අලවතුවල දේශපාලනයෙන් සිනමාවට එයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මෙරට ජනතාව විසින් දැනහදුනාගෙන සිටින්නේ දේශපාලනඥයෙකු ලෙසටය. එලෙස දේශපාලනඥයෙකු ලෙස දැන හදුනාගෙන සිටින මන්ත්‍රී අලවතුවල තවත් නොබෝ දිනකින් චිත්‍රපට නිෂ්පාදකයෙකු වශයෙන්ද කළ එළිබැසීමට නියමිතය. ඒ චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමේ කර්තව්‍යයකට අලවතුවල පසුගිය සතියේදී අතගැසීම හේතුවෙනි. අලවතුවල ඇතුලු පිරිසක් විසින් නිෂ්පාදනය කිරීමට සැරසෙන්නේ හිටපු අගමැති ඞී. එස්. සේනානායක චරිතය අලලා නිර්මාණය කෙරෙන ‘‘නිදහසේ පියා’’නැමැති චිත්‍රපටියයි. අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ තවත් ව්‍යාපාරිකයින් පිරිසක් මෙම චිත්‍රපටයේ සම නිෂ්පාදකවරුන් ලෙස කටයුතු කරති. ඩී. එස්. චරිතයේ උපතේ සිට මරණය දක්වාම සිදුවීම් ඇතුලත් මෙම චිත්‍රපටය සදහා රුපියල් ලක්ෂ දහසකට අධික මුදලක් වැයවනු ඇති බවට ඇස්තමේන්තු කර තිබේ. ලබන මාසයේදී රූගතකිරීම් ආරම්භකිරීමට නියමිත මෙම චිත්‍රපටය ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර 70 ක් සපිරෙන 2018 පෙබරවාරි මස 04 වැනිදා මහජන ප්‍රදර්ශණය සදහා නිකුත්කිරීමට එහි නිෂ්පාදක කණ්ඩායම බලාපොරොත්තු වෙයි. චිත්‍රපටය නිෂ්පාදනය කිරිම සදහා සම නිෂ්පාදකයෙකු ලෙස මන්ත්‍රී අලවතුවල සමග ගිවිසුම් අත්සන් කිරීම පසුගිය සදුදා සිදුකෙරුණේ මෙම චිත්‍රපටයේ තවත් සම නිෂ්පාදකයෙකු ලෙස කටයුතු කරන සුප්‍රකට ව්‍යාපාරිකයෙකුගේ මාවතගම පිහිටි නිවසේදීය. මන්ත්‍රී අලවතුවල සමග ගිවිසුම් අත්සන් කිරීම සදහා විත්රපටයේ අධ්යක්ෂ සුනෙත් මාලිංග ලොකුහේවා සහ උපදේශක අධ්යක්ෂ සමන් වීරමන් කොළඹ සිට මාවතගමට පැමිණ සිටියහ. අලවතුවල චිත්‍රපට නිෂ්පාදකයෙකු ලෙස කලඑළි බැසීමත් සමග චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නිෂ්පාදකයින් වශයෙන් කටයුතු කරන දේශපාලනඥයින් වැඩිපුරම නියෝජනය කරන දිස්ත්‍රික්කය බවට කුරුණෑගල දිස්ත්‍රික්කය පත්වීමටද වැඩි ඉඩකඩක් තිබේ. මක්නිසාද යත් අලවතුවලට අමතරව හිරියාල එජාප සංවිධායක ජගත් යාපා, වාරියපොළ ශ්‍රීලනිප සංවිධායක ආනන්ද ජයලත් සහ බිංගිරිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන රිචඩ් අබේවර්ධනද දැනට චිත්‍රපට සහ ටෙලි නිෂ්පාදකයින් ලෙස කටයුතු කරමින් සිටින බැවිනි.
පළාත් සභා රට සවාරිවලට ජනපතිගෙන් වැටක් !
