Saturday, November 23, 2024

යුද්දේ නිසා පොලිසියට වෙච්ච දේ ගැන පොලිස්පති කතාකරයි.

Must read

ig_wellawaපොලිසිය ප‍්‍රතිසංස්කරණය විය යුතු කාලය පැමිණ ඇති බව පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා කියයි.

පොලිස්පතිවරයා මේ බව පැවසුවේ වැල්ලව පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට පසුගියදා සහභාගි වෙමිනි.

එහිදී අදහස් දැක් වූ පොලිස්පතිවරයා මෙසේද පැවසීය.

වත්මන් රජය ශ‍්‍රී ලංකා පොලිසියේ ගොඩනැගිලි ප‍්‍රතිසංස්කරණය කිරීම සදහා එහෙම නැත්නම් ගොඩනැගිලි සංවර්ධනය සදහා විශේෂ අවධානයකින් යුතුව කටයුතු කරන බව මම මේ අවස්ථාවේදී කියන්න ඕනෑ. මේ ආකාරයෙන් ඉදිකරන ලද තවත් ගොඩනැගිලි කිහිපයකම වැඩකටයුතු අවසන් අදියරට පැමිණ තිබෙනවා. ඉදිරි මාස කිහිපය තුළ යාපනය, ඔඞ්ඩුසුඩාන්, මොණරාගල, මාවතගම යන පොලිස් ස්ථානයන් විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. හෙට අපි වීරවිල පොලිස් ස්ථානය විවෘත කරනවා. ගොකරැල්ල පොලිස් ස්ථානය ඉදිකිරීමට තව මාස කිහිපයක් ඇතුලත මුල්ගල් තියන්න බලාපොරොත්තු වෙනවා. මේ ආකාරයෙන් ශ‍්‍රී ලංකා පොලිසියේ ගොඩනැගිලි සංවර්ධනය කිරීම සදහා මේ වෙනකොට දැවැන්ත පියවර කිහිපයක් අරගෙන තියෙනවා. වසර එකසිය පනහක් තිස්සේ මේ ගොඩනැගිලි පරණ වුනා වගේම ශ‍්‍රී ලංකා පොලිසිය කියන්නෙත් ඉතාමත් පැරණි ආයතනයක්. ලංකාවේ තියෙන දෙපාර්තමේන්තු අතරින් තුන්වැනි පැරණිම ආයතනය පොලිසිය කියලා තමයි අපිට දැනගන්නට තියෙන්නේ. එම නිසා ගොඩනැගිලි විතරක් නෙවෙයි මේ ආයතනයත් ප‍්‍රතිසංවිධානය විය යුතු අවස්ථාවකට පැමිණ තිබෙනවා. ඒකට එක හේතුවක් තමයි ශ‍්‍රී ලංකා පොලිසිය බි‍්‍රතාන්‍ය ජාතිකයින් විසින් ආරම්භ කළේ 1666 දී. ඒ ආරම්භ කළේ ඒ අයගේ බි‍්‍රතාන්‍ය රාමුව තුල. එදා තිබුණු ඒ අධිරාජ්‍යවාදී රාමුව තුළ ඒ අයට ගැලපෙන ආකාරයට. මේ රාමුව වරින් වර වෙනස් වී ගියත් අදටත් අපේ සේවාව තූල ඒ අධිරාජ්‍යවාදී රාමුවේ යම් යම් කොටස් ඉතිරිවෙලා තියෙනවා. ඒ නිසා මේ රාමුවෙන් , රටාවෙන් මිදී අදට ගැලපෙන පරිදි ප‍්‍රතිසංවිධානයක් විය යුතු යුගයකට පොලිසිය අද වෙනකොට ඇවිත් තියෙනවා කීවොත් නිවැරදියි. ප‍්‍රතිසංවිධානයක අවශ්‍යතාවය දැනෙන ඊළග කාරණාව තමයි අපේ රට තුළ ඇතිවෙච්ච යම් යම් සිද්ධීන්. විශේෂයෙන්ම වසර තිහකට අධික කාලයක් අපේ රටේ පැවතිච්ච ඒ කුරිරු යුද්ධය. මේ යුද්ධය නිසා අපේ රටේ පොලිසිය විශාල පරිවර්තනයකට ලක් වුණා. වෙනසකට ලක් වුණා. අපේ වැඩිහිටියෝ දන්නවා ඇති එදා ඔබ දැකපු පොලිස් නිලධාරියා පාරේ ගමන් කළේ රතු පාට , නිල් පාට පෑන් දෙකක් සාක්කුවේ ගහගෙන, පොතක් අතේ තියාගෙන තමයි ගමන් කළේ. වැඩිම වුනොත් බැට්න් එකක් පැත්තකින් එල්ලාගෙන තමයි රාජකාරි කටයුතු කළේ. පෑන, පොත අරගෙන තමයි රාජකාරි කළේ. නමුත් මේ යුද්ධෙත් එක්ක මේ පෑන, පොත වෙනුවට ටී පනස් හය අතට ආවා. ටී පනස් හය අතට එනවත් එක්තම පොලිස් නිලධාරියා තුළ ආකල්පමය වෙනසක් ඇති වුණා. අනිත් පැත්තෙන් ජනතාව පොලිසිය දෙස බලපු ආකාරයේ වෙනසක් ඇති වුණා. එදා ජනතාව සහ පොලිසිය අතරේ තිබුණු සුහදභාවයේ යම් දුරස්ථබවක් ඇති වුණා. පොලිසියත් හමුදාමය ස්වරූපයක් ගත්තා. සමහර ස්ථානවල පොලිසිය කැලෑ ඇදුම් ඇදගෙන රාජකාරී කරන්න පටන්ගත්තා. පොලිසිය අතුරු හමුදාවක් බවට පත් වුණා. ඒ තුළින් පොලිසියේ සම්ප‍්‍රදායික රාජකාරි කටයුතු සහ ගතිගුණ බොහෝදුරට වෙනස් වුනා. පහුගිය අවුරුදු තිහක් තිස්සේ ඇති වුණු මේ වෙනස යුද්ධයෙන් පස්සේ ආපහු අර පරණ තැනට ගෙනියන්න අපිට දැන් සිද්ධවෙලා තියෙනවා. අන්න ඒකත් එක හේතුවක් තමයි අපිට අද පොලිසියේ ප‍්‍රතිසංවිධානය කිරීමේ අවශ්‍යතාවය දැනෙන්න. මෙන්න මේ නිසා අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා වගේම අමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් ශ‍්‍රී ලංකා පොලිසිය ප‍්‍රතිසංවිධානය සදහා වැඩකටයුතු රාශියක් ආරම්භ කරලා තියෙනවා. ඒවායේ ප‍්‍රතිඵල ඉදිරි කාලයේදී දැකගන්න පුලුවන්. ශ‍්‍රී ලංකා පොලිසිය වෘත්තිමය පොලිසියක් දක්වා ගෙනයන්න අවශ්‍ය වැඩපිළිවෙල මේ වෙනකොට සකස් වෙමින් පවතිනවා. යැයි පැවසීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article