Sunday, January 19, 2025

“මෛත්‍රී – රනිල් බලයට ගෙනඒමේ අරමුණක් තිබුණේ නැහැ. මහින්ද රජය ගැන කලකිරුණු නිසා කළ යුතු දේ කළා !“

Must read

aluth_parpura_courts_1සාක්ෂිකරුවන්ගේ වෘත්තිමයභාවය පිළිබදව අධිකරණයට දැනගැනීමට අවශ්‍ය නැති බවත්, සිදුවීමට අදාළ නොවන ප‍්‍රශ්න අසමින් අධිකරණයේ කාලය නාස්ති නොකරන ලෙසටත්, අලුත් පරපුර කලාකරුවන්ට පහරදීම සම්බන්ධ නඩුවේ විත්තිය වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරුන් වෙත අවවාද කරමින් කුරුණෑගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගීතානි විජේසිංහ මෙනවිය විවෘත අධිකරණය හමුවේ ප‍්‍රකාශ කළාය.

මහේස්ත‍්‍රාත්වරිය මෙලෙස ප‍්‍රකාශ කළේ ‘මුලාවෙන් මිදෙමු’යන මැයෙන් පසුගිය ජනාධිපතිවරණ සමයේදී කුඹුක්ගැටේ නගරයේදී ප‍්‍රසංගයක් පවත්වමින් සිටි අලුත් පරපුර කලාකරුවන් පිරිසකට පහරදුන් බවට වයඹ පළාත් සභා මන්ත‍්‍රී කමල් ඉන්දික මහතා ඇතුලු පිරිසකට එරෙහිව කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව පසුගිය 21 වැනිදා යළි කැද වූ අවස්ථාවේදීය.

පළාත් සභා මන්ත‍්‍රී දොන් කමල් ඉන්දික මහතා සහ මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කර සිටින තවත් තිදෙනෙකු එදින අධිකරණය හමුවේ පෙනී සිටි අතර මෙම නඩු විභාගයේ පැමිණිල්ලේ පළමු , දෙවැනි සහ පස්වැනි සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටි ගායන ශිල්පි ලක්ෂ්මන් විජේසේකර, රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා සහ ගායන ශිල්පි ඉන්ද්‍රචාපා ලියනගේ යන කලාකරුවන්ද එදින අධිකරණය හමුවේ පෙනී සිටියහ.

මෙම නඩුව සම්බන්ධයෙන් සාක්ෂි විභාගයද එදින ආරම්භ වූ අතර පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි මෙහෙය වූ ගොකරැල්ල පොලිසියේ සැරයන් සූරසේන (20017 ) මහතාගේ හරස් ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ගායන ශිල්පි ලක්ෂ්මන් විජේසේකර මහතා මෙලෙස පැවසීය.