ගෙවී ගිය සතිය සැලකිය හැක්කේ වයඹ පළාත් සභාව ඇතුඵ මෙරට පළාත් සභාවන් නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට අසුබ සිහින පෙන් වූ සතියක් ලෙසටය. පළාත් සභා මන්ත්‍රීවරුන්ට අහිතකර විය හැකි නමුත් මහ ජනතාවගේ පැත්තෙන් සුබදායක වන තීන්දු තීරණ දෙකක් පිළිබදව පසුගිය සතියේදී අසන්නට ලැබිණි. ඉන් පළමුවැන්න ලෙස පළාත් සභා මන්ත්‍රීවරුන් හට මූලධර්ම 13 කින් යුත් ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වාදීමට යෝජනා වී ඇති බවට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිවේදනය කළේ පසුගිය සතියේදීය. පසුගිය කාලයේදී පළාත් සභා මන්ත්‍රීවරුන් වෙත එල්ල වූ බලය අයුතු ලෙස යෙදවීම, දූෂණය හා නාස්තිය, ටෙන්ඩර් අක්‍රමිකතා, පොදු දේපළ වංචා කිරීම ආදී චෝදනාවන් හේතුවෙන් මෙවැනි ආචාර ධර්ම පද්ධතියක් නිර්මාණය කිරීමට පාර කැපී ඇති බව කියැවෙයි. මෙම ආචාර ධර්ම පද්ධතිය හරහා දූෂණයෙන් තොරවීම, කැපවීම, වගකීම, වගවීම, විෂය මූලික බව, භාරකාරීත්වය, විනිවිද බව, නායකත්වය හා ස්වයං විනය, අන් අයට ගරු කිරීම, ප්‍රවීණත්වය ආදී විවිධ අංශ කරුණු කාරණා ගණනාවකට යටත්වීමට පළාත් සභා මන්ත්‍රීවරුන්ට සිදුවනු ඇත. යම් පළාත් සභා මන්ත්‍රීවරයෙකු හෝ මන්ත්‍රීවරියක විසින් මෙම ආචාරධර්ම උල්ලංඝනය කර ඇතැයි ඔප්පුවුවහොත් ඔහුට හෝ ඇයට එරෙහිව පළාත් සභාව විසින් සම්මත කරනු ලබන තීරණයකට යටත්වීමට සිදුවනු ඔවුන්ට ඇති බවද වාර්තාවෙයි. මෙම ආචාරධර්ම පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක වුවහොත් දැනට ඇතැම් පළාත් සභා මන්ත්‍රීවරුන් විසින් රිසිසේ භුක්ති විදිමින් සිටින වරදාන, වරප්‍රසාද, ඉපයීම් ඇතුලු බොහෝ දේ ඔවුන්ට අහිමි වනු ඇති බව ජනතාවගේ විශ්වාසය වී තිබේ.
තමන් සතු වරප්‍රසාදයක් ලෙස අගවමින් පළාත් සභා මැති ඇමැතිවරුන් විසින් කලක් තිස්සේ කරගෙන යමින් සිටින තවත් මුදල් නාස්තියකට තිතතැබීමේ නියෝග නිකුත්වූයේද පසුගිය සතියේදීය. ඒ අනුව රජයේ මුදල් නාස්තිකරමින් අනවශ්‍ය විදෙස් ගමන් යොදා නොගන්නා ලෙසට ජනපති මෛත්‍රී විසින් සියලු මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් වෙත චක්‍රලේඛයක් මගින් නියෝග කර තිබිණි. විදෙස් සංචාර සඳහා මුදල් නාස්ති කිරීම සම්පූර්ණයෙන් නවත්වන ලෙසට දැනුම්දෙමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති එම චක්‍රලේඛයේ සඳහන් වන ඇතැම් කරුණු ඇග කිලිපොළා යවන සුඵය. ජනපති මෛත්‍රීගේ එම චක්‍රලේඛයට අනුව පළාත් සභා සහ පළාත් පාලන ආයතන වෙත නිකුත් කර තිබූ චක්‍රලේඛ සහ උපදෙස් පවා නොතකමින් එම ආයතන නියෝජනය කරන මන්ත්‍රීවරුන් විසින් පසුගිය සමයේදී රට සවාරි ගසා ඇති අයුරුද අනාවරණය වෙයි. පහත දැක්වෙන්නේ අදාළ චක්‍රලේඛණයේ උපුටනයකි. ‘‘රජයේ අරමුදල් වැයකිරීමේදී අරපරිස්සමින් හා වගකීමෙන් යුතුව කටයුතු කිරීම සියලූම මහජන නියෝජිතයන්ගේත් රාජ්‍ය නිලධාරීන්ගේත් වගකීම ලෙස සලකා 2015 පෙබරවාරි 11 හා 2015 සැප්තැම්බර් 16 දිනයන්හි පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලදී