ගැඹුරු මුහුදේ කිමිදී මුහුදු කූඩැල්ලන් ඇල්ලීම සදහා රජය විසින් ලබා දී තිබූ අවසදරය දිවා කාලයට පමණක් සීමා කිරීම හේතුවෙන් තමන් දැඩි අසීරු තාවයකට පත්ව සිටින බව කිමිදුම්කරුවන් සදහන් කරයි.
කල්පිටියේ සිට හලාවත දක්වා මුහුදු මුහුදු තීරය තුළ පමණක් ගැඹුරු මුහුදේ කිමිදී මුහුදු කූඩැල්ලන් ඇල්ලීමේ කටයුතු වල ධීවරයින් 1000 කට වඩා වැඩි පිරිසක් නිරත වේ.ගොඩබිම සිට කිලෝ මීටර් 40 ක් පමණ දුරකට ගොස් තම රැකියාව කිරීමට මෙම පිරිස පුරුදු වී සිටී.අඩි 80 – 100 කට වඩා ගැඹුරට මුහුදු පතුල දක්වා තමන් තිමිදෙන බව එම ධීවරයින් කියා සිටියේය.
කිමිදුම් කටයුතු සදහා අවශ්‍ය ඇදුම් කට්ටල සහ ඔක්සිජන්ද ඔවුන් සපයා ගත යුතුව ඇත.එමෙන්ම සැතපුම් ගනනක් මුහුදේ යාත්‍රා කරන්නට අවශ්‍ය ඉන්ධනද ඔවුන්ම සපයා ගත යුතුව ඇත.ඒ අනුව එක් වරක් සදහා අවම වශයෙන් රුපියල් 15,000 ක මුදලක් වැය වන බව එම ධීවරයින් කියා සිටියේය.
“දවල් කාලයේ මුහුදු කූඩැල්ලන් අල්ලන එක පහසු වැඩක් නෙමෙයි.ඒක හරිම අමාරු වැඩක්.ඒ නිසා අපිට හොද අස්වැන්නක් කාලයකින් ලබා ගන්න බැරිව ගියා. සමහර දවස් වලට අපි හිස් අතින් ගෙදර එන්නේ.නමුත් රාත්‍රී කාලයේ මුහුදු කූඩැල්ලන් අල්ලන්න දෙනවා නම් ඒක ලොකු සහනයක්.මොකද රාත්‍රී කාලයට හොද අස්වැන්නක් නෙලා ගන්න පුළුවන්.
මුහුදු කූඩැල්ලන්ට අමතරව අපි මුහුදු පතුලේ ඉන්න බෙල්ලන් එකතු කිරීමද කරනවා.පසුගිය කාලයේ අලවිය පහත වැටී තිබුණත් දැන් නම් හොද අලවියක් තියනවා.නමුත් ගැටළුව වී තිබෙන්නේ දිවා කාලයේදී හොද අස්වැන්නක් ලබා ගන්න බැරිව යන එක පමණයි…….”එක් ධීවරයෙකු කියා සිටියේය.
“පසුගිය රජය කාලේ තමයි මේ තහනම ගෙනාවේ.අපි ඒ වෙලාවෙත් කිව්වා තහනම ඉවත් කරලා අපිට සහනයක් දෙන්න කියලා.එතකොට කියනවා නාවුක හමුදාව කියනවාළු අපි කිමිදුම් කටයුතු කරන එක ආරක්ෂාවට තර්ජනයක් කියලා.එහෙම නම් කොහොමද රාත්‍රී කාලයේ මුහුදේ බෝට්ටු වලින් ගිහිං මාළු අල්ලන්නේ.ලයිලා,සුරුක්කු වාගේ දැල් කරන අයට මේ තහනම නැහැ.අපිට විතරයි තහනම තියෙන්නේ.ඒ නිසා අපි කියන්නේ අපිට රස්සාව කරන්න ඉඩ දෙන්න කියන එක විරතයි.අපි වැඩි පඩි ඉල්ලන්නේ නෑ. නීති විරෝධී දෙයක් කරන්නේ නෑ.රජය විසින් නියම කරලා තියන ආකාරයට බලපත්‍ර අරගෙන තමයි මේ රස්සාව කරන්නේ.” තවත් කිමිදුම්කරුවෙකු කියා සිටියේය.
මේ අතර කිමිදුම්කරුවන්ට පමණක් වැළදෙන රෝගයක් සම්බන්ධයෙන්ද මෙහිදී අනාවරණය විය.
“කිමිදුම් කටයුතු කරන කොට ශරීරයේ තියන නයිට්රජන් බුබුළු බවට පත් වෙලා නහර වල එකතු වෙනවා.මෙම රෝගයට බේත් කරන්න පුළුවන් ත්‍රිකුණාමලයේදී පමණයි. යම් ආකාරයකට අපේ කිසියම් අයෙකුට මෙම රෝගය ඇතිවුනොත් අපි බේත් ගන්න ත්රිකුණාමළයටම යන්න ඕනේ.පුත්තලම දිස්ත්‍රික්කයේ තියා කොළඹවත් රෝහලක එම රෝගීන්ට බේත් කරන්නේ නෑ. ඒකත් අපිට ලොකුවට තියන ගැටළුවක්.මොකද පුත්තලම දිස්ත්‍රික්කයේ ගොඩාක් දෙනෙක් ඉන්නවා කිමිදුම් කරලා රැකියාව කරන අය.ඒ අයට ප්‍රතිකාර කරන්න හැකි ක්‍රමවේදයක් හැදුවොත් ඒකත් ලොකු දෙයක්……”අපට හමුවූ තවත් ධීවරයෙකු කියා සිටියේය.
කිමිදුම්කරුවන්ගේ සංගමයේ සභපති කැළුම් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.”අපි මුහුණ දීලා තියන තත්ත්වය ගැන පසුගියදා ජනපති පිළිසදර වැඩ සටහනේදීත් කියා සිටියා.ජනාධිපති තුමන් එම අවස්ථාවේදීම උපදෙස් ලබා දුන්නා ධීවර ඇමතිවරයා සමග සාකච්ඡා කරලා අපිට සහනයක් ලබා දෙන්න කියලා.ඒ අනුව අපි අවස්ථා කීපයකදීම ධීවර ඇමතිවරයාව හමු වෙන්න ගියා. ඒත් වැඩක් වුනේ නැහැ.මම නම් හිතන්නේ ධීවර ඇමතිවරයා හිතා මතා අපිව මග හරින බවයි.එහෙම නැත්නම් අපිව මුණගැහෙන්න හැකියාව ධීවර ඇමතිවරයාට තියනවා නේ.”
කුමන ආකාරයට හෝ වේවා අපට හමුවූ කිමිදුම්කරුවන් සෑම කෙනෙකුම කියා සිටියේ දිවා කාලයේ රැකියාව කිරීමෙන් පළක් නොමැති බවය.මෙම තත්ත්වය නිසා පෙර මෙන් රාත්‍රී කාලයේදීත් දමන්ට කිමිදුම් රැකියාව කරගෙන යාමට අවස්ථාව ලබා දෙන ලෙසද ඔවුන් ඉල්ලා සිටියේය.
ජූඩ් සමන්ත