Saturday, November 16, 2024

පත්තරකාරයින්ට එරෙහිව පොලිසි ගිය ආනන්දේ විදුහල්පතිට පත්තරකාරයින්ගෙන් චචනයක් !

Must read

chilaw-school-1සිය පුතු හලාවත ආනන්ද ජාතික පාසලට ඇතුළත් කර නොගැනීමට එරෙහිව මවක විසින් සිය දරුවාද සමග එම පාසල ඉදිරිපිටදී පවත්වන ලද විරෝධතාවය පිළිබද වාර්තාවක් පුවත්පත්වල පළකිරීමෙන් විදුහලේ කීර්තිනාමයට කැළලක් ඇති කළ බව කියමින් මව්බිම පුවත්පතේ ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට එරෙහිව එම විදුහලේ විදුහල්පති ජේ. ඒ. ධනංජය වික‍්‍රම මහතා විසින් පසුගිය 30 වැනි දින මහ රාත‍්‍රියේදී හලාවත මුලස්ථාන පොලිසියට පැමිණ එහි පැමිණිල්ලක් දමා ඇති බව අයාසයෙන් මැඩ ගත් සිනාවෙන් යුතුව ඔබ වෙත වාර්තා කර සිටිමු.

විදුහල්පතිවරයා විසින් මෙලෙස පොලිසියට පැමිණිලි කර ඇත්තේ මව්බිම පුවත්පතේ වාර්තාකරුවන් දෙපළක් වන ඔස්ටින් ප‍්‍රැන්සිස් සහ ප‍්‍රසාද් පුර්ණමාල් යන මාධ්‍යවේදීන්ට එරෙහිවය.

හලාවත ආනන්ද ජාතික පාසලට නුදුරින් පිහිටි ආනන්ද මාවතේ පදිංචි මවක් පසුගිය සදුදා මෙලෙස පාසල ඉදිරිපිටදී විරෝධතාවයේ යෙදී ඇති අතර අදාළ ප‍්‍රවෘත්තිය ආවරණය කිරීම පිණිස එම ස්ථානයට මිහිර විජේසේකර, කමල් ප‍්‍රියංකර, ඔස්ටින් ප‍්‍රැන්සිස් සහ ප‍්‍රසාද් පුර්ණමාල් යන මාධ්‍යවේදීන් පැමිණී තිබේ.

හලාවත ආනන්ද ජාතික පාසලට නුදුරින් පිහිටි ආනන්ද මාවතේ පදිංචි මවක් පසුගිය සදුදා මෙලෙස පාසල ඉදිරිපිටදී විරෝධතාවයේ යෙදී ඇති අතර අදාළ ප‍්‍රවෘත්තිය ආවරණය කිරීම පිණිස එම ස්ථානයට මිහිර විජේසේකර, කමල් ප‍්‍රියංකර, ඔස්ටින් ප‍්‍රැන්සිස් සහ ප‍්‍රසාද් පුර්ණමාල් යන මාධ්‍යවේදීන් පැමිණී තිබේ.

ඔවුන් විසින් ආවරණය කළ ප‍්‍රවෘත්තිය මෙරට ක‍්‍රියාත්මක විද්්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ගණනාවකට යැවූ නමුත් එය ප‍්‍රවෘත්තියක් ලෙස පළකර ඇත්තේ මව්බිම සහ දිණමින යන පුවත්පත් දෙක විසින් පමණි.

විදුහල්පති ජේ. ඒ ධනංජය වික‍්‍රම මහතා විසින් හලාවත පොලිසිය වෙත කළ පැමිණිල්ලෙහි, තමන් නොදන්නා කාන්තාවක් ආනන්ද විද්‍යාලයේ නිල ඇදුමක් ඇදගත් දරුවෙක් සමග විරෝධතා පුවරුවක් ඔසවාගෙන පාසල ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත් වූ බවත් මව්බිම මාධ්‍යවේදීන් දෙදෙනා සහ තමන් නොදන්නා තවත් මාධ්‍යවේදින් දෙදෙනෙකු එය වීඩියෝගත කරමින් සහ ජායාරූපගත කරමින් සිටි බවත් සදහන් වී තිබේ. අදාළ විරෝධතාවය මාධ්‍ය ඔස්සේ පළකිරීමෙන් පාසලේ කීර්ති නාමයට කැළලක් ඇතිවීමට ඉඩතිබීම පිළිබදව සලකා බලා මෙලෙස පොලිසියට පැමිණිලි කළ බවද එම පැමිණිල්ලෙහි වැඩිදුරටත් සදහන් වී තිබේ.