පළාත් සභා හා පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ගේ විදෙස් සංචාර හා රජයේ අරමුදල් භාවිතයේදී සිදුවන නාස්තිය අවම කිරීම මැයෙන් අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කරනු ලදුව එම තීරණවලට එළැඹ ඇත. ඒ අනුව අවශ්‍ය චක්‍රලේඛ උපදෙස් සියලූම අමාත්‍යාංශ හා පළාත් සභා හා පළාත් පාලන ආයතන වෙත නිකුත් කර තිබේ. එහෙත් පසුගිය වකවානුව තුළ මහජන නියෝජිතයන් හා රජයේ නිලධාරීන් රජයේ අරමුදල් යොදා ගනිමින් විදේශ සංචාරවල යෙදීමේදී යම් යම් සුවිශේෂී හේතූන් මත එම තීරණවලින් බැහැරවීමක් ඇති බව නිරීක්ෂණය කරමි. විශේෂයෙන්ම පළාත් සභා හා පළාත් පාලන ආයතන විදේශ ව්‍යාපෘති මගින් ලැබෙන අරමුදල් යොදා ගනිමින් කාණ්ඩ වශයෙන් විදෙස්ගත වූ අවස්ථාද වාර්තා වෙයි. ’’ගෙවුණු වසර කිහිපයක කාලය සලකා බැලීමේදී වයඹ පළාත් සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් මෙන්ම රාජ්‍ය නිලධාරී කණ්ඩායම්ද කිසිදු පල ප්‍රයෝජනයක් නොමැති විදෙස් ගමන් සඳහා අති විශාල මුදල් සම්භාරයක් කාබාසිනියා කළ බව නොරහසකි. වන අලි ගැටඵවට විසදුම් සෙවීම, කසල කළමනාකරණය වැනි විවිධ හේතු දක්වමින් මන්ත්‍රී කණ්ඩායම් රට රටවල් ගාණේ සවාරි ගැසූ නමුත් එවැනි බොහෝ විදෙස් සංචාරවලින් වයඹ පළාතට හෝ පළාතේ ජනතාවට අල්පෙනෙත්තක තරමේ හෝ සේවාවක් සිදු වී නොමැත. වන අලි ගැටඵව තව තවත් ඔඩු දුවමින් තිබියදී සහ කදු තරමේ උස කසල ගොඩවල් ඇස් පනාපිට ගොඩගැසෙමින් තිබියදී එම ගැටඵ විසදීම සදහා තමන් ගිය විදෙස් සංචාරවලදී ලබාගත්තායැයි කියන අත්දැකීම් හෝ දැනුම ඇසුරින් කිසිදු මන්ත්‍රීවරයෙකු විසින් වයඹ පළාත් සභාව වෙත එකම යෝජනාවක් හෝ ඉදිරිපත් කර නොතිබීම විශේෂත්වයකි. ඒ අතින් බලන කල මන්ත්‍රී රට සවාරි සම්බන්ධයෙන් වයඹ පළාත් සභාවට ඇත්තේ දිවයිනේ සෙසු පළාත් සභාවන්ට නැති තරමේ කීර්තියකි. මන්ත්‍රී රට සවාරි මහජන මුදල් කාබාසිනියා කිරීමක් ලෙසට හදුන්වමින් ඊට පළාත් සභාව තුළ එරෙහි වූ එකම මන්ත්‍රීවරයා වන්නේ ජවිපෙ මන්ත්‍රී නාමල් කරුණාරත්න පමණි. වයඹ පළාත් සභාවේ මන්ත්‍රීවරුන් රට සවාරි සදහා සූට් කේස් සූදානම් කළ බොහෝ අවස්ථාවන්වල මාධ්‍ය ඔස්සේ ඒ පිළිබදව රටට හෙළිකෙරිණි. එහි ප්‍රතිඵලයක් ලෙස එක් අවස්ථාවකදී වයඹ පළාත් සභා මන්ත්‍රීවරුන් විසින් සැලසුම් කරගෙන සිටි චීන සවාරියක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ අණින් අත්හිටවනු ලැබීය. වයඹ පළාත් සභාවට මාධ්‍යවේදීන් ඇලජික් වන්නටත්, මාධ්‍යවේදීන් කාලකණ්නි ලෙස පෙනෙන්නටත් පටන්ගත්තේත් මෙම සිදුවීම හරහාය. සභාපති ටිකිරි බණ්ඩා විසින් මාධ්‍යවේදීන් දොට්ට දමන තැන දක්වා දුරදිග ගියේ තමන්ගේ රට සවාරි ආතල් කැඩීම පිළිබදව පළාත් සභාවේ මැති ඇමැතිවරුන්ගේ විසින් මාධ්‍ය කෙරෙහි ඇති කරගත් මෙම වෛරයයි. මොන නීති දැම්මත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂට පාලනය කිරීමට නොහැකි වූ වයඹ පළාත් සභාවේ මන්ත්‍රී රට සවාරි රැල්ල මෛත්‍රී විසින් කෙසේ පාලනය කරනු ඇති දැයි වයඹ ජනතාව දැන් බලා සිටිති.
