පාස්කු ප්‍රහාරයෙන් කඩා වැටීම ආරම්භ වූ තම ව්‍යාපාරය මේ වන විට සම්පූර්ණයෙන්ම අභාවයට ගොස් ඇති බව කල්පිටියේ සංචාරක ව්‍යාපරිකයින් සදහන් කරයි.
2014 වර්ෂයේ සුළුවෙන් ආරම්භ වූ කල්පිටියේ සංචාරක ව්‍යාපාරය පසුගිය කාලය වන විට වඩාත් දියුණුවට පත් විය.ඒ අනුව එතෙක් ධීවර සහ එළවළු කර්මාන්තය වෙනුවෙන් වෙන් වී තිබූ කල්පිටිය අර්ධද්වීපය සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන්ද ප්‍රසිද්ධියට පත් විය.
කල්පිටිය අර්ධද්වීපයේ පිහිටි මුහුදට ආසන්නයෙන් තිබූ මුඩු ඉඩම් බොහෝමයක සංචාරක හෝටල් ඒ අනුව ඉදිවන්නට විය.කල්පිටිය මුහුදු තීරයේ සැරිසරණ තල්මසුන්,ඩොල්ෆින් මසුන්ද, උච්චමුනේ දූපත ආසන්නයෙන් පිහිටි ස්වාභාවික කොරල් පරය නැරඹීමටද දෙස් විදෙස් සංචාරකයින් ඇදී එන්නට විය.එමෙන්ම කල්පිටියට උතුරින් පිහිටි දූපත් සමුහයද සංචාරකයින්ගේ සිත් ආකර්ශණය කර ගත් ස්ථාන බවට පත් විය.
කල්පිටිය – ඩජ්බේ දූපත ආසන්නයේ ඇති නොගැඹුරු කලපු තීරය තුළ සරුංගල් ක්‍රීඩාවට (කයිට් සර්ෆින්)බෙහෙවින් ප්‍රසිද්ධියට පත් විය.අරුගම්බේ ප්‍රදේශය හැරුණු කොට සරුංගල් ක්‍රීඩාවට ඉතා සුදුසු මෙම කලපු තීරය බවට සංචාරකයින් අතර ප්‍රසිද්ධියට පත් විය.මෙම තත්ත්වය නිසා කල්පිටිය මුහුදු තීරයේ පවත්වා ගෙන යන හෝටල් බොහෝමයක් සරුංගල් ක්‍රීඩාව පුහුණු කරන මධ්‍යස්ථාන බවට පත්ව ඇත.
මෙම තත්ත්වය නිසා කල්පිටියේ පිහිටි සංචාරක හෝටල් බොහෝමයක් වෙන් කර ගත හැකි වූයේ අන්තර් ජාලයේ පිහිටෙනි.බොහෝ හෝටල් වලට මිතුමතේ ගොස් වෙන් කර ගැනීමට නොහැකි තත්ත්වයක් තිබුනේ පැවති ඉල්ලුමේ වැඩිකම නිසාමය.
වෙරළ තීරය තුළ මහා පරිමාණ සංචාරක හෝටල් ඉදිවන විට ආසන්නයේ තව තවත් කුඩා ප්‍රමාණයේ ලැගුම් හල් සහ සේවා සැපයුම් මධ්‍යස්ථාන බිහි වන්නට පටන් ගන්නේය.දෙස් විදෙස් සංචාරකයින්ට අවශ්‍ය තේ කොප්පයේ සිට දුරකතන පෙර ගෙවුම් කාඩ් පත් අලවි කිරීමද මෙම කුඩා සේවා සැපයුම් මධ්‍යස්ථාන වලින් සිදු වේ.ඊට අමතරව තවත් පිරිසක් සංචාරකයින් ප්‍රවාහනය කිරීමටද යොමු විය.ඒ සදහා කුමන ක්‍රමවේදයක් භාවිතා කර හෝ වාහනයක් මිළදී ගන්නටද ඇතමුන් කටයුතු කළේය.
ඒ අනුව අතීතයේදී තම සැමියා එසේත් නැත්නම් පියා මුහුදට ගොස් මසුන් අල්ලා ගෙන එන තුරු බලා සිටි කාන්තාවන් මෙන්ම තරුණියන්ද පෙර කී සැපයුම් මධ්‍යස්ථානවල සේවය සදහා යොමු වන්නේ නිතැතිනි.හරියට සිංහල වත් කථා කරන්නට අපහසු කමක් තිබූ ඇතමුන් මේ වන විට චතුර ලෙස ඉංග්‍රිසි සහ වෙනත් භාෂාවන් හසුරුවන්නේ සංචාරක ව්‍යාපාරයට පින් සිදු වන්නටය.
