Friday, November 22, 2024

වයඹ රත් කළ සතියක, ශේෂ වූ දේශපාලන සුන්බුන් එක් කළ, ” වයඹ අඵ යට ගිනි ”

Must read

54214(4)(2) [Max Width 2400 Max Height 1800]කුරණෑගල රත් කළ- මහින්ද ඝාතන තැත ?

සතියේ දින පහක් පුරාවට තමන් ඉදිරිපිට සිදුවන්නා වූ මහා කලබගෑනි උපේක්ෂාවෙන් යුතුව ඉවසා සිටීමෙන් අනතුරුව එළැඹෙන සතිඅන්තය නිස්කලංකයේ ගෙවා දැමීමට හුරු වී සිටින විසල් ඇතුගලට පවා පසුගිය සතිඅන්තයේදී ඒ අවස්ථාව නම් නොලැබිණි. ඇතුගල පමණක් නොව නිවාඩු පාඩුවේ සතිඅන්තය ගෙවා දමමින් සිටි කුරුණෑගල නගරවාසීන් පවා කරකවා අත්හැරි කලෙක බදු තත්වයකට පත් කරවමින් මහින්ද රාජපක්ෂ ඝාතන තැතත් පිළිබද කතාබහක් කරළියට ආවේ පසුගිය සෙනසුරාදා රාත‍්‍රී කාලයේදීය. ඒ පිස්තෝලයකින් සන්නද්ධ වී කුරුණෑගල, විල්ගොඩ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන මෙහෙයුම් කාර්යාලය තුළ ගැවසෙමින් සිටි බව කියන සැකකටයුතු පුද්ගලයෙකු සන්ධාන ආධාරකරුවන් විසින් අල්ලාගෙන පොලිසියට භාරදුන් බව කියන සිද්ධියක්ද සමගිනි. සිද්ධිය පිළිබදව සැල වූ මොහොතේ පටන් අල්ලාගත් පුද්ගලයාගේ අන්‍යතාවය හෝ අගක් මුලක් සහිතව සිද්ධිය පිළිබද නිවැරදි තොරතුරක් හෙළිකරගැනීම සදහා මාධ්‍යවේදීන්ද දැඩි උත්සාහයක දරමින් සිටි නමුත් පොලිසිය පැත්තෙන් ඊට ධනාත්මක ප‍්‍රතිචාරයක් නොලැබිණි. නමුත් මහින්ද හිතවාදීන් විසින් දිගින් දිගටම පතුරුවා හරිමින් සිටියේ මහින්ද ඝාතනයට පැමිණ සිටි ‘කොටියෙකු’ අල්ලාගත් බවය. එදින උදෑසන සිටම කුරුණෑගල ආශ‍්‍රිතව සංවිධානය කර තිබූ රැස්වීම් ගණනාවකට සහභාගීවෙමින් මහින්ද කුරුණෑගල අවට රැදි සිටීමත්, දිනයේ අවසන් අංගය ලෙස එදින රාත‍්‍රියේ කුරුණෑගල කැන්ඩියන් රිච් හෝටලයේදී ව්‍යාපාරික හමුවකට සහභාගිවීමට නියමිතව තිබීමත් නිසා මහින්ද ඝාතන කතාවට අත්තටු ලැබී තිබිණි. කෙසේවෙතත් දන්නා ශිල්ප දමා මහින්ද ඝාතන තැත පිළිබද කතාවේ අගමුල සොයමින් සිටි කුරුණෑගල මාධ්‍යවේදීන් අතරින් තෝරාගත් මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුට පමණක් අපේක්ෂක ජොන්ස්ටන්ගේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී ලෙස කටයුතු කරන උදයජීව ඒකනායකගෙන් ලැබෙන ඇමැතුමකින් කියැවුණේ අදාළ සිද්ධිය පිළිබදව ප‍්‍රතිචාර දැක්වීම සදහා රාත‍්‍රී 8.30 ට මහින්දගේ ප‍්‍රධානත්වයෙන් හදිසි මාධ්‍ය හමුවක් කැදවා ඇති බවයි. කෙසේවෙතත් සුපුරුදු ලෙසම උදයගේ තෝරාගැනීමට ලක්ව තිබුණේ මාධ්‍යවේදීන් දෙතුන් දෙනෙකු පමණක් වන අතර මව්බිම ඇතුඵ මාධ්‍ය ආයතන කිහිපයක් නියෝජනය කරන මාධ්‍යවේදීන් පෙර පරිදිම නොසලකා හැර තිබිණි. උදයගේ සැලකිල්ලට භාජනය නොවූ මාධ්‍යවේදීන් අදාළ මාධ්‍ය හමුව ආවරණය කිරීමට කැන්ඩියන් රීච් හෝටලයට එන්නේ කණින් කොණින් අසාගත් තොරතුරුවලට අනුවය.

