Saturday, November 23, 2024

මුහුදු යන්න අවසර ලැබුණත් කෝ භුමිතෙල් – මාරවිල ධීවරයෝ කණස්සල්ලෙන්

Must read

 

 

 

06

 

ඇදිරි නීතිය පවතින විට මුහුදට ගොස් මසුන් අල්ලා ගැනීමට සහනයක් ලබා දුන් නමුත් බෝට්ටු වලට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීම ගැටළුවක් වී ඇති බව මාරවිල ප්‍රදේශයේ ධීවරයින් සදහන් කරයි.

පසුගිය දින කීපයක මසුන් මැරීම සදහා මුහුදට යාමට ධීවරයින්ට හැකියවක් නොතිබුණි.නමුත් රජය විසින් ලබා දුන් සහනයක් අනුව ධීවරයින්ට ඇදිරි නීතිය පවතින විට මසුන් මැරීම සදහා මුහුදු යාමට අවස්ථාව ලැබී ඇත.ඒ අනුව 26 වැනිදා අළුයම මාරවිල – හලාවත ප්‍රදේශයේ ධීවරයින් මසුන් මැරීම සදහා මුහුදට ගොස් ඇත.නමුත් සැළකිය යුතු ධීවර යාත්‍රා ප්‍රමාණයක් මුහුදු නොගොස් ගොඩබිම ගාල් කර තිබෙන ආකාරය දැක ගත හැකි විය.

මේ සම්බන්ධයෙන් අප එම ධීවරයින්ගෙන් විමසා සිටියෙමු.

“මුහුදට යන්න අවස්ථාව දුන්න එක නම් හොදයි.ඒත් අපි අල්ලා ගෙන එන මාළු අලවි කරන්නේ කාටද?ඉස්සර නම් අපි අල්ලා ගෙන එන මාළු අරගෙන යන්න වෙළෙන්දෝ වෙරළටම එනවා.ඒ අතර පාරේ තියාගෙන අලවි කරන තැන් වලටත් සෙනග ඇවිත් අරගෙන යනවා.නමුත් ඇදිරි නීතිය නිසා බොහෝ දෙනෙකුට කොහේවත් යන්න ආකාරයක් නැහැනේ.ඒ නිසා ඉතිං සිද්ධ වෙන්නේ අල්ලන මාළු වලින් වැඩි ප්‍රමාණයක් ගෙදර ගෙනියන්න වෙන එකයි.” එක් ධීවරයෙකු පැවසීය.

 

“බෝට්ටු විශාල ප්‍රමාණයක් මුහුදට නොගොස් වෙරළේ ගාල් කර තිබෙනවා. මේකට හේතුව තමයි බෝට්ටු වලට අවශ්‍ය කරන භූමිතෙල් හොයා ගන්න නැතිකම.මම ඊයේ මේ පැත්තේ තියන සෑම පිරවුම්හලකටම ගියා භූමිතෙල් හොයන්න.ඒත් නැහැ.ඇදිරි නීතිය නිසා ඈතට යන්න විධියකුත් නැහැ. බෝට්ටුවෙන් ගියොත් මුහුදේ දියඹට ගිහිං මාළු ටිකක් අල්ලා ගෙන එන්න පුළුවන්.එහෙම නැත්නම් ඉතිං තෙප්පමෙන් ගිහිං ළග පාත දැල් දාලා හොද්දට මාළු අල්ලා ගෙන එන්න තමයි අපිට පුළුවන් වෙනන්නේ……” මාළු බේරමින් සිටි ධීවරයෙකු කියා සිටියේය.

“වෙන්න ඕනෑ හැම දෙයක්ම අපිට වෙලා ඉවරයි.දවස් ගානකින් රස්සාවේ යන්න බැරිව ගියා.අපි හිතුවා අද වත් මාළු ටිකක් අහුවෙයි කියලා.කොහේද දවල්ට කෑම වේලට විතරක් අල්ලා ගත්තා.ඕක තමයි ඇත්ත තත්ත්වය.මේ වේලාවේ අපි ගැනත් ආණ්ඩුවේ අය බලනවා නම් තමයි හොද…..”දැල් බේරමින් සිටි ධීවරයෙකු කියා සිටියේය.

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීය.හෙතෙම මෙසේ කියා සිටියේය.”ධීවරයින්ට මුහුදු යන්න අවස්ථාව ලබා දීමට රජය තීරණය කිරීම සම්බන්ධයෙන් අපි මුලින්ම ස්තුති වන්ත විය යුතුයි.මොකද ධීවරයා මේ වෙලාවේ අන්ත අසරණ වෙලා ඉන්නේ.නමුත් ඔවුන් මුහුදට ගිහිං අල්ලා ගෙන එන මාළු අලවි කරන්නත් ක්‍රමවත් වැඩ පිළිවෙලක් සකස් කළ යුතුයි.ධීවරයින්ගෙන් මාළු මිළදී ගෙන ගමට ගිහිං අලවි කරන්න වැඩ පිළිවෙලක් සකස් කළ යුතුයි.එහෙම නැත්නම් රජය විසින් ගෙන ඇති මේ තීරණය පුස්සක් බවට පත් වෙනවා. කරදිය ධීවරයාට ලබා දී ඇති සහනය මිරිදිය ධීවරයාටද ලබා දිය යුතු බවයි මගේ  නම් අදහස.”
11 (1) 1525


 

ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article