ඇදිරි නීතිය බොහෝ දෙනෙකුව තම තමන්ගේ නිවෙස් වලට කොටු කර ඇත.ඒ නිසාම වෙනදාට කුමන කටයුත්තක් සදහා හෝ නිවසින් පිටතට ගිය අයට තම දරු පවුල සමග පැය 24 ක කාලය පුරාම වාසය කරන්නට සිදුවී ඇත.
නමුත් තමන්ගේ කියා තිබූ ඉඩ කඩම් දරුවන්ට පවරා දීම නිසා සියල්ල අහිමිවී මහ මගට වැටුණු යුවලක් පසුගිය දිනක අපට හමු විය.
ධර්මදාස (අවු:74) සහ එමලින් (අවු:70) යුවල කාලයක් පදිංචිවී සිට ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේය.මේ වන විට එම යුවලගේ නවාතැම්පල බවට පත්ව ඇත්තේ හලාවත නගරයේ ඇති පුද්ගලික බස් නැවතුම් පලය.
දරුවන් සිව් දෙනෙකුගේ මව්පියන් වන මෙම යුවලට වර්තමානයේ හව්හරනක් නැත.මේ දිනවල පවතින ඇදිරි නීතිය නිසා ඔවුන්ට බස් නැවතුම් පලට කිසිවෙකු පැමිනෙන්ද නැත.ඉද හිට පැමිනෙන කිසියම් අයෙකු හෝ හලාවත පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් ලබා දෙන කෑම වේල මේ අඹු – සැමියන්ගේ කුස පුරවන්නේය.
වර්තමානයේ තමන් පත්ව සිටින තත්ත්වය සම්බන්ධයෙන් එමළින් මහත්මිය අප සමග මෙසේ පැවසුවාය.
“අපිට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා.මම අංශභාග රෝගියෙක්.මහත්තයා වකුගඩු රෝගියෙක්.අපිට තිබුණු දේපල සියල්ල දරුවන්ට ලියලා දුන්නේ කොයි වෙලාවේ අපි දෙන්නා මිය යයිද කියලා දන්නේ නැති නිසයි.කිව්ව විධියටම අපි දෙන්නම රෝගී වුණා.දෙන්නම ප්‍රතිකාර සදහා රෝහල් ගත වුණා.රෝහලෙන් ඇවිත් බලන කොට දරුවෝ දේපල ඔක්කොම විකුණලා දාලා වෙන පළාත් වලට ගිහිං.ඒ අය ඉන්න තැනක් අපි දන්නේ නෑ.ඊට පස්සේ අපිට යන්න එන්න තැනක් නැති නිසා මේ බස් නැවතුම් පලට ආවා.දැන් ඉතිං මියැදෙනකල් මෙතනම තමයි ඉන්න වෙන්නේ…..”හිස් අහස දෙස බලා ගෙන ඇය කියා සිටියාය.
ධර්මදාස මහතා මෙසේ පැවසීය.”මේ දවස් වල කඩවල් වහලා නිසා තේ එකක් බොන්නවත් තැනක් නැහැ.පොලීසියේ මහත්තුරු නම් ඉදලා හිටලා අපිට මොනවා හරි ගෙනත් දෙනවා.සමහරක් දවස් වලට නම් තුන් වේලම කෑම ලැබෙනවා.බඩගින්නේ හිටපු දවස් නැතුවාමත් නෙමෙයි.අපිට කව්රු හරි මැදිහත් වෙලා ඉන්න තැනක් සකස් කරලා දෙනවා නම් ඒක ලොකු පිනක් මහත්තයෝ….”
අංශභාග රෝගියෙකු වන එමලින් මහත්මිය බස්නැවතුම් පලේ ඇති බංකුවක අසුන් ගෙන සිටියාය.ආහාර ගැනීම පෙර ඇයගේ අත සෝදා පිරිසිදු කිරීම පවා සිදු වන්නේ සිරිවර්ධන මහතා විසින් බව අපට දැක ගත හැකි විය.
යන්න එන්න තැනක් නොමැතිව දහ දුක් විදිමින් ඇදිරි නීතිය මැද හලාවත පුද්ගලික බස් නැවතුම්පලේ දිවි ගෙවනා මේ අසරණයින් දෙස කිසියම් අයෙකුගේ දෙනෙත් යොමු වේවායි අපි ප්‍රාර්ථනය කරමු.
ජුඩ් සමන්ත.