සාලින්දයි, ප‍්‍රියන්තයි මහ රෑ මාධ්‍ය අමතයි.

කෙසේවෙතත් රාත‍්‍රී අටහමාර පසුවෙද්දී ප‍්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ කෙරිණි. උදය විසින් මාධ්‍යවේදීන්ට දන්වා සිටි ආකාරයට මහින්ද තබා මහින්දගේ හෙවනැල්ලවත් එම ප‍්‍රවෘත්ති සාකච්ඡාව පැත්ත පළාතක වැටුණේ නැත. මාධ්‍ය හමුවට වාඩි වූයේ අපේක්ෂක සාලින්ද දිසානායක සහ හිටපු මන්ත‍්‍රී ජානක ප‍්‍රියන්ත බණ්ඩාරත් පමණි.”මේ පුද්ගලයා මගේ දැන හැදුනුම්කම් තියෙන බව කියාගෙන කුරුණෑගල දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලයට ගිහිල්ලා එහේ දවස් කිහිපයක් නැවතිලා ඉදලත් තියෙනවා. කාර්යාලේ අතුගාලා තියෙනවා. එහෙම මේ ස්ථානයට සම්බන්ධවෙලා විශේෂයෙන්ම එල් ටී ටී ඊ ස්ටයිල් එකට තොරතුරු බලමින්, ඒ තොරතුරු පිටතට ලබාදෙමින් කටයුතු කරපු බව අපිට මේ වෙනකොට වටහාගන්න පුඵවන් වෙලා තියෙනවා. එයා සී අයී ඞී නම් , විශේෂ ආරක්ෂාවක යොදවලා ඉන්න කෙනෙක් නම් එයාට තිබුණා අපිත් එක්ක කතාකරලා ඒක කියන්න. රහසිගත පුද්ගලයෙක් විදිහට , පිස්තෝලයකුත් තියාගෙන රැදී සිටීම ගැන අපිට සැකයි. මේ පුද්ගලයාගේ හැසිරීම දිහා බලද්දී මහින්ද රාජපක්ෂ එහෙම නැත්නම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීම සදහා යහපාලනයෙන් කරපු සැලැස්මක්ද කියලා විශාල සැකයක් මතුවෙලා තියෙනවා.” සාලින්ද කීය. කෙසේවෙතත් හදිසියෙන්ම පැමිණ ප‍්‍රවෘත්ති සාකච්ඡාවට වාඩිවී තිබීම නිසාදෝ මාධ්‍යවේදීන් මේ සිද්ධිය සම්බන්ධයෙන් කළ වැඩිදුර ප‍්‍රශ්නකිරීම්වලදී ඇතැම් පිළිතුරු සපයාගැනීමට සිය ලේකම්වරුන්ගේ ආධාර ලබාගැනීමට සාලින්දට මෙහිදී සිදු විය. සාලින්දගෙන් අනතුරුව හිටපු මන්ත‍්‍රී ජානක ප‍්‍රියන්ත බණ්ඩාරද කතා කළ අතර ඔහු කීවේ අදාළ පුද්ගලයා සතුව ගිනිඅවියක් තිබු බව සිය ආධාරකරුවන් විසින් දැක ඇති නමුත් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ එවැනි පිස්තෝලයක් නොතිබූ බැවින් පිස්තෝලයට වූ දෙය පොලිසිය විසින් දැන් සොයාගත යුතු බවය. අනතුරුව මෙම සැකකටයුතු පුද්ගලයා සාලින්දගේ ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීයෙකු වෙත හදුන්වා දුන් බව කියන අයෙකුද මෙම මාධ්‍ය හමුවට වාඩිකරවූ අතර ඔහු කීවේ තමන්ට දුර ඥාති සම්බන්ධයක් ඇති නමුත් අවුරුදු විසි ගණනකින් දැක නැති මෙම පුද්ගලයාට තමන් සොයාගෙන විත් සාලින්දට සම්බන්ධ වීමට හැකි මගක් සොයාදෙන ලෙස ඉල්ලා සිටි බවත්, ඒ අනුව ඔහුව සාලින්දගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටින පොලිස් නිලධාරීයෙකුට සම්බන්ධ කර දුන් බවත්ය. මීට වඩා දෙයක් මාධ්‍ය වෙත කියවාගැනීමේ අපේක්ෂාවෙන් සාලින්දගේ ලේකම්වරයෙකු සමග වාහනයක් පවා ඔහුගේ නිවසටම යැවීමෙන් අනතුරුව හෝටලය වෙත ගෙන්වා ගෙන සිටි මෙම පුද්ගලයාගෙන් හිතූ තරම්දෙයක් නොකියැවීම නිසා සාලින්ද ඇතුඵ පිරිසගෙන් පළවූයේ නොපහන් හැගීමකි. “මේ මනුස්සයා අපිත් එක්ක කතාකරනකොට ඔයිට වඩා දේවල් කීවා. ඇයි දන්නේ නෑ මිනිහා මාධ්‍යයට ඒවා කියන්නේ නැත්තේ ” මාධ්‍ය හමුවෙන් නැගිට ආ සාලින්ද මාධ්‍යවේදීන් සමග කීය. කෙසේවෙතත් දඩිබිඩියේ සූදානම් කර තිබූ මෙම මාධ්‍ය හමුවේ තිබූ අසංවිධානාත්මක බව පිළිබද ගැටඵ මාධ්‍ය සාකච්ඡාව නිමාවීමෙන් පසුව පවා දිගින් දිගටම ඇදී ගොස් තිබූ අතර ජොන්ස්ටන්ගේ මාධ්‍ය සම්බන්ධීකාරක උදය සහ සාලින්දගේ ලේකම්වරයෙකු සමග ඇතිව තිබූ චචන හුමාරුවක් සමනය කරවන්නට ජොන්ස්ටන්ට මැදිහත්වන්නට සිදු වූ බවද වාර්තා විය. අනෙක් අතට උදය විසින් බුලත් දී ආරාධනා කළ මාධ්‍යවේදීන් මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාව මාධ්‍යයක පළකිරීම පිළිබදව මුනිවත රකිද්දී ඊට සම තැනක් ලබාදෙමින් කැපී පෙනෙන ලෙස එම පුවත පළ කර තිබුණේ උදය විසින් පළා බෙදා තිබූ මව්බිම පුවත්පත විසින්ම පමණි.

