මේ වන විටත් ඇදහැලෙමින් අධික වර්ෂාව හේතුවෙන් වනාතවිල්ලුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් වට්ටකන්ඩල් ග්‍රාම නිලධාරි වසම තුළ පිහිටි ගම්මාන රැසක මාර්ග ගණනාවක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසා එම ගම්මානවල වෙසෙන ජනතාවගේ යාම් ඊම් කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ වී තිබේ.
මෙම මාර්ග අඩි කිහිපයක් උසට ජලයෙන් යටවීම නිසා ඒවා ඔස්සේ කෙරෙන ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ලවී ඇති අතර පාගමනින් පවා ගමන්කිරීම අනතුරුදායක තත්වයක පවතී.
මීට අමතරව ඉස්මයිල්පුරම්හි පිහිටා ඇති අනාථ වැව පිටාර ගැලීම නිසා ඒ අවට පිහිටි රෙඩ්බානා, ඉස්මයිල්පුරම්, අම්බලම ඇතුළු තවත් ගම්මාන ගණනාවක් වෙත දිවෙන මාර්ග කිහිපයක් අඩි 3ක් පමණ උසට ජලයෙන් යට වී පවතී.
ඊයේ (14 දා ) පස්වරුව වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ ජලාශ රැසක වාන්දොරටු විවෘත කර තිබූ බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය කියයි. රාජාංගණය ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි 4 බැගින්ද, තබ්බෝව ජලාශයේ වාන් දොරටු අටක් අඩි 1 බැගින්ද, දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි 11/2 බැගින්ද විවෘත කර පිටාර ජලය නිකුත් කරමින් ඇති බව එම ඒකකය වැඩිදුරටත් කියයි.
රාජාංගණය ජලාශයේ වාන් දොරටු විවෘතකිරීමත් සමග විල්පත්තුව ජාතික වනෝද්‍යානයට දකුණු මායිම්ව ගලා බසින කලා ඔය පිටාර ගැලීම හේතුවෙන් එළුවන්කුලම ක්‍රොස්වේ පාලම ජල අඩි පහක් පමණ ජලයෙන් යටවීම නිසා පුත්තලම, පැරණි මන්නාරම් මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම නැවැතී තිබේ.