Sunday, November 24, 2024

දෙපය අහිමි ආබාධිත හමුදා සෙබළෙකු පැහැරගෙන ගොස් නිවසක රදවාගෙන වධ දීලා.

Must read

Disabled_solider_kidíped

දෙපය අහිමි ආබාධිත හමුදා සෙබළෙකු පැහැරගෙන ගොස් පොල්පිතිගම ප‍්‍රදේශයේ නිවසක රදවාගෙන වදහිංසා පමුණුවමින් සිටි බව කියන පුද්ගලයින් දෙදෙනෙකු කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශණ අංශ නිලධාරින් විසින් පෙරේදා රාත‍්‍රියේ (14 දා ) අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔවුන් විසින් රදවාගෙන සිටි ආබාධිත හමුදා සෙබලා මුදවාගෙන කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කරනු ලැබීය.

මෙලෙස රෝහල් ගතකෙරුණේ උහුමීය ප‍්‍රදේශයේ පදිංචි තුෂාර මධුශංක එදිරිසූරිය නැමැති 31 හැවිරිදි පුද්ගලයෙකි. ක‍්‍රියාන්විත සේවයේ යෙදී සිටියදී පාද දෙකම අහිමිවීමෙන් ආබාධිත තත්වයට පත් වී ඇති මෙම පුද්ගලයා දැනට හමුදා සේවයෙන් විශ‍්‍රාම ලබා සිටින අයෙකු බව පොලිසිය කියයි.පෙරේදා උදෑසන තම අවශ්‍යතාවයක් සදහා කුරුණෑගල නගරයට පැමිණ ඇති එම පුද්ගලයා එදින උදෑසන 8 පමණ සැකකරුවන් විසින් ත‍්‍රිරෝද රථයක නංවාගෙන පැහැරගෙන ගොස් ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. පසුව පොල්පිතිගම ප‍්‍රදේශයේ පිහිටි නිවසක් වෙත ගෙනගොස් ඇති මෙම ආබාධිත හමුදා සෙබළාට සැකරුවන් විසින් පහරදී වදහිංසා කර ඇති බවත්, ඔහු සතුව තිබූ රුපියල් 5500ක මුදලක් පැහැරගෙන ඇති බවද පොලිසිය කියයි. උදෑසන නගරයට පැමිණි සිය සොහොයුරා සවස්වන තෙක්ම ආපසු නිවසට නොපැමිණීම හේතුවෙන් ඔහුගේ නැගණිය විසින් පෙරේදා පස්වරු 5 ට පමණ ඒ පිළිබදව කුරුණෑගල පොලිසියට පැමිණිලි කර තිබේ. ඒ අනුව පරීක්ෂණ ආරම්භ කළ කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ අංශ නිලධාරිහු එදින රාත‍්‍රී 8 පමණ වනවිට පොල්පිතිගම ප‍්‍රදේශයේ නිවසක රදවාගෙන සිටි ආබාධිත හමුදා සෙබළා මුදවාගැනීමට සමත් වූ අතර පැහැරගැනීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනාද එහිදී අත්අඩංගුවට ගත්හ. ආබාධිත සෙබළා පැහැරගැනීමට යොදාගත් බව කියන ත‍්‍රිරෝද රථයද එම නිවසේ තිබියදී පොලිසිය විසින් සොයාගනු ලැබීය.

පොල්පිතිගම ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන සැකකරුවන් දෙදෙනා කුරුණෑගල වැඩබලන මහේස්ත‍්‍රාත් ඩබ්ලිව්. ඩී. එච්. චන්ද්‍රරත්න මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළේය. ඉඩම් ආරවුලක් මත මෙම පැහැරගැනීම සිදුකර ඇතැයි මූලික පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇති අතර, කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් රත්නායක මහතාගේ උපදෙස් මත, කුරුණෑගල මූලස්ථාන පොලිස් පරික්ෂක මංගල වික‍්‍රමනායක මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී. එම්. සී. දිසානායක මහතා ඇතුලු නිලධාරිහු වැටලීම සිදුකළහ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article