ජොනීගේ ගෙදරදී පියුමාල් වලියක.

කුරුණෑගල දිස්ත‍්‍රික් කාන්තා සම්මේලනය පසුගියදා පැවැත්වුණේ විල්ගොඩ පිහිටි ජොන්ස්ටන්ගේ කාර්යාලයේදීය. අදාල සමුඵව පැවැත්වීම සදහා එක්සත් ජනතා නිදහස් සන්ධාන මෙහෙයුම් කාර්යාලයේ ඉඩකඩ ප‍්‍රමාණවත් නොවීම හේතුවෙන් ඊට නුදුරින් පිහිටි සිය කාර්යාල භූමිය ඒ සදහා පාවිච්චි කිරීමට අපේක්ෂක ජොන්ස්ටන් විසින් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී ඉඩකඩ ලබා දී තිබිණි. කෙසේවෙතත් සමුඵවේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් පැමිණීමට නියමිතව සිටි මහින්දගේ සම්ප‍්‍රාප්තිය සිදුවන තුරු සන්ධානයේ සෙසු අපේක්ෂක අපෙක්ෂිකාවන්ගේ සහභාගීත්වයෙන් කාන්තා සමුඵව ආරම්භ කෙරිණි. එහි එක් කතාවක් වෙන්වී තිබුණේ මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රීනි චිත‍්‍රා මන්තිලකටය. ඇය විසින් සිය කතාව කරගෙන ගොස් එක්වරම ජොන්ස්ටන්ගේ අංකයද සදහන් කරමින් එම අංකයට මනාපයක් දෙන ලෙස ඉල්ලා සිටියාය. මෙම ඉල්ලීම දෙතුන් වතාවක් සිදුවෙද්දී අපේක්ෂකයින්ගේ නියෝජිතයින්ට වෙන් කර තිබූ අසුනක හිදගෙන සිටි මන්ත‍්‍රී පියුමාල් නැගී සිට චිත‍්‍රාගේ කතාවට ඊට විරෝධය පාන්නට විය. “මේ කරුණාකරලා ඔබතුමියට දීලා තියෙන ඩියුටිය කරන්න. මෙතැන මනාප අංක කිය කියා මනාප අංක හදන්න යන්න එපා. අන්තිමේදී මේ සමුඵව තවත් එක මනාප රැස්වීමක් විතරක් වෙයි. ඒ නිසා අංක කියන එක කරුණාකරලා නවත්වන්න. පියුමාල් දැඩි ස්වරයෙන් කීය. පියුමාල්ගේ විරෝධය ප‍්‍රබලව නැග එද්දී තමාට කට වැරුදුණු බව වටහාගත් චිත‍්‍රා යළි කතාකළේය. ” සමාවෙන්න, මට මේකට එන්න කියලා ආරාධනා කළේ ජොන්ස්ටන් මන්ත‍්‍රීතුමා. මගේ ආසනේට ක‍්‍රීඩා භූමියක් හදලා දෙන්න කටයුතු කළේ එතුමා. මම එතුමා ගැන විශේෂයෙන් සදහන් කළේ ඒකයි. සමාවෙන්න. ’’ මන්ත‍්‍රීවරිය කීවාය. එතැනින් එහාට වැඩිදුර කතාකරන්නට නොගිය චිත‍්‍රා සිය කතාව කෙටියෙන් නිම කර වේදිකාවෙන් බැසගියාය. කෙසේවෙතත් ඇති වූ අනපේක්ෂිත තත්වය හමුවේ සභාවෙන් මතු වූ නොසන්සුන් බව තුනී කරදමමින් කරුණු පැහැදිලි කිරිමට ඉදිරිපත් වූයේ හිටපු මන්ත‍්‍රී ජානක බණ්ඩාරය. ”අපි මේ සමුඵව සංවිධානය කරද්දී ගත්තු මූලික තීරණයක් තිබුණා. ඒක තමයි මේ වේදිකාව කිසිම ආකාරයකින් මනාප වේදිකාවක් නොවිය යුතුයි කියලා. ඒ නිසා කවුරු හරි මේ වේදිකාවේ මනාපයක් ගැන කතා කරනවා නම් ඒකට අපේ සම්බන්ධයක් නෑ. මේ වේදිකාවේ කට ඇරලා කියන්න පුඵවන් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අංකය විතරයි. ඉතුරු සියඵදෙනාම අපිට සමානයි. අපි කිසිම ප‍්‍රශ්නයක් ඇතිකරගන්නේ නැතුව මේ දක්වා ආවා. ඒ නිසා මතභේද ඇතිකරගන්න එපා. ප‍්‍රශ්න ඇතිකරගන්න එපා. හිත්රිදවීම්, කළකිරීම් ඇති කරවන්න එපා. සියඵ දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ මේක මනාප වේදිකාවක් කරගන්න එපා. ” යැයි ජානක ඉල්ලා සිටියේය. ජානකගේ ඉල්ලීම ඵලදැරීම නිසාදෝ එතැනින් එහාට මනාප අංක ගැටඵ මතු නොවූ අතර සමුඵවේ කටයුතු සාමාන්‍ය පරිදි කෙරීගෙන ගියේය.

හෙළ සිරිත් ගැන අලවතුවලගෙන් විදෙස් නිරීක්ෂයින්ට පාඩමක්.