සාක්ෂිකරුගේ සම්පූර්ණ නම ?
රවීන්ද්‍රනාත් ලක්ෂ්මන් අල්විස් ද විජේසේකර.
සාක්ෂිකරුගේ ලිපිනය ?
අංක 840, 31 එස්, කලාපුර, ටෙම්ප්ලර්ස් පාර, ගල්කිස්ස.
සාක්ෂිකරුගේ රැකියාව ?
මම විශ‍්‍රාමිකයෙක්.
සාක්ෂිකරු අද සාක්ෂි ලබාදීමට පැමිණ සිටින්නේ කුමන කරුණක් සම්බන්ධයෙන්ද?
2014. 12. 29 වැනිදා පැවැත්වුණු රැස්වීමකදී සිදු වුණු පහරදීමක් සම්බන්ධයෙන්. මේක දේශපාලන රැස්වීමක්. අලුත් පරපුර කියලා සංවිධානයකින් තමයි මේක සංවිධානය කරලා තිබුණේ.
කීයට විතරද මේ රැස්වීම පටන්ගත්තේ ?
උදේ එකොළහ පහුවෙලා.
සාක්ෂිකරු මේ රැස්වීමට සහභාගිවෙන්න ආවේ කොහේ ඉදලද ?
කොළඹ ඉදලා.
සාක්ෂිකරුට අමතරව තවත් අය මේ රැස්වීමට සහභාගිවෙලා හිටියාද ?
ඔව්. මගේ දුව අමා විජේසේකර සහ අලුත් පරපුර නියෝජනය කරන සමනලී ෆොන්සේකා ඇතුලු විසි පහක, තිහක විතර පිරිසක් සහභාගිවෙලා හිටියා.
මේ රැස්වීම පැවැත්වුණේ කලින් සූදානම් කළ වේදිකාවකද ?
නැහැ. ජංගම වේදිකාවක.
ඒ රැස්වීම පැවැත්වෙමින් තිබෙන අතරතුරේදී මොකද වුණේ ?
නිල් බලකාය කියලා සදහන් වෙලා තිබුණු ටී ෂර්ට් ඇදගත්තු පනහක විතර පිරිසක් එතැනට ඇවිත් අපිට ගල්මුල්වලින් පහරදෙන්න පටන් ගත්තා.
එම ස්ථානයේ මහජනයා හිටියද ?
එතැන පොළක් තිබුණා. ඒ පොළට ආව මිනිස්සු හිටියා.
රැස්වීම ළගටත් සෙනග එකතුවෙලා හිටියාද ?
ඔව්. පොළට ආව මිනිස්සු රැස්වීම ළගට එමින් යමින් හිටියා.
රැස්වීමට ගල්මුල් එල්ලවෙනකොට මොකද කළේ ?
ඒ වෙලාවේ වේදිකාවේ නිවේදන කටයුතු කරමින් හිටියේ මගේ දුව අමා විජේසේකර. ඒ ආව පිරිස ගල්මුල්වලින් ගහන්න ගත්තට පස්සේ අපි ඇයව වේදිකාවෙන් බස්සගත්තා.
මෙතැනදී සාක්ෂිකරුටත් පහරදීමක් වුණාද ?
ඔව්. මට පා පහරක් එල්ල වුණා.
කවුද සාක්ෂිකරුට පා පහරක් එල්ල කළේ ?
කමල් ඉන්දික කියලා කෙනෙක් බව පසුව දැනගත්තා.
එම තැනැත්තා මෙතැන ඉන්නවාද ?
ඔව්. විත්තිකූඩුවේ පළමුවැනියාට එන්නේ ඔහු තමයි.
ගල්මුල්වලින් පහරදුන් පිරිස අතර සිටි අයත් මෙතැන ඉන්නවාද ?
ඔව්. එදා හෙල්මට් එකක් දාගෙන හිටිය කෙනෙක් ඉන්නවා. විත්තිකූඩුවේ දෙවැනියට ඉන්නේ එයා.

අනතුරුව විත්තිය වෙනුවෙන් සාක්ෂි මෙහෙය වූ නීතිඥ කීර්ති දුණුසිංහ මහතාගේ හරස් ප‍්‍රශ්නවලට පිළිතුරු දුන් ලක්ෂ්මන් විජේසේකර මහතා මෙලෙස පැවසීය.

