ඕනේ.
අපේ පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම ශුද්ධ කරන්න ඕනේ.පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයක් ජාවාරම් කාරයෝ.කුඩු,එතනෝල්,ගංජා,වැලි බිස්නස් කරන අය තමයි පාර්ලිමේන්තුවේ ඉන්නේ.එහාට මෙහාට පනින,විකිනෙන පිරිසක් ඉන්නේ පාර්ලිමේන්තුවේ.ඔවුන්ට ප්‍රතිපත්තියක් නැහැ.නිවැරදි ඉලක්කයක් නැහැ.එහෙම කණ්ඩායමට හැකියාව තිබෙනවාද රටක දුප්පත් කම නැති කරන්න.එහාට මෙහාට පනින්නේ නැතිව,විකිනෙන්නේ නැතිව පාර්ලිමේන්තුව තුළ හරවත් විවාදයක් කරන්න හැකියාව තිබෙන්නේ ජාතික ජන බලවේගයට පමණක් බව අපි මතක තබා ගත යුතුයි.
අපේ රටේ සිද්ධ වෙන අපරාධ බොහෝමයකට මග පෙන්වන්නේ පාර්ලිමේන්තුව.මේ වෙන කොට පාර්ලිමේන්තුව අපරාධකරුවන්ගේ තෝ තැන්නක් බවට පත් වෙලා.හිර ගෙදර ඉන්න ඕනා කෙනා ඉන්නේ පාර්ලිමේන්තුවේ.පාර්ලිමේන්තුව වැඩක් නැහැ කියලා බැන බැන ඉන්නවා. නමුත් මැතිවරණයක් ආපුවහම ගිහිං ඡන්දේ දෙනවා.ඊට පස්සේ බනිනවා. එහෙම බැන බැන ඉදලා වැඩක් නැහැ.අපේ කණ්ඩායමේ කිසිම වංචාකාරයෙක්, දුෂිතයෙක් නැහැ.ඒ නිසා ජාතික ජන බලවේගයෙන් එක් කෙනෙක් පාර්ලිමේන්තුවට යනවා කියන්නේ එතන හොරෙක්,වංචා කාරයෙක් අඩු වෙනවා කියන එකයි.අපි මේ බව ගමේ ඉන්න අනිත් අයටත් කියලා දෙන්න ඕනේ.