මැතිවරණයට දින ළංවීමත් සම`ග දෙස් විදෙස් නිරීක්ෂකයින් විසින් සිය නිරීක්ෂණ කටයුතු වඩ වඩාත් පුඵල් කරමින් නිරීක්ෂණ කටයුතුවල යෙදී සිටින සිටින ආකාරය මේ දිනවලදී දැකගතහැකිය. මෙම නිරීක්ෂකයින් විසින් මැතිවරණ රැළි, ප‍්‍රචාරක කටයුතු, ගැටුම් හා ප‍්‍රචණ්ඩ ක‍්‍රියා පිළිබදව මෙන්ම විශේෂයින් ඒ ඒ අපේක්ෂකයින්ගේ ක‍්‍රියාකාරකම්ද පුද්ගලිකවම නිරීක්ෂණය කරන්නට වගබලාගෙන තිබේ. ඒ අනුව යුරෝපා සංගමය වෙනුවෙන් මැතිවරණ නිරීක්ෂණයේ යෙදී සිටින නිරීක්ෂකයින් පිරිසක් පසුගිය ඉරිදා මිල්ලව පිහිටි අලවතුවල නිවසට ආවේ එදින එහි සංවිධානය කර තිබූ යොදාගෙන තිබූ මාධ්‍ය හමුවක්, කාන්තා සමුඵවක් ඇතුඵ වැඩසටහන් කිහිපයක් ක‍්‍රියාත්මක කෙරෙන ආකාරය පිළිබදව සමීපව නිරීක්ෂණය කිරීම සදහාය. අලවතුවල මුණගැසෙන්නට ආ නිරීක්ෂකයින්ට පැය භාගයකට ආසන්න කාලයක් යනතුරු අලවතුවල දැකගන්නටවත් නොහැකි විය. ඒ , ඒ වන විට අලවතුවල මුණගැසෙන්නට පැමිණ සිටි ඔහුගේ ආධාරකරුවන් මී මැසි පොදියක් මෙන් අලවතුවල වටකරගෙන සිටීම නිසාය. විදෙස් නිරීක්ෂකයින් පිරිසක් පැමිණ ගෙතුළට පැමිණ සිටි බව සෙනග අතරින් යන්තමින් දුටු අලවතුවල වාඩි වී සිටි මේසයෙන් නැගී සිටීමට උත්සාහ කළ නමුත් රැස්වීම් සදහා දින ඉල්ලා ගැනීම, ඡන්දපොළ සංවිධාන කටයුතු ,ජනහමු ඇරයුම් ආදී නානාවිධ උමවනාවන් වෙනුවෙන් පැමිණ සිටි ආධාරකරුගෙන් අලවතුවලට නැගිටගන්නට ”මට විනාඩි පහක් දෙන්න. අර මැතිවරණ නිරීක්ෂණය කරන ෆොරිනස්ලා ඇවිත් ඉන්නවා. ඒ අයට කතා කරලා විනාඩියෙන් එන්නම්.” කී අලවතුවල සෙනග පීරාගෙන ගොස් පැමිණ සිටි නිරීක්ෂකයින් කිහිපදෙනා සුහදව පිළිගත්තේය. ”මේ වෙලාවේ ඔබට වඩා වැදගත් වෙන්නේ ජනතාවයි. ඒ නිසා ඔබේ වැඩේ කරගන්න. අපි එතකම් රැදිලා ඉන්නම්. ” නිරීක්ෂණ කණ්ඩායමේ ප‍්‍රධානියා අලවතුවලට කීය. ඔහුට ස්තූති කළ අලවතුවල යළි ආධාරකරුවන් වෙත ගිය අතර නිරීක්ෂණ කණ්ඩායම ඒ අතරවාරයේ අලවතුවල නිවසේ සිදුවන ක‍්‍රියාකාරකම් සහ එහි යනෙන අය පිළිබදව පවා සටහන් කරමින් , ඡායාරූප ගත කරමින් නිරීක්ෂණයේ යෙදුණහ. කෙසේවෙතත් පැයක් දෙකක් තුළ තමන් හමුවීමට පැමිණ සිටි ආධාරකරුවන්ගේ ඕනෑ එපා කම් සලකා බලා ඔවුන් ආපසු පිටත් කර හැරීමෙන් පසුව අලවතුවල සිය බිරිද අංජානිද සමග විදේශිකයින් අසලට ගොස් හිදගත්තේය. නිරීක්ෂකයින් විසින් අලවතුවලගෙන් දිගින් දිගටම ප‍්‍රශ්න කළේ විශාල පිරිසක් වෙනුවෙන් අලවතුවල නිවසින් ආහාර ලබාදෙන බවත්, මැතිවරණ නීතිය අනුව එය වරදක් නොවේද යන්නයි. ” නැහැ. මම කිසිවිටෙක පාරේ යන මිනිස්සු අඩගහගෙන ඇවිත් කන්න දෙන්නේ නැහැ. ඔබට පෙනෙනවා ඇති අපි මේ කතාකරන මෙහොතෙදීත් දෙතුන් සියයක පිරිසක් මගේ නිවසේ යම් යම් වැඩවල යෙදිලා ඉන්නවා. මේ සියඵදෙනාම ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වෙලා ඉන්නේ මට උදව් කරන්න. උදව්වක් කරන්න එන කෙනෙකුට කෑම වේලක් දෙන එක මගේ යුතුකමක්. සිංහල සමාජය තුළ අපි ඒවාට කියන්නේ හෙළ සිරිත් විරිත් කියලයි. එතැන වරදක් තියෙනවා කියලා මම හිතන්නේ නෑ. ඔන්න අර පහුගිය දවස්වල වගේ බස්වලින් සෙනග ඇද ඇද කන්න බොන්න දුන්නා නම් තමයි ඒක වරදක් වෙන්නේ. මම කවදාවත් එහෙම දන්සැල් දෙන්න ගිහින් නැහැ. අනික මට කන්න බොන්න දෙන්න දීලා අමුතුවෙන් මිනිස්සු දිනාගන්න උවමනාවක් නෑ. මම මිනිස්සු දිනාගෙන ඉන්නේ ඒ අය වෙනුවෙන් පෙනී ඉදලයි” අලවතුවල දීර්ඝව පැහැදිලි කළේය. අලවතුවල විසින් දැක් වූ සුහද ප‍්‍රතිචාරයත්, මැතිවරණ ව්‍යාපාරය නිදහස් හා සාමකාමීව පවත්වාගෙනයාම සදහා දක්වන දායකත්වයත් පිළිබදව අලවතුවලට ප‍්‍රශංසා කළ විදේශ නිරීක්ෂයින් අලවතුවල නිවසින් පිටත් වී ගියේ තමන් අලවතුවල නිවසේ රැදී සිටි කාලය පුරා ලැබුණු ආගන්තුක සත්කාර පිළිබදව අලවතුවලට මෙන්ම බිරිද අංජානීටද මුව නොසෑහෙන ලෙස ස්තූති කරමිනි.