ඒ සමගම එතෙක් කනාටු වී තිබූ ඉඩම් ලොකු මුදලකට අලවි වන්නේ සංචාරක හෝටල් ඉදිකිරීම වෙනුවෙනි.රජයට අයිති ඇතැම් ඉඩම්ද විවිධ පුද්ගලයින් විසින් ව්‍යාජ ඔප්පු සකස් කර අලවි කිරීමේ ජාවාරමක්ද ආරම්භ වන්නේ ඒ අතර තුරය.රජය අයිති ඉඩම් සොයා ගොස් ඒවාට ඇතුළු වීම තහනම් කිරීමට පවා කල්පිටිය ප්‍රාදේශීය ලේකම්වරයාට සිදු වන්නේ එවැනි පසුබිමක් තුළය.
මේ කුමන ආකාරයට හෝ වේවා කල්පිටිය යනු ධන උල්පතක් බවට පත් වන්නේ පෙර සදහන් කර ඇති ආකාරයටය.
2019 වර්ෂයේ අප්‍රියෙල් මාසයේ පාස්කු ප්‍රහාරය සිදු වන විට කල්පිටියේ සංචාරක හෝටල් සියල්ලම දෙස් විදෙස් සංචාරකයින්ගෙන් පිරී ගොස් තිබුණි. නමුත් පාස්කු ප්‍රහාරයත් සමග ඔවුන් ආපසු සිය රටවල් බලා ගමන් කරන්නේ ජීවිත ආරක්ෂාව වෙනුවෙනි.
මෙම සංචාරක කලාපය සරුවට ක්‍රියාත්මක වන්නේ මාස 06 ක පමණ කාලයකි.ඊට හේතුව වන්නේ මුහුදේ වාරකන් සමය ආරම්භයත් සමග බොහෝ සංචාරකයින් ආපසු තම රටවල් බලා ගමන් කිරීම නිසාය.පාස්කු ප්‍රහාරය සිදු වන්නේද සංචාරකයින් බහුලව කල්පිටියේ ගත කළ කාල වකවානුවේය.
පාස්කු ප්‍රහාරයේ උණුසුම නිමාවට පත් වී ක්‍රමයෙන් නැවතත් මෙරට තුළට සංචාරකයින් පැමිනෙන්නට පටන් ගත්තා පමණි.කොරෝනා වසංගතය ලොව පුරා පැතිර යන්නට විය.ඒ සමගම බොහෝ රටවල් වලින් සංචාරකයින් පැමිණීම නතර විය.මෙරට රැදී සිටි විදේශීය සංචාරකයින්ද කඩිනමින් තම මව් රටවල් බලා පිටත්ව ගියේය.
පාසල් නිවාඩුව පැමිණි විගස දරුවන් සමග විනෝද වීමට කල්පිටියට පැමිණි දේශීය සංචාරකයින්ගේ ගමනද නතර වන්නේය.රට පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීමත්,විනෝද ගමන් තහනම් කිරීමට රජය කටයුතු කිරීමත් ඊට හේතු විය.
ඒ නිසාම සංචාරකයින් විසින් මාස කීපයකට පෙර වෙන් කර තිබූ හෝටල් පාළුවට ගියේය.හෝටල් වෙන් කිරීම වෙනුවෙන් කර තිබූ අත්තිකාරම් මුල් ආපසු ගණු දෙණු කරුවන් වෙත මුදා හැරීමට හෝටල් හිමිකරුවන්ට සිදු විය.
අප්‍රියෙල් මැයි මාස වලදී සංචාරකයින් පිරී යන කල්පිටිය පාළුවට ගියේ ඒ ආකාරයටය.වෙනත් දිනවල සංචාරකයින් රැගෙන එක පිම්මේ ඩොල්ෆින් එසේත් නැත්නම් තල්මසුන් බලන්නට මුහුදු ගිය බෝට්ටු වෙරළේ ගාල් වන්නේ වෙන කරන්නට දෙයක් නොමැති නිසාය.සංචාරකයින් වෙනුවෙන් ඉදිකර ඇති හෝටල් වල කබානා පාළුවට ගියේ මේ නිසාමය.
