Saturday, November 23, 2024

මංගල ගමනම අවමංගල ගමනක් වෙයි.

Must read

රියදුරුට වේගය පාලනය කරගත නොහැකි වූ ලංගම බස් රථයක් අද ( 22 දා)  අලුයම ගොකරැල්ල, දොලොස්දාහ  ප‍්‍රදේශයේදී මාර්ගයේ අයිනේ නවතා තිබු සිමෙන්ති කන්ටේනරයක ගැටීමෙන් , බස් රථයේ ගමන් කරමින් සිටි මගින් දස දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව ගොකරැල්ල පොලිසිය කියයි.

අද අලූයම 3 ට පමණ මෙලෙස අනතුරට පත් වූයේ පුදුකුඩිඉරිප්පු සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයකි. අදාළ බස් රථය දින සියයේ වැඩසටහන යටතේ ඊයේ දිනයේදී ධාවනයට එක් කළ නව බස් රථයක් වූ අතර, එහි මංගල ගමන්වාරය ලෙස පුදුකුඩිඉරිප්පු සිට කොළඹ බලා මගීන් ප‍්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස අනතුරට පත්වීම සුවිශේෂි සිදුවීමක් විය.

මෙම අනතුරින් බස් රථයේ වම්පස අසුන්වල ගමන් කරමින් සිටි මගීහු දස දෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර , එහිදී බස් රථයේ සිටි මගියෙකුගේ පාදය දෙකට කැඩී බසයෙන් ඉවතට විසි වී තිබු බව සිද්ධිය ඇසින් දුටුවෝ පැවසුහ. මෙලෙස බරපතල තුවාල ලැබුවේ වව්නියාව පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටින , රාජකාරී නිමවා නිවසට යමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අතර ඔහු මිරිගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. බස් රථයේ සිටි තවත් පොලිස් පරීක්ෂකවරයෙකුද තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඔහු මැල්සිරිපුර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් බවද පොලිසිය කියයි.

ප‍්‍රදේශවාසින්ගේ සහායද ඇතිව බස් රථයේ සිරවී සිටි තුවාලකරුවන් කඩිනමින් රෝහල් ගතකරවීමට ගොකරැල්ල පොලිසියේ නිලධාරීන් විසින් කඩිනමින් පියවර ගෙන ඇති අතර තුවාලකරුවන් සියලුදෙනා මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලෙහි ප‍්‍රතිකාර ලබමින් සිටිති.

බස් රථය අධික වේගයෙන් සිමෙන්ති කන්ටේනරයේ ගැටීම හේතුවෙන් බස් රථයේ වම්පස කොටසට දැඩි ලෙස අලභහානි සිදුවී තිබේ.  අපරික්ෂාකාරි ලෙස රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් සැකපිට බස් රථ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටී.

ගොකරැල්ල පොලිස් ස්ථානාධිපති, ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අබේරත්න මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයමාන්න මහතාගේ  මෙහෙයවීමෙන් අනතුර පිළිබද වැඩිදුර පරික්ෂණ සිදුකෙරෙයි.

(මැල්සිරිපුර මොහොමඞ් බුහාර්දීන් )

P1170660

 

 

 

 

P1170667

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article