අකිල දයාසිරිගේ තව මුලක් ගලවයි.

මහ මැතිවරණය කැදවීමත් සමග සිදු වූ පුංචි මන්ත‍්‍රීවරුන්ගේ පිල්මාරු ගැන පසුගිය සතියක අඵ යට ගිනි ඔස්සේ අනාවරණය කෙරිණි. මේ පිල්මාරු, හැරයාම්, එකතුවීම් සීමා වී ඇත්තේ මන්ත‍්‍රීවරුන්ට පමණක් නොවේ. පසුගිය මැතිවරණවලදී විවිධ දේශපාලනඥයින් සමග සිටි ආධාරකරුවන්ද විශාල වශයෙන් මේ දිනවල වෙනත් දේශපාලනඥයින්ට සමීප වෙමින් සිටිති. තම ආධාරකරුවන් ගැලවීයාමේ අවදානමට මේ දිනවල වැඩිවශයෙන්ම මුහුණ දී සිටින්නේ මහඇමැති දයාසිරි සහ ජොන්ස්ටන්ය. පසුගිය මැතිවරණවලදී ඔවුන් සමග සිටි ප‍්‍රබල ආධාරකරුවන් වැඩිපිරිසක් දැන් සිටින්නේ අකිල හෝ අලවතුවල සෙවණේය. පසුගිය වයඹ පළාත් සභා මැතිවරණයේදී දයාසිරිට විශාල සවියක් වූ, තම පුද්ගලික හැමර් රථය පවා දයාසිරිගේ තනි පාචිච්චියට ලබා දී තිබූ ව්‍යාපාරික සරත් රත්නායක මේ මැතිවරණයේදී වෙහෙසෙන්නේ අකිල ජයග‍්‍රහණය වෙනුවෙනි. අකිලද සිය බලව්‍යාප්තිය තවදුරටත් දැඩි කරවමින් පසුගිය සතියේදී දයාසිරිට කලක් තිස්සේ හයිය දුන් මුදුන් මුලක්ම උගුල්ලා දැමීමට වගබලා ගත්තේය. ඒ කුරුණෑගල නගරයේ ප‍්‍රකට ව්‍යපාරිකයෙකු වන ලසන්ත පතිරණ අකිලගේ පිළට එකතුකර ගැනීමෙනි. ලසන්ත පතිරණ යනු පසුගිය වයඹ පළාත් සභා මැතිවරණයේදී දයාසිරි වෙනුවෙන් සුවිසල් බරක් ඉසිලූ අයෙකි. විශේෂයෙන්ම ලසන්ත විසින් වයඹ පළාත් සභා මැතිවරණය ආසන්නයේ දයාසිරි වෙනුවෙන් සංවිධානය කළ කුරුණෑගල ව්‍යාපාරික හමුවක් දයාසිරිගේ මැතිවරණ ව්‍යාපාරය බැබලවීය. දයාසිරි වෙනුවෙන් එපමණ කැපකිරීමක් කළ ලසන්ත පතිරණ තමන්ගෙ පිළට බා ගැනීමට අකිල අවසානයේදී සමත් විය. තමන් දයාසිරි හැර දා අකිලට එක් වූ බව කුරුණෑගලටම දැනෙන්නට සලස්වන්නට ලසන්ත විසින් අකුරටම වගබලාගෙන ඒ අනුව දයාසිරි වෙනුවෙන් සංවිධානය කළාටත් වඩා දැවැන්ත ව්‍යාපාරික හමුවක් අකිලගේ ජයග‍්‍රහණය වෙනුවෙන් පසුගිය සෙනසුරාදා බ්ලූ ස්කයි හෝටලයේදී සංවිධානය කර තිබිණි.