එජාප මන්ත්‍රීවරුන්ටත් අධීක්ෂණ මන්ත්‍රී දොළපිදේනි.
වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීම සුපුරුදු ලෙසම පැවැත්වුණේ පසුගිය බ්‍රහස්පතින්දා පස්වරුවේය. කණ්ඩායම් රැස්වීමට පෙර මහ ඇමැති ධර්මසිරි විසින් පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ හමුවක් යොදාගෙන තිබීම නිසා ධර්මසිරි කණ්ඩායම් රැස්වීමට එන විට පස්වරු හයටත් ආසන්න වී තිබිණි. ධර්මසිරිගේ පමාව නොඉවසූ මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම කණ්ඩායම් රැස්වීමෙන් නැගිට සිය නිවෙස් බලා ආපසු ගොස් තිබිණි. ධර්මසිරිගේ පැමිණීමත් සමග කණ්ඩායම් රැස්වීම ආරම්භ වූ අතර කණ්ඩායම් රැස්වීම අතරතුර අධීක්ෂණ මන්ත්‍රීවරුන් පිළිබදව ගැටඵවක් ඇදගත්තේ ඇමැති සුමල් තිසේරාය. ‘‘මහ ඇමැතිතුමා, විපක්ෂයේ ඉන්න ධර්මසිරි ඇරැව්ගොඩ මන්ත්‍රීතුමාට මොකක් හරි අධීක්ෂණ මන්ත්‍රීකමක් දීලා තියෙනවාද ?’’ ඇමැති සුමල් ධර්මසිරිගෙන් ඇසීය. ඊට පිළිතුරු දුන් ධර්මසිරි කීවේ ආණ්ඩු පක්ෂයේ ට්‍රෙවින් ප්‍රනාන්දුට සහ විපක්ෂයේ ධර්මසිරි ඇරැව්ගොඩට පළාත් පාලන ආයතන අධීක්ෂණ මන්ත්රීකම් දෙකක් පිරිනමා ඇති බවකි. මන්ත්‍රී ධර්මසිරිගේ මෙම පත්කිරීම සම්බන්ධයෙන් ඇමැති නිරෝෂන් පෙරේරා පුත්තලම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී අප්‍රසාදය පළ කර ඇති බවද සුමල් කීවේය. කතාබහ මෙලෙස ඇදීගෙන යද්දී මහඇමැති ධර්මසිරි විසින් මන්ත්‍රීවරුන් එතෙක් නොදැන සිටි තවත් කැබිනට් තීරණයක් පිළිබදව හෙළිකළේය. ‘‘අපි කැබිනට් එකේදී සාකච්ඡා කරලා තීන්දුවත් ගත්තා පළාත් සභා තුනකට වැඩිය හිටපු මන්ත්‍රීවරුන්ට පක්ෂ විපක්ෂ භේදයක් නැතිව අධීක්ෂණ මන්ත්‍රී තනතුරු දෙන්න. ’’මහ ඇමැති ධර්මසිරි කීය. මහ ඇමැතවරයාගේ මෙම ප්‍රකාශයත් සමග කණ්ඩායම් රැස්වීම දෙබරයට ගල් ගැසූ කලෙක මෙන් ඇවිස්සී ගියේය. මන්ත්‍රී පියුමාල් හේරත්, අසංක නවරත්න, සමන්ප්රිය හේරත් ඇතුලු