මේ සිද්ධිය කවදදාද වුණේ ?
2014. 12. 29 වැනිදා
එදා දවසේ දේශපාලන රැස්වීමක්ද එතැන තිබුණේ ?
ඔව්.
මේ රැස්වීම පවත්වන්න පොලිසියෙන් අවසරයක් ගත්තද ?
සංවිධායකවරුන්ගෙන් තමයි ඒක අහන්න ඕනැ.
කවුද සංවිධායකවරු ?
සංවිධායකවරු ගොඩක් ඉන්නවා.
කවුද ? එක්කෙනෙකුගේ නමක් කියන්න ?
සමනලී ෆොන්සේකා, තව අලුත් පරපුරේ ගොඩක් අය. සංවිධායකවරු කියලා විශේෂයෙන් හිටියේ නැහැ. අපිම තමයි සංවිධායකවරු.
හරි. ඒ කියන්නේ ඔබලා තමයි මේක සංවිධානය කළේ. එතකොට මේ රැස්වීම පවත්වන්න පොලිසියෙන් අවසරයක් ගත්තාද ?
මම ඒ ගැන දන්නේ නැහැ.
වෙන කවුරුහරි අවසර ගත්තාද ?
දන්නේ නැහැ.
මේ රැස්වීමේදි ශබ්ද විකාශණ යන්ත‍්‍ර පාවිච්චි කළාද ?
ඔව්. ගෙනැත් තිබුණු ඒවා පාවිච්චි කළා.
ශබ්ද විකාශණ යන්ත‍්‍ර පාවිච්චි කරන්න පොලිසියෙන් අවසරයක් ගත්තාද ?
ඒ ගැන හරියටම දන්නේ නැහැ.
මම යෝජනා කරනවා තමන් පොලිසියෙන් කිසිම අවසරයක් හෝ බලපත‍්‍රයක් නැතිව දේශපාලන රැස්වීමක් පවත්වලා නීතිවිරෝධී ජනරාශියක් සිදුකළාය කියලා ?
මම පිළිගන්නේ නැහැ.
තමන් ඔය රැස්වීමට ආවේ මොන ධාරිතාවයෙන්ද ?
මම අවේ ගායකයෙක් විදිහට.
තමන් ගායකයෙක් කියලා ඔප්පු කරන්න මොනවා හරි ලිපි ලේඛණ මේ අධිකරණයට ඉදිරිපත් කරන්න පුලුවන්ද ?
එහෙම ලේඛණයක් නැහැ.
මම යෝජනා කරනවා ඔබ ඔය කියන ආකාරයේ ගායකයෙක් නෙවෙයි කියලා.

මේ අවස්ථාවේදී විනිශ්චයාසනයේ සිටි මහේස්ත‍්‍රාත් ගීතානි විජේසිංහ මෙනවිය විත්තියේ නීතිඥවරයාගේ ප‍්‍රශ්නය ප‍්‍රතික්ෂේප කළාය.‘‘ඒක මේ සිදුවීමට අදාල ප‍්‍රශ්නයක් නොවයි. සාක්ෂිකරු ගායකයෙක් කියා ඔප්පු කිරීමක් අධිකරණය බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා සාක්ෂිකරු එවැනි ප‍්‍රශ්නවලට පිළිතුරු නොදුන්නා කියා ප‍්‍රශ්නයක් වෙන්නේ නැහැ.“ මහේස්ත‍්‍රාත්වරිය කීවාය.

