යහපාලන රජය විසින් ආරම්භ කරන ලද හලාවත – මාදම්පේ,වාලහේන ප්‍රදේශයේ යොවුන් සේනාංක සංකීර්ණයේ ඉදිකිරීම් අතර මග නතර වීම නිසා එය වල් බිහි වෙන්නට පටන් ගෙන ඇත.
2017 වර්ෂයේ නොවැම්බර් මාසයේදී එවකට රාජ්‍ය ඇමතිවරයෙකු ලෙස කටයුතු කරමින් සිටි නිරෝෂන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම යොවුන් සේනංක සංකීර්ණයේ වැඩ කටයුතු ආරම්භ කරන ලදි.ඒ සදහා යෞවන කටයුතු අමාත්‍යංශය විසින් රුපියල් මිලියන 80 ක මුදලක් වෙන් කර ඇත.
ඒ අනුව දෙමහල් ගොඩනැගිලි 03 ක් සහ තනිමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම් ආරම්භ කරන ලදි.නමුත් වැඩි කාලයක් ගත වීමට පෙර ඉදිකිරීම් සියල්ල අතහැර දැමීමට අදාල කොන්ත්‍රාත් ආයතනය කටයුතු කර ඇත.
දැනට නාත්තන්ඩිය ප්‍රදේශයේ යොවුන් සේනාංක මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යයි.ඊට අමතරව ප්‍රදේශයේ තරුණ තරුණියන් සදහා වෘත්තීය පුහුණු ලබා දීමේ අරමුණ ඇතිව පසුගිය රජය විසින් මාදම්පේ යොවුන් සේනාංකය ආරම්භ කිරීමට කටයුතු කරන ලදි.මෙම සේනාංකය තුළ විවිධ වෘත්තීය පුහුණු රැසක් පවත්වා ගෙන යන බව වැඩ කටයුතු ආරම්භ කරන අවස්ථාවේදී ප්‍රකාශ කරන ලදි.
කොන්ත්‍රාත් ආයතන විසින් මෙම වැඩ බිම තුළ පවත්වා ගෙන ගිය තාවකාලික කාර්යාල ගොඩනැගිල්ලද මේ වන විට ගලවා ඉවත් කර ඇත. ඉදිකිරීම සදහා ගෙනවිත් ඇති කයඩ කාප්ප ඇතුළු බොහෝ දේ අතහැර දමා ඇති ගොඩනැගිලි තුළ දිරා යන බවක්ද දක්නට ඇත.
යොවුන් සේනංක සංකීර්ණයට මුල් ගල තබන ලද අවස්ථාවේ නිරාවරණය කරන ලද සිහිවටන ඵලකයද කිසියම් අයෙකු විසින් ගලවා ගෙන ගොස් ඇති බව ප්‍රදේශවාසීන් සදහන් කරයි.
මෙම ස්ථානයට සපයා තිබූ ජලය සහ විදුලියද මේ වන විට විසන්ධි කර ඇත.
අප මේ සම්බන්ධයෙන් යොවුන් සේනාංක බාර වයඹ පළාත් සහකාර අධ්‍යක්ෂක ආර්.පී.ඒ.කේ.විජේරත්න මහතාගෙන් විමසා සිටියෙමු.”මෙම යොවුන් සේනාංකය ඉදිකිරීම් බාරව සිටියේ පුද්ගලික ආයතනයක්.ඉදිකිරීම් මාස 06 කදී අවසන් කළ යුතු බවයි ඔවුන් සමග අත්සන් කර ඇති ගිවිසුමේ සදහන් වන්නේ.ඔවුන්ට අත්තිකාරම් මුදල් පවා මේ වන විට ගෙවා තිබෙනවා. නමුත් ඔවුන් තම වගකීම පැහැර හරිමින් ඉදිරිකිරීම් අතර මග නවතා දමා තිබෙනවා.අප මේ සම්බන්ධයෙන් අවස්ථා ගනනාවකදීම අදාල කොන්ත්‍රාත් ආයතනයට දැණුම් දීමට කටයුතු කලා.නමුත් ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් නැහැ.ඒ නිසා එම කොන්ත්‍රාත් සමාගම අප ආයතනය තුළ අසාධු ලේඛණයට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා. ඉදිරියේදී වෙනත් ආයතනයකට හෝ අදාල කොන්ත්‍රාත්තුව බාර දී ඉතිරි කටයුතු කිරීමට අදහස් කර තිබෙනවා.”
කුමන ආකාරයකට හෝ වේවා දැනට අතර මග නැවතී ඇති කටයුතු අවසන් කර මෙම යොවුන් සේනාංකය ප්‍රදේශයේ තරුණ තරුණියන් වෙත බාර කරන ලෙස වත්මන් රජයෙන් ප්‍රදේශවාසීන් ඉල්ලා සිටී.
ජුඩ් සමන්ත.