රනිල්ට එරෙහිව ජයරත්න හේරත්

අපේක්ෂක ජයරත්න හේරත් පසුගිය අගහරුවාදා උදෑසන රාජගිරියේ පිහිටි මැතිවරණ ලේකම් කාර්යාලයට ගොස් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා මුණගැසුණේ අගමැති රනිල්ට එරෙහිව මැතිවරණ කොමසාරිස්වරයා වෙත පැමිණිල්ලක් කිරීමටය. අගමැති රනිල් විසින් කොළඹ – නුවර අධිවේගී මාර්ගය ඉදිකිරීමේ මුල්ගල් තැබීමේ අවස්ථාවට සහභාගීවෙමින් රාජ්‍ය දේපල යොදාගෙන නීතිවිරෝධී මැතිවරණ ප‍්‍රචාරක කටයුත්තක යෙදුණු බව ජයරත්න හේරත්ගේ චෝදනාව වී තිබිණි. රනිල් සිය කතාවේදී ඉදිරිපත් කළේ එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය බවත්, කුරුණෑගල ඡන්ද දායකයින්ට මෙම අධිවේගී මාර්ගයෙන් ලබාගත හැකි ප‍්‍රතිලාභ ගැනත් විශේෂයෙන් සදහන් කිරීම තුළින් අගමැති රනිල් රාජ්‍ය සම්පත් යොදාවාගෙන නීති විරෝධී මැතිවරණ ප‍්‍රචාරක කටයුත්තක යෙදී ඇති බවද මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා හමුවේ ජයරත්න හේරත් කීවේය. පාර්ලිමේන්තු මැතිවරණ පනත අනුව මෙම චෝදනාව අල්ලස් ලබාදීමේ චෝදනාවට යටත් වන බැවින් රනිල්ට එරෙහිව ඡන්ද පෙත්සමකට පවා යාමට අවකාශ ඇති බව ජයරත්න හේරත් විසින් මැතිවරණ කොමසාරිස්වරයා හමුවේ පැහැදිලි කළේය. ජයරත්න හේරත්ගේ කරුණු දැක්වීමට සාවධානව කන් දුන් මැතිවරණ කොමසාරිස්වරයා ජයරත්න හේරත්ගේ ඉල්ලීම් ලිපිය භාරගත්තේ ඒ පිළිබදව සලකා බලන බව පවසමිනි.

උපුටාගැනීම – මව්බිම පුවත්පත, අගෝස්තු 06 වැනි බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article