සාක්ෂිකරු තමන්ගේ මූලික සාක්ෂියේදී ප‍්‍රකාශ කළා නිල් බලකායේ පිරිසක් ඇවිත් තමන්ට පහරදුන්නා කියලා.
මට මතකයක් නැහැ.
නිල් බලකාය කියන්නේ මොකක්ද ?
දේශපාලන සංවිධානයක්.
ඔබ කිව්වා ඔබට පහරදීමක් වුණා. අනිත් අයට ගල්මුල් ප‍්‍රහාරයක් එල්ල වුණා කියලා.
ඔව්. මට පහරදීමක් වුණා.
ඒ පහරදුන් පුද්ගලයා කලින් හදුනනවාද ? ඔහුගේ නම, ගම දන්නවාද ?
කලින් හදුනන්නේ නැහැ. නමුත් ඉන් ටික වේලාවකට පසුව හදුනාගත්තා.
තමන් එදා පොලිසියට දුන් කට උත්තරයේ පළමු විත්තිකරු පහරදුන්නා කියලා කිසිම සදහනක් කරන්නේ නැතුව මේ සිද්ධියෙන් අවුරුදු දෙකකට පස්සේ අද පළමුවැනි වතාවට මේ විත්තිකරු ඔබට පහරදුන්නා කියලා බොරුවක් කියනවා කියලා මම යෝජනා කරනවා.
මම බොරුවක් කියන්නේ නැහැ.
ඒ වගේම පොලිසියට දුන් කට උත්තරයේ හෙල්මට් එකක් දාලා හිටපු පුද්ගලයෙක් ගැන කිසිම සදහනක් කරලත් නැහැ කියලා මම කියනවා.
සමහරවිට මට අමතක වෙන්න ඇති.
නීත්‍යානුකූල බලපත‍්‍රයක් හෝ අවසරයක් නැතිව නීතිවිරෝධී රැස්වීමක් පවත්වන්න ගිය අවස්ථාවේදී ප‍්‍රකෝප වූ ප‍්‍රදේශවාසීන් විසින් ඔබ ඇතුලු පිරිස එතැනින් පලවා හැරියාට පස්සේ ප‍්‍රදේශයේ දේශපාලන අධිකාරිය පටලවලා බොරු නඩුවක් හැදුවා කියලා මම යෝජනා කරනවා.
මම ඒක පිළිගන්නේ නැහැ.
එවකට තිබුණු මහින්ද රාජපක්ෂ රජය පරාජයට පත්කරලා වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා බලයට ගෙන ඒමේ අරමුණ ඇතිව තමයි ඔබ ඔය රැස්වීම සංවිධානය කළේ ?
නැහැ. අපිට එහෙම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඒ වෙලාවේ කළ යුතුව තිබුණු දේ අපි කළා.
එහෙනම් මොකක්ද බලාපොරොත්තු වුණේ ?
අපි ඒ රැස්වීම සංවිධානය කළේ කාටවත් විරුද්ධව නෙවෙයි. තිබුණු රජය ගැන අපි කලකිරිලා හිටපු නිසා අපි එහෙම දෙයක් කළා.
මේ පහරදීමෙන් පස්සේ ඔබ ඇතුලු පිරිස මාධ්‍ය සාකච්ඡා පවත්වමින් මේ සම්බන්ධයෙන් කතා කළා ?
ඔව්.
ඒ හරහා ඔබ ඇතුලු පිරිස යම් යම් දේශපාලනඥයින්ගේ අතකොලු ලෙස කටයුතු කළා ?
නැහැ. අපි කාගේවත් අතකොලු විදිහට කටයුතු කළේ නැහැ.

පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි මෙහෙය වූ ගොකරැල්ල පොලිසියේ සැරයන් සූරසේන මහතාගේ හරස් ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා මෙනවිය මෙලෙස පැවසුවාය.

