Saturday, November 23, 2024

ධම්මික හෙට්ටිආරච්චි දිවි ගමන නිමකරයි.

Must read

dammika_death

කොබෙයිගනේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති, ධම්මික හෙට්ටිආරච්චි මහතා අද පස්වරුවේ කුරුණෑගල ශික්ෂණ රෝහලේදී අභාවප්‍රාප්ත විය.

‍ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මුල්පෙල නායකයෙකු වූ හෙට්ටිආරච්චි මහතා සති දෙකකට ආසන්න කාලයක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

උණ රෝගය හේතුවෙන් කොබෙයිග‍නේ මූලික රෝහලට ඇතුලත් කර තිබූ හිටපු සභාපතිවරයාගේ තත්වය අසාධ්‍යවීම හේතුවෙන් පසුව කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර එවා තිබිණි. මුල් දිනවලදී ශරීරයේ රුධිර පට්ටිකා අඩුවීමේ අවදානමකට ලක්වීම හේතුවෙන් රෝහල් දැඩි සත්කාර ඒකකයටද ඇතුලත් කෙරුණු හෙට්ටිආරච්චි මහතා  දින කිහිපයක සිට සුව අතට හැරීම හේතුවෙන් සාමාන්‍ය වාට්ටුවකටද මාරුකර තිබිණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද පසුගිය ඉරිදා (25 දා) කුරුණෑගල ශික්ෂණ රෝහලට ගොස් හෙට්ටිආරච්චි මහතාගේ සුවදුක් විමසා බැලූ අතර ඒ අවස්ථාවේදී පවා හෙට්ටිආරච්චි මහතා සාමාන්‍ය තත්වයෙන් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවිය.

වෘත්තියෙන් සමෘද්ධි නිලධාරිවරයෙකු වූ හෙට්ටිආරච්චි මහතා කොබෙයිගනේ විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපතිවරයා ලෙසද කලක් කටයුතු කළේය. 2011 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කොබෙයිගනේ ප්‍රාදේශීය සභාවට පළමුවරට තරග කල ඒ මහතා එම මැතිවරණයේදී වැඩිම මනාප දිනාගනිමින් එහි සභාපති තනතුරට පත්විය.  මිය යන විට 46 වැනි වියෙහි පසු වූ  ධම්මික හෙට්ටිආරච්චි මහතා පුතුන් දෙදෙනෙකුගේ ආදරණීය පියෙකුද වෙයි. කොබෙයිගනේ, හිරිගොල්ල ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසට අද රාත්‍රියේදී ගෙනඒමට නියමිත දේහය පිළිබද අවසන් කටයුතු අනිද්දා (02 දා) පස්වරුවේදී වලස්වැව පොදු සුසාන භුමියේදි සිදුකිරීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article