මීට පෙර අවස්ථාවක මෙම විදුහලේ පැවැති උත්සව ගණනාවකට මාධ්‍ය ආවරණය ලබාදෙන ලෙසට උක්ත විදුහල්පතිවරයා විසින්ම ආරාධනා කර ඇති, ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය නියෝජනය කරන අනෙක් මාධ්‍යවේදීන් දෙදෙනා නාදුනන අය බව කියමින් සහ මව්බිම මාධ්‍යවේදීන් දෙදෙනා පමණක් නම් වශයෙන් සදහන් කරමින් එම දෙදෙනාට එරෙහිව මෙලෙස පැමිණිලි කිරීමෙන් විදුහල්පති ජේ. ඒ. ධනංජය වික‍්‍රම මහතා සත්‍ය වශයෙන්ම බලාපොරොත්තු වී ඇත්තේ මොනවාදැයි පැහැදිලි නැත.

යම් ආයතනයක් හෝ පුද්ගලයෙකු වෙතින් තමන් අසාධාරණයට ලක් වූ බවක් හැගේ නම් ඊට සාමකාමී ලෙස විරෝධය පළකිරීමට මෙරට වෙසෙන ඕනෑම පුරවැසියෙකුට අයිතියක් ඇති අතර ඊට මාධ්‍ය මගින් පුඵල් ප‍්‍රචාරයක් ලබාදීමටත් ඒ හා සමාන අයිතියක් මාධ්‍යවේදීන්ට පවතී. මාධ්‍යවේදීන්ගේ රාජකාරිය ප‍්‍රශ්නකිරීමට කිසිවෙකුටත් අයිතියක් නැති අතර අදාළ ප‍්‍රවෘත්තියෙන් තමන්ට අපහාසයක් වූ බව හැගෙන්නේ නම් ඊට පිළිසරණක් පැතිය හැකි පුවත්පත් පැමිණිලි කොමිසම ඇතුඵ ආයතන ගණනාවක් මෙරට තුළ පිහිටුවා ඇති අතර පොලිසිය ඊට කිසිසේත්ම ඇතුළත් වන ආයතනයක් නොවේ.

විශේෂයෙන් හලාවත සමථ මූල මණ්ඩලයේ සාමාජිකයෙකු වශයෙන්ද කටයුතු කරන බව කියන ආනන්ද ජාතික පාසලේ විදුහල්පතිවරයා මුලික මිනිස් අයිතිවාසිකම් පිළිබදව පවා අල්පමාත‍්‍ර දැනුමක් නොමැති අයෙකු බව මෙම සිදුවීමේදී හැසිරුණු ආකාරයෙන් පැහැදිලිවම පෙනී යයි. එලෙස මුලික මිනිස් අයිතිවාසිකමක් පිළිබදව පවා ස්වල්ප හෝ දැනුමක් නොමැත්තෙකු ජාතික පාසලක විදුහල්පතිවරයෙකු ලෙස කෙසේ කටයුතු කරන්නේදැයි සිතීම පවා බරපතල ගැටඵවක් මතු කරන කරුණකි.

හලාවත ආනන්ද ජාතික පාසලේ විදුහල්පතිවරයා විසින් අදාළ සිදුවීම අරඹයා ප‍්‍රාථමික ගණයේ හැසිරීමක් මෙලෙස පෙන්වමින් සිටියදී, හලාවත මුලස්ථාන පොලිසියේ ප‍්‍රධාන පොලිස් පරික්ෂකවරයා විසින් ඊට වඩා දියුණු සහ සමබර ආකාරයට මෙම සිද්ධිය නිරාකරණය කිරීමට මැදිහත් වූ බවද මෙහි ලා සටහන් කර තැබීම වටී. පොලිසිය කිසි දිනක මානව හිමිකම් උල්ලංඝනය වන ආකාරයට කටයුතු නොකරන බවත්, පැමිණිල්ලක් දැමීමට විදුහල්පතිවරයාට ඇති අයිතිය මෙන්ම සාමකාමී උද්ඝෝෂණයක් කිරීමට දරුවාගේ මවට ඇති අයිතිය පිළිගන්නා බවත් අදාළ සිදුවිම පිළිබදව අදහස් දක්වන හලාවත මුලස්ථාන පොලිසියේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත හේරත් මහතා ප‍්‍රකාශ කර සිටී.

