Saturday, January 18, 2025

බන්දුලගේ කාලයේදී පාසැල් නිල ඇදුමට වැයකළ මිලියන 2300 න් මිලියන 1000ක්ම පිල්ලි ගහලා!

Must read

akailaපාසැල් නිල ඇදුම් ලබාදීමට පසුගිය වසරේදී රජයෙන් වෙන් කළ රුපියල් මිලියන 2300 ක මුදලින් රුපියල් මිලියන දහසක මුදලක් අතරමැදියන්, ව්‍යාපාරිකයින් සහ කොමිස්කරුවන් අතරේ බෙදී ගොස් ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අනාවරණය කරයි.

අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේ පෙරේදා (13 දා ) පැවැති කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අකිල විරාජ් කාරියවසම් මහතා මෙසේද පැවැසීය.

”ගිය වසරේ පාසැල් නිලඇදුම් ලබාදීම වෙනුවෙන් මිලියන 2300ක් වියදම් කරලා තිබුණා. නමුත් මම මේ ගැන හොයලා බලපුවාම මේ මිලියන 2300න් පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඇත්ත වශයෙන්ම ගිහිල්ලා තියෙන්නේ මිලියන 1300ක් විතර. මිලියන 1000ක් විතර අතරමැදියන්ට, ව්‍යාපාරිකයින්ට, කොමිස්වලට සහ තවත් විවිධ දේවල්වලට වැයකරලා තිබුණා. පාසල් ළමුන් ලක්ෂ 43 ක් දෙනෙකු වෙනුවෙන් රෙදි පැකට් කරද්දී එක පැකැට් කරද්දී ඒ පැකට් එකකට රුපියල් 8 ක් ගෙවලා තිබුණා. ඒ අනුව රෙදි පැකට් කරන්න විතරක් රුපියල් තුන් කෝටි හතලිස් හතර ලක්ෂයකට වැඩිය ගෙවලා තියෙනවා. ඊළගට ප‍්‍රවාහනයට තව විශාල මුදලක් ගෙවලා. තොග ගබඩාවලට තව විශාල මුදලක් ගෙවලා තිබුණා. ඒ වගේ ලොකු මාෆියාවක් මේකේ නිර්මාණය වෙලා තිබුණා.

තවත් පැත්තකින් ඒ දීලා තිබුණු රෙදිවල බරපතල ගණයේ ගැටඵ තිබුණා. සිසුවියන්ට දෙන හැට පහයි තිස් පහ රෙදි වෙනුවට තොග ගබඩා පරීක්ෂා කළාම තිබුණේ අසූවයි විස්ස රෙදි. සමහර ඒවාගේ අනූවයි දහයේ රෙදිත් තිබුණා. ඔය මොණරාගල වගේ පැතිවලට ගියාම කවුරුවත් ඒවා ගැන පැමිණිලි කරන්න එන්නේ නෑ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අදින්න පුලුවන් රෙදි නෙවෙයි දීලා තිබුණේ. අපේ අමාත්‍යංශවලින් ඒ ගැන චෙක් කළාම සාම්පල් එක හොදයි. නමුත් තොගය බලපුවාම සාම්පලේ තියෙන ප‍්‍රමිතිය නෑ. මේක නවත්වන්නම බෑ.

ඒක නිසා අපි තීරණය කළා මේ සියඵ මුදල් ප‍්‍රමාණයම ලක්ෂ 43 ක් වන පාසල් දරුවන් අතරේ බෙදලා දෙන්න. මේක අපි වවුචරයක් මගින් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. මේක නිකම්ම නිකම් ලබාදෙන්නෙත් නෑ. නැත්නම් මේ වවුචරය එක එක විදිහට පාවිච්චි කරන්න පුඵවන්. අපි ඉදිරි සතිය ඇතුළත ඒ සදහා හොද ක‍්‍රමවේදයක් හදනවා. අපි වවුචරයක් මගින් දෙන්න බලාපොරොත්තු වෙන මුදල රෙදි මිලදීගැනීමට විතරක් නෙවෙයි, නිල ඇදුම මහගන්නත් සෑහෙනවා. සමහරවිට ඊටත් පස්සේ තවත් මුදලක් අතටත් ඉතිරිවෙයි. රජයෙන් දෙන මුදල කාගෙවත් අතට නොයා කෙලින්ම දරුවන්ට යනවා. මේක ක‍්‍රමවේදයක් අපි අනිවාර්යයයෙන්ම හදනවා.

මේ වවුචර් එක ලබාදුන්නාට පස්සේ එක දවසක් නියම කරලා මුඵ රටේම තියෙන හැම පාසැලකම දරුවෝ ඒ අඵත් ඇදුම ඇදගෙන පාසැල් පැමිණිය යුතුයි කියලා නියම කරන්න හරි නැත්නම් ඒ පිළිබදව ප‍්‍රගති වාර්තා පොතේ ලකුණු කිරීම වගේ ක‍්‍රමවේදයක් හදන්න දැන් අපි සැලසුම් කරමින් ඉන්නවා. මේක සමහර අය වෙන වෙන විදිහට අර්ථකථනය කරන්න පුඵවන්. නමුත් මේක විශාල මුදල් ප‍්‍රමාණයක් නැවැත්වීමක් විදිහට අපි දකිනවා. හිතන්න, මිලියන දාහක් විතර අපතේ යනවා කියන්නේ විශාල විනාශයක්. ඒක වළක්වන ක‍්‍රමයක් අපි හදුන්වලා දෙනවා.

මේ ක‍්‍රමවේදය ක‍්‍රියාත්මක වුණොත් අපේ මැහුම්කරුවන්ටත් රැකියා අවස්ථාවක් ලැබෙනවා. අනික් පැත්තෙන් සාමාන්‍ය ව්‍යාපාරිකයින්ටත් තමන්ගේ කඩවල ඒ රෙදි අලෙවිකිරීමෙන් ආදායමක් උපයාගන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම දෙමව්පියන්ට, දරුවන්ට හොද ප‍්‍රමිතියෙන් යුතු නිල ඇදුමක් මහගැනීමට අවශ්‍ය කරන රෙදි ඕනෑම තැනකින් මිලදීගැනීමේ හැකියාවත් ලැබෙනවා. එතකොට අපිට තියෙන්නේ රජයෙන් ලබාදෙන මුදල ඒ සදහාම යොදවනවාද කියලා වගබලාගන්න විතරයි. සමහරු මෙහෙම තීරණ ගන්න බයයි. නමුත් අධ්‍යාපන අමාත්‍යවරයා විදිහට මගේ වෙන වෙන බලාපොරොත්තු නැති නිසා එක්තරා ව්‍යාපාරිකයෝ කොටසක් විතරක් පොහොසත් කරවන්න ඒ අය අතට මුදල් යවන එක වළක්වලා ඒ සම්පූර්ණ මුදලම අපේ දරු දැරියෝ අතට යවන්න පිළිවෙලක් සකස් කරන්න මම බයවෙන්නේ නෑ. ”

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article