සාක්ෂිකාරියගේ සම්පූර්ණ නම ?
වන්නිආරච්චිගේ සමනලී ශානිකා ෆොන්සේකා.
සාක්ෂිකාරියගේ ලිපිනය ?
අංක 51/4, ධර්මාලෝක මාවත, වරාගොඩ පාර, කැළණිය.
සාක්ෂිකාරියගේ රැකියාව ?
වෘත්තිය රංගන ශිල්පිනියක්.
සාක්ෂිකාරිය අද සාක්ෂි ලබාදීමට පැමිණ සිටින්නේ කුමන කරුණක් සම්බන්ධයෙන්ද?
2014 දෙසැම්බර් 29 වැනිදා කුඹුක්ගැටේ ප‍්‍රදේශයේදී අලුත් පරපුර විසින් සංවිධානය කරපු ප‍්‍රසංගයකට සිදු වූ පහරදීමක් පිළිබදව.
ඔබට මේ රැස්වීමට සහභාගිවෙන්න කියලා ආරාධනාවක් ලැබුණද ?
අලුත් පරපුර කියන ස්වාධීන සංවිධානයෙන් සංවිධානය කරපු ස්වාධීනව පවත්වපු ප‍්‍රසංගයක් මේක. මමත් ඒකට ස්වේච්ඡාවෙන් සහභාගි වුණා.
ඔබට අමතරව තවත් අය කලාකරුවන් මේකට සහභාගිවෙලා හිටියාද ?
ඔව්. අට දෙනෙක් විතර සහභාගිවෙලා හිටියා. ඊට අමතරව වාදක කණ්ඩායමක් හිටියා.
කීයට විතරද මේ රැස්වීම ආරම්භ කළේ ?
උදේ එකොළහට විතර.
එතැනට සෙනග එකතුවෙලා හිටියාද ?
තුන්සීයක් හාරසීයක් විතර හිටියා.
ඔය පහරදීම සිදුවෙන්නේ ප‍්‍රසංගය ආරම්භ කරලා කොපමණ වෙලාවකට පසුවද?
විනාඩි 10 -15 කට විතර පස්සේ
ඒ ප‍්‍රසංගය පවත්වමින් ඉන්න අතරතුරේදී මොකද වුණේ ?
නිල් බලකාය කියලා ටී ෂර්ට් ඇදගෙන හිටපු පිරිසක් වේදිකාව දකුණු අත පැත්තෙන් ඇවිත් කෑගහන්න පටන්ගත්තා. අපි කිව්වා අපිට කරදර කරන්න එපා කියලා. නමුත් ඒ අය අපිට ගල්මුල්වලින් අපට පහරදෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේ වේදිකාවේ නිවේදන කටයුතු කරමින් හිටියේ අමා විජේසේකර. ඇයගේ ආරක්ෂාවට අපි ඇයව වේදිකාවෙන් බස්සගත්තා.
ඒ පිරිස ඔබ හදුනාගත්තාද ?
ඔව්. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද රාජපක්ෂ පිලේ කට්ටිය කියලා හදුනාගත්තා.
මෙතැනදී ඔබටත් පහරදීමක් වුණාද ?
ඔව්. මගේ පපුව ප‍්‍රදේශයට ගලක් වැදුණා.
ඒ ගල් පහර එල්ල කළ පුද්ගලයා හදුනාගත්තාද ?
නැහැ. සෙනග අතරින් තමයි ගල් පහරවල් ආවේ.
ඔබට අමතරව තවත් කාටහරි තුවාල වෙලා තිබුණාද ?
උදය ධර්මවර්ධනගේ ඔලුවට ගල් පාරක් වැදිලා තුවාල වෙලා තිබුණා. ලක්ෂ්මන් විජේසේකර මහත්තයාට අතින් පයින් පහරදීලා තිබුණා.
ඒ පහරදීම කරපු පුද්ගලයා මෙතැන ඉන්නවාද ?
විත්තිකූඩුවේ පළමුවැනියාට ඉන්නේ ඒ පුද්ගලයා.
රැස්වීමට ගල්මුල් එල්ලවෙනකොට මොකද කළේ ?
ප‍්‍රදේශවාසීන්ගේ සහය ඇතිව අපි බස් එකට ගියා. පස්සේ එහෙමම කුරුණෑගලට ආවා.
ඔබ රෝහල්ගත වුණාද ?
ඔව්. කුරුණෑගල රෝහලට.
(පොලිස් සැරයන්වරයා විසින් වෛද්‍ය වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කළේය. )
මේ රැස්වීමට පොලිස් ආරක්ෂාව දීලා තිබුණාද ?
පොලිස් නිලධාරින් දෙතුන් දෙනෙක් එතැන හිටියා.
මේ පහරදීම වෙන වෙලාවේ එය වළක්වන්නට පොලිස් නිලධාරින්ට හැකියාව තිබුණේ නැද්ද ?
ඔවුන් උත්සහා කළා. නමුත් ඒක වළක්වන්න බැරි වුණා.
පහරදීමට පැමිණි තවත් අය මතකද ?
විත්තිකූඩුවේ දෙවැනියට ඉන්න පුද්ගලයා.