මන්ත්‍රීවරුන් ගණනාවක් විපක්ෂයට අධීක්ෂණ මන්ත්‍රී තනතුරු ලබාදීමේ යෝජනාවට එරෙහිව අදහස් දක්වන්නට වූහ. ‘‘විපක්ෂයටත් අධීක්ෂණ මන්ත්රීකම් දෙන්න හවුල් පළාත් සභාවත් අපිට හම්බවෙලා නැහැනේ. ජනාධිපතිතුමයි අගමැතිතුමයි හවුලේ ආණ්ඩුව ගෙනියනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් මිනිස්සු වයඹ පළාත් සභාවට හවුලක් දීලා නැහැනේ. මිනිස්සු අපිට පැහැදිලිවම තුනෙන් දෙකක බලයක් දීලා තියෙනවා. අපි ඒ අනුව වැඩ කරනවා මිසක් මේ අහක යන ඒවා පළාත් සභාවට ගේන්න හදන එක වැරදියි. දොළොස් දෙනෙක් ඉන්න විපක්ෂයේ මන්ත්රීවරයෙකුටයි, තිස් ගාණක් ඉන්න ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරයෙකුටයි අධීක්ෂණ මන්ත්රීකම්දීම කොහොමද සමාන වෙන්නේ ? මේ දෙපැත්තටම අධීක්ෂණ මන්ත්රීකම් දෙන්න ගියොත් අනිවාර්යෙන්ම මන්ත්‍රීවරු අතරේ ගැටුම් ඇති කරගන්නවා. එක්කෝ පක්ෂ පක්ෂ අය ගහගන්නවා. නැත්නම් පක්ෂ විපක්ෂ අය ගහගන්නවා. ඒ නිසා අහක යන ප්‍රශ්න දාගන්නනේ නැතිව පළාත් සභාවට මේ යන විදිහට යන්න දෙන්න. ’’පියුමාල් කීය. ‘‘බලමු. අපි දැන් මේක කැබිනට් එකටත් දාලා තීරණයක් අරගෙනනේ තියෙන්නේ. ’’මන්ත්‍රී විරෝධය නොතකමින් මහඇමැති ධර්මසිරි කීය. ‘‘මමත් සම්පූර්ණයෙන්ම විරුද්ධයි මේ වැඩේට. මට අධීක්ෂණ මන්ත්‍රීකමක් නොලැබුණාට කමක් නැහැ. නමුත් පළාත් සභාව ආරම්භයේ ඉදලාම අධීක්ෂණ මන්ත්‍රීවරු පත්කළේ ආණ්ඩු පක්ෂයෙන්. ආණ්ඩුව යූඇන්පි එක එක්ක ගියාට පළාත් සභාව යූඇන්පියත් එක්ක යනවා කියලා කිසිම තීරණයක් අරගෙන නැහැ. ඒ නිසා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අධීක්ෂණ මන්ත්‍රී තනතුරු දෙන්නේ මොන පදනමින්ද ? ’මන්ත්‍රී අසංක කීය. කෙසේවෙතත් මෙවැනි උණුසුම් වාදවිවාද මැද කණ්ඩායම් රැස්වීම අවසන්වූයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන විපක්ෂ මන්ත්‍රීවරුන්ට අධීක්ෂණ මන්ත්‍රී තනතුරු පිරිනැමීම පිළිබද අවසන් එකගත්වයකින් තොරවය.