කල්පිටියේ සංචාරක හෝටලක් පවත්වා ගෙන යන ශානක ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.”සංචරක හෝටල් කර්මාන්තය කරනවා කියන එක පහසු වැඩක් නෙමෙයි. මුලින්ම ඒ සදහා ලොකු මුදලක් වෙන් කරන්න ඕනේ.ඒ වගේම පුහුණව තිබෙන ශ්‍රමිකයින් බදවා ගන්න ඕනේ.එසේ බදවා ගන්නා ශ්‍රමිකයින්ට ලොකු වැටුපක් ගෙවන්න වෙනවා.අපෙන් සේවය ලබා ගන්න එන දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ට අවශ්‍ය වතුර කෝප්පයේ සිට අපි ආරක්ෂාව ගැන බලන්නත් ඕනේ.සහතික වෙන්නත් ඕනේ.එහෙම නොවුනොත් නැවතත් ඔවුන් අපේ හෝටල් වලට එන්නේ නෑ. ඒක ලොකු වගකීමක්.ඒ වගකීම අරගෙන තමයි අපි වැඩ ආරම්භ කළේ.නමුත් ඒ සියල්ල මේ වන විට කඩා වැටිලා.
මේ වෙන කොට අපිත් හරියටම නීරෝධායනය වෙලා වගේ තමයි ඉන්නේ. ඇයි යන්න එන්න තැනක් නැහැ.කිසිම කෙනෙක් එන්නෙත් නැහැ. සංචාරකයෝ ආවේ නෑ කියලා අපිට හෝටලය වහන්න බැහැ.මොකද වහලා තියලා නැවත ආරම්භ කරන්න ගිය විට ලොකු මුදලක් වැය වෙනවා.ඒ නිසා අපි දවස ගානේ නඩත්තු කටයුතු කරන්න ඕනේ.ඒ සදහා සේවකයින් වෙනුවෙන් වියදම් කරන්නම ඕනේ.හිතා ගන්න බැහැ කවදා මේ තත්ත්වය පහව ගිහිං ආයේ ගොඩ එන්න පුළුවන් වෙයිද කියලා.”
කල්පිටියට පැමිනෙන දෙස් විදෙස් සංචාරකයින්ව මුහුදට කැදවාගෙන ගොස් ඩොල්ෆින්,තල්මසුන් පෙන්වීමට එසේත් නැත්නම් කොරල් පර නැරඹීම සදහා යාමට ඇති බෝට්ටු සේවය සම්බන්ධයෙන්ද අපි පෙර කථා කර ඇත්තෙමු. මෙම බෝට්ටු සේවයේ නිතර වන මිල්රෝයි ප්‍රනාන්දු මහතා අපට හමු විය.ඔහු මෙසේ පැවසීය.”අපේ සංගමයට විතරක් බෝට්ටු 100 ක් පමණ තිබෙනවා.ඒ ඔක්කොම බෝට්ටු මේ වන විට වෙරළේ ගාල් කරලයි තියෙන්නේ.කාලයකින් අපි නිකමටවත් මුහුදට ගියේ නැහැ.ඇයි වැඩක් නැහැනේ.
කාව එක්ක යන්නද? අපිට ශත පහක ආදායමක් මේ දවස් වල නැහැ. දැන් නම් ඇත්තමයි ඇති වෙලා ඉන්නේ.
පාස්කු ප්‍රහාරයෙන් පස්සේ යාන්තම් ආපහු වැඩේ හරි යාගෙන ආවා විතරයි. කොරෝනා වසංගතයක් ඇවිත් ආපහු වැඩේ නැවතුනා.කවදා ගොඩ එන්න පුළුවන් වෙයිද කියලා හිතා ගන්න බැරිව තමයි දැන් නම් අපි ඉන්නේ.”තවත් බොහෝ දේ ඔහු කියා ගෙන ගියේය.ඒ සියල්ලේ සදහන් වූයේ ඔවුන් මේ වන විට පත්ව ඇති තත්ත්වයයි.
මේ කුමන ආකාරයට හෝ වේවා කල්පිටියේ සංචාරක කර්මාන්තය මේ වන විට බිමටම වැටී ඇති බව නම් සත්‍යයකි.කවදා ඔවුන්ට ගොඩ එන්න හැකියාවක් ඇද්ද යන්න දන්නා කෙනෙකු ද නැත.මන්ද කිසියම් ආකාරයකට වර්තමානයේ පවතින තත්ත්වය පහව යමින් තිබුනත් කිසිවෙකු සංචරණයට කාලයක් යනතුරු ඇල්මක් නොදක්වන තත්ත්වයට පත්ව තිබීම ඊට හේතුව වී ඇත.
ජුඩ් සමන්ත.