වෙනත් අය ?
අනිත් අය මට මතක නැහැ.
අනතුරුව විත්තිය වෙනුවෙන් සාක්ෂි මෙහෙය වූ නීතිඥ කීර්ති දුණුසිංහ මහතාගේ හරස් ප‍්‍රශ්නවලට පිළිතුරු දුන් සමනලී ෆොන්සේකා මෙනවිය මෙලෙස පැවසුවාය.
මේ රැස්වීම දේශපාලන තේමාවක් තුළ පැවැත්වුණු එකක්ද ?
ඔව්.
ඔබ මේ රැස්වීමේ සංවිධායකවරියක් ?
මම මේ රැස්වීමේ සංවිධාන කටයුතුවලට සම්බන්ධ වුණේ නැහැ. නමුත් අලුත් පරපුර සංවිධානය ඇතුලේ හිටියා.
කවුද එකේ සංවිධායකවරු ?
අලුත් පරපුර සාමාජිකයින්. නම් වශයෙන් කියන්න දන්නේ නැහැ.
මම යෝජනා කරනවා මේක කිසිම අවසරයක් හෝ බලපත‍්‍රයක් නැතිව පවත්වපු දේශපාලන රැස්වීමක් කියලා ?
මම දන්නේ නැහැ.
මේ රැස්වීමේදි ශබ්ද විකාශණ යන්ත‍්‍ර පාවිච්චි කරන්න පොලිසියෙන් අවසරයක් ගත්තාද ?
දැනුමක් නැහැ.
නීත්‍යානුකූල බලපත‍්‍ර හෝ අවසරයක් නැතිව නීතිවිරෝධී රැස්වීමක් පවත්වන්න ගිය අවස්ථාවේදී ප‍්‍රකෝප වූ පිරිස විසින් ඔබ ඇතුලු පිරිස එතැනින් පටලවා හැරියාට පස්සේ ප‍්‍රදේශයේ දේශපාලන අධිකාරිය පටලවලා බොරු නඩුවක් හැදුවා කියලා මම යෝජනා කරනවා.
දන්නේ නැහැ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ගොකරැල්ල පොලිසියට පළමු දැනුම්දීම කළේ කවුද ?
මට මතක නැහැ.
නමුත් ඔබ එදා පොලිසියට දුන්නු කට උත්තරයේ කියලා තියෙනවා මේ ගැන ගොකරැල්ල පොලිසියට දැනුම් දුන්නේ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක් අබේසිංහ මහතා විසින් බව ?
මට මතකයේ නැහැ.
( අදාළ ප‍්‍රකාශයේ පිටපතක් අධිකරණය වෙත ඉදිරිපත් කළේය. )
තමන් මෙම සිද්ධියෙන් පසුව ඒ පිළිබද වීඩියෝ දර්ශණ නැරඹුවාද ?
ඔව්.
ඒවා අනුසාරයෙන්ද ඔබ මේ පුද්ගලයින් හදුනාගත්තේ ?
කිසිසේත්ම නැහැ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්කරලා වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා බලයට ගෙන ඒමේ අරමුණ ඇතිව තමයි ඔබ ඔය රැස්වීමට සහභාගි වුණේ ?
ඔව්.
මේ පළමු විත්තිකරු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිරියාල ප‍්‍රධාන සංවිධායක ධූරයෙන් පිදුම් ලැබීම තුලින් ඔබලා විසින් පත්කරපු වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවා ඔහුගේ නිර්දෝෂීභාවය මේ වන විට පිළිගෙන ඇති බව ඔබ පිළිගන්නවාද ?
මේ අවස්ථාවේදී විනිශ්චයාසනයේ සිටි මහේස්ත‍්‍රාත් ගීතානි විජේසිංහ මෙනවිය විත්තියේ නීතිඥවරයාගේ නැවත වරක් ප‍්‍රශ්නය ප‍්‍රතික්ෂේප කළාය.
මේ පහරදීමෙන් පසුව ඔබ ඇතුලු පිරිස මාධ්‍ය සාකච්ඡා පවත්වමින් පළමු විත්තිකරු ඔබට පහරදුන් බව ප‍්‍රකාශ කළා ?
ඔව්.

නඩු විභාගය සැප්තැම්බර් මස 27 වැනිදා යළි කැදවීමට නියමිතය.

සාක්ෂි ලබාදීමෙන් පසුව ලක්ෂ්මන් විජේසේකර, සමනලී ෆොන්සේකා සහ ඉන්ද්‍රචාපා ලියනගේ යන කලාකරුවන් අධිකරණ භූමියෙන් පිටතට පැමිණි අයුරු.aluth_parpura_courts_4

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article