වයඹ පළාත් සභාවේ විපක්ෂය යහපාලනයේ නාමයෙන් ආණ්ඩු පක්ෂය සමග එක මල්ලේ ලුණු කමින් සිටින බවත්, එකිනෙකාගේ පිට කසාගනිමින් සිටින බවත් අඵ යට ගිනි පිටුව ඔස්සේ මීට පෙර හෙළිකෙරිණි. එම හෙළිදරව්කිරීම් හරහා වියරු වැටුණු විපක්ෂයට නායකකම් කරන බව කියන ඇතැමෙකු විසින් මාධ්‍යයට එරෙහිව අවලාද නගන්නටත්, තර්ජනය කරන්නටත් පටන්ගෙන ඇති බව පසුගිය අගහරුවාදා පැවැති පළාත් සභා රැස්වීමේදී මොනවට පැහැදිලි වී ගියේය. දෙවැනි පාර්ශ්වයකට පිළිතුරු දිය නොහැකි පළාත් සභා රැස්වීම්වලට වී පාඵ ගෙයි වළං බිදින මහත්වරුන්ගෙන් දැන් අප අසන්නේ ආණ්ඩු පක්ෂයෙන් ලබාගන්නට යන අධීක්ෂණ මන්ත්‍රී වරදානයන් ගැන කියන්නේ මොනවාදැයි කියාය. පාර්ලිමේන්තුව තුළ වේවා පළාත් සභාවන් තුළ වේවා අධීක්ෂණ මන්ත්‍රී තනතුරු දැනට ක්‍රියාත්මක වෙමින් ඇත්තේ අල්ලස් හෝ සන්තෝසම් ලෙසය. අධීක්ෂණ මන්ත්‍රී තනතුරු යනු වඩා පුඵල් කාර්ය භාරයක් පැවරෙන තනතුරක් වන නමුත් අද වන විට එම තනතුරු හරහා කෙරෙන්නේ තනතුරු නොලැබීමෙන් අසතුටුට පත් මන්ත්‍රීවරුන් තාවකාලිකව සැනසීම බව පිළිගත් සත්‍යයකි. වයඹ පළාත් සභාවෙන් පිරිනැමෙන අධික්ෂණ මන්ත්‍රී තනතුරුලාභී සියලු මන්ත්‍රීවරුන් තමන් වෙත පැවරෙන විෂයන් අධීක්ෂණය කිරීම කෙසේවතත් රුපියල් දස දහසක මාසික දීමනාවකට හිමිකම් ලබති. වයඹ පළාත් සභාව තුළ පළාත් සභා තුනක් පසුකළ විපක්ෂ මන්ත්‍රීවරුන් වෙනුවෙන් දැන් යෝජනා වී ඇත්තේ එබදු දීමනාවක් සහිත අධික්ෂණ මන්ත්‍රී තනතුරුය. විපක්ෂයේ මහත්වරුන් ගිරිය පුප්පාගෙන දගලමින් සිටින නමුත් වයඹ පළාත් සභාව තුළ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂයේ ඩීල් එකක් ඇති බව සනාථ කිරීමට මීට වඩා තවත් උදාහරණ අවශ්‍ය නොවන බව ලියුම්කරුගේ වැටහීමයි. තම මන්ත්‍රී කණ්ඩායමෙන් එල්ලවන රැවුම් ගෙරවුම් මධ්‍යයේ පවා මහඇමැති ධර්මසිරි විසින් විපක්ෂය සතුටු කිරීමේ අවදානම් තීරණයක් ගන්නේ ආවාට ගියාට නොවන බව පැහැදිලිය. (විපක්ෂයේ ඩීල් පිළිවෙත පිටුදකිමින් සිටින විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙතුන් දෙනාට මෙම චෝදනාව කිසිසේත්ම අදාළනොවන බව කාරුණිකව සැලකුව මැනවි. ) ඕනෑම විපක්ෂයක කාර්යභාරය විය යුත්තේ ආණ්ඩු පක්ෂයෙන් සිදුකෙරෙන ජනතාවාදී නොවන ක්‍රියාකාරකම් පිළිබදව ජනතාවට හෙළිකිරීම සහ ඒවාට එරෙහිවීමය. විශේෂයෙන් තුනෙන් දෙකක බලයක් සහිත පළාත් සභාවක විපක්ෂයක් කෙතරම් අවධානයෙන් සිටිය යුතුදැයි අමුතුවෙන් කිවයුතු නොවේ. නමුත් වයඹ පළාත් සභාවේ විපක්ෂය දැන් සූදානම් වන්නේ තමන් වෙත පැවැරී ඇති එම වගකීම අධීක්ෂණ මන්ත්‍රීධූරයක් හමුවේ පාවාදීමටය. එබැවින් ලියුම්කරුට එරෙහිව නඩු පවරන බව කියමින් පළාත් සභා රැස්වීම්වලදී පාරම්බාන නායකවරුන්ට අප නැවතත් කියන්නේ යහපාලනයේ නාමයෙන් පළාත් සභාව නාඩගම් නටන මන්ත්‍රී මුදලාලිලා ජනතාව හමුවේ නිරුවත් කිරීමට වරද එල්ලුම් ගස් යැවීම නම් එහි තොණ්ඩුව දෝතින්ම භාරගැනීමට ලියුම්කරු මහත් කැමැත්තෙන් සිටින බවය.
උපුටාගැනීම – මව්බිම පුවත්පත, 2016 සැප්තැම්බර් 22 වැනි බ්‍රහස්පතින්දා