Saturday, September 21, 2024

රාත්‍රියට වසා දමන දුම්රිය ස්ථානයක්

Must read

               එය 2024 ජූලි මස 23 වැනි අඟහරුවාදා දිනයි   එදින රාත්‍රී හදිසි කාරණාවකට  හලාවත  නගරයේ ඥාති නිවසකට යාමට සිදු වුනා. එම වෙලාවට බස් රථවලින් යනවාට වඩා දුම්රියෙන් ගමන් කිරීම පහසු බැවින් ඒ වෙලාවට එනම් රාත්‍රී 840 ට පමන හලාවත බලා යන දුම්රිය බලාපොරොත්තුවෙන් මා වයික්කාල දුම්රිය ස්ථානයට පැමිණීයා. ඒ වන විටත් එම දුම්රිය වයික්කාල දුම්රිය ස්ථානයට   පැමිණ තිබුනේ නැහැ. ඒ වෙලාවේ මා හලාවතට යෑම සඳහා ප්‍රවේශ පත්‍රයක්  ගැනීමට වයික්කාල දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර කවුළුව වෙත ගියත් එම ප්‍රවේශ පත්‍ර කවුළුව වසා දමා තිබුනා. ඉන්පසු මා දුම්රිය ස්ථානයේ  කාර්යාල කටයුතු කරන ඒ කුඩා කාමරය අසලට ගිය විට දැකගැනීමට හැකිවුණේ එම කාර්යාලයේ ප්‍රධාන දොර ද අගුළු දමා වසා ඇති ආකාරයයි.
                  ඉන් පසුව එතනට පැමිණි දුම්රිය ස්ථානය ආසන්න නිවසක පදිංචි පුද්ගලයකු පැවසුවේ දුම්රිය ස්ථානය සෑම දිනකම රාත්‍රී 8 පමණ වන විට මෙලෙස වසා දමන බවයි.
එලෙසම ඒ පුද්ගලයා වැඩිදුරටත් පවසා සිටියේ මේ දැන් පැමිණීමට තිබෙන දුම්රිය හැර තවත් කොළඹ සිට හලාවත දක්වා ධාවනය වන දුම්රියක් දවසේ අවසාන් දුම්රිය ලෙස තව පැයකින් පමණ පැමිණීමට නියමිත බවයි.  එහෙත් මේ වන විටත්  දුම්රිය ස්ථානය වසා දැමීම මේ ආකාරයෙන්  සෑම දිනකම සිදුවන බව ඔහු  පැවසුවා.

           ඉන් විනාඩි පහකින් පමණ පසුව පැමිණි රාත්‍රී 8.40 යේ හලාවත දුම්රියට මා ගොඩ වුවත්  වලංගු ප්‍රවේශපත්‍රයක් මා සතුව තිබුණේ නැහැ. එලෙස සිදු වුනෙි  මගේ වරදකින් නොව වයික්කාල දුම්රිය ස්ථානය ඒ මොහොතේ වසා දමා තිබුණු නිසායි.

      ඉන් පැයකට පමණ පසු මා හලාවත නගරයට ගිය අතර දුම්රියෙන් බැස දුම්රිය ස්ථානයට හරහා පිටතට පැමිණෙන්නට වුනා. එලෙස පැමිණෙද්දී හලාවත දුම්රිය ස්ථානයේ සේවය කරන  ප්‍රවේශපත්‍ර පරීක්ෂා කරන අයෙකු මාගෙන් ප්‍රවේශපත්‍රය විමසා සිටියා. එහිදී මා සිදුවූ සත්‍ය තත්වය ඔහුට පැහැදිලි කළා. එහෙත් ඔහු පැවසුවේ මා නීති විරෝධී වරදක් කර ඇති බවයි. ඔහු පවසන්නේ නිසි ප්‍රවේශපත්‍රයක් නොමැතිව ධාවනය වන දුම්රියකට ගොඩවීම පවා දඬුවම් පැමිණිවිය හැකි වරදක් බවයි.  එහිදී ඔහු පැවසුවේ හලාවතට පැමිණෙන මාර්ගයේ ඇති වෙනත් දුම්රිය ස්ථානයකින් හෝ ප්‍රවේශ පත්‍රයක් මිලදී ගැනීමට මා හට අවස්ථාව තිබු බවයි.එහිදී මම ඔහුට පැහැදිලි කළේ ධාවනය වන දුම්රියකින් බැස දුම්රිය ස්ථානයකට දුව ගොස් ප්‍රවේශපත්‍රයක් මිලදීගෙන යලි දුවමින් එම දුම්රියටම ගොඩවීම ඉක්මනින් කළ යුතු කාර්යයක් බවයි. එමෙන්ම එහි ඇති අවදානම්කාරී තත්ත්වයද මා ඔහුට පැහැදිලි කළත් ඔහු එය තේරුම් නොගෙන  මා වෙතට නැවත නැවතත් චෝදනා කළේ මා දඩයකට යටත් කළ හැකි වරදක් කර ඇති බවයි.
     එහිදී මා ඔහුට අවසන් වශයෙන් පැහැදිලි කළේ  ප්‍රවේශපත්‍රයක් නොමැතිව දුම්රිය ගමන් කිරීමට මා හට සිදුවූයේ මාගේ වරදකින් නොව ඒ අවස්ථාවේ වයික්කාල දුම්රිය ස්ථානය මුළුමනින්ම වසා දමා තිබූ නිසා බවයි. අවසානයේ ඔහු එය පිළිගන්නා බවක් තේරුම් ගිය අතර ඔහු මා හට දුම්රිය ස්ථානයෙන් පිටතට එන්නට අවසර ලබා දුනි.

     පැය කාලකට අධික කාලයක් හෝ මා එලෙස දැඩි දුෂ්කරතාවයකට හා අසිරිතාවන් ගණනාවකට මුහුණ දුන්නේ මාගේ වරදකින් නොව දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇති නිසි කළමනාකාරිත්වයක් නොමැති කම නිසාවෙනි. අඩුම තරමින් දව⁣සේ දුම්රිය වාර ගමන් අවසන් වන තෙක් හෝ දුම්රිය ස්ථානයක දුම්රිය ස්ථානාධිපතිවරයෙකු හෝ  සුදුසුකම්ලත් දුම්රිය ස්ථාන  භාර නිලධාරියෙකු හෝ  සෑම දුම්රිය  ස්ථානයකටම  අනුයුක්ත කළ යුතුව ඇත. එසේ නොවුනහොත් දුම්රිය ධාවනය සිදුවන වේලාවන් වල හදිසි අවස්ථාවන් වැනි තත්ත්වයකදී වගකිවයුතු වන්නේ කවුද?

  මේ ගැටළුව දුම්රිය බලධාරීන්ගේ නෙත ගැටේවා

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article