මාධ්‍යවේදියෙකුට නිදහසේ සිය වාර්තාකරණයේ යෙදීමට ඇති අයිතිය තමන් පිළිගන්නා බවත් , තොරතුරු දැනගැනීමේ පනත සම්මත වී තිබිණි නම් මෙම සිද්ධියේදී නිලධාරියෙකු ලෙස තමන් වඩාත් අසරණ වීමට තිබූ බවත් කී වසන්ත හේරත් මහතා මාධ්‍යවේදීන් සමග ගැටුම් ඇති කරගැනීම ආයතන ප‍්‍රධානියෙකුට නොගැලපෙන දෙයක් බවද වැඩිදුරටත් කියා සිටියේය.

යම් මාධ්‍යවේදියෙකු විසින් මෙන්ම පුවත්පතක් විසින්ද ප‍්‍රවෘත්තියක් වාර්තාකරනු ලබන්නේ එහි කාලීන බව, නැවුම් බව, සමාජයට ඇති වැදගත්කම ආදී කරුණු ගණනාවක් සලකා බලාය. එවැනි ප‍්‍රවෘත්ති වාර්තාකිරීම මාධ්‍යවේදීන් සතු අයිතිවාසිකමක් වන අතර ඒ පිළිබදව කිසිවෙකුටත් ප‍්‍රශ්න කළ නොහැක්කේය. එමෙන්ම යම් ප‍්‍රවෘත්තියක් පළවීම හෝ නොවීම පිළිබද පොලිසිවලට කටඋත්තර ලබාදීමට කිසිදු මාධ්‍යවේදියෙකු නීත්‍යානුතුකූලව හෝ සදාචාරාත්මකව බැදී නොසිටිති. එහෙයින් හලාවත ආනන්ද ජාතික පාසලේ විදුහල්පති ජේ. ඒ ධනංජය වික‍්‍රම මහතා විසින් අප සහෝදර මාධ්‍යවේදීන් වන ඔස්ටින් ප‍්‍රැන්සිස් සහ ප‍්‍රසාද් පුර්ණමාල් යන මහත්වරුන් වෙත කරන ලද මෙම වක‍්‍රාකාර තර්ජනය සහෝදර මාධ්‍යවේදින් ලෙස අප අතිශය පිළිකුලින් යුතුව හෙළා දකිමු. අප සහෝදර මාධ්‍යවේදීන් දෙදෙනා පිළිබදව පොලිසියට පැමිණිලි කිරීම අප විසින් සලකනු ලබන්නේ සෑම ශ‍්‍රී ලාංකික මාධ්‍යවේදියෙකුටම, මාධ්‍යවේදීන්ගේ ආත්ම ගරුත්වයට සහ ඔවුන්ගේ වාර්තාකිරීමේ නිදහසට එල්ලවූ තර්ජනයක් ලෙසය. එබැවින් වයඹ ටුඩේ වෙබ් අඩවිය ඇතුඵ දිවයින පුරා විසිරී සිටින සියඵ මාධ්‍යවේදි සොයුරු සොයුරියන් මේ මොහොතේදී ඔස්ටින් ප‍්‍රැන්සිස් සහ ප‍්‍රසාද් පුර්ණමාල් සොහොයුරන් සමග රැදී සිටින අතර උතුම් ගුරු වෘත්තියටත් නිගාදෙන මෙවැනි විදුහල්පතිවරුන් පිළිබදව මෙරට අධ්‍යාපනය භාර නිල බලධාරීන් විසින් ගනු ලබන ක‍්‍රියාමාර්ගය කුමක්දැයි අපි බලාසිටිමු.

වයඹ ටුඩේ අපි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article