Sunday, November 24, 2024

තිරය පිටුපස වයඹ දේශපාලනයේ සතියක පෙළගැස්ම !

Must read

alu_yata_gini_08_08_16හිරියාලේ සතුරු මිතුරු එකට මුල්ගල් තියති.

දේශපාලනය තුළ සදාකාලික සතුරන් මෙන්ම මිතුරන්ද නැති බව ප‍්‍රකට කියමනකි. කලෙකදී දෙපිළ බෙදී ගහමරා ගන්නා දේශපාලනඥයින් පසුකලෙක කරට අතදමාගත් සිදුවීම්වලට උදාහරණ වයඹ දේශපාලනය තුළින් පවා තොග ගණනින් සොයාගැනීම අසීරු නොවේ. එවන් පසුබිමක් තුළ සතුරන් මිතුරන් එක් කළ තවත් අපූරු අවස්ථාවක් පසුගිය බ‍්‍රහස්පතින්දා දැකගත හැකි වූයේ හිරියාලේදීය. ළගම පාසල හොදම පාසල සංකල්පය යටතේ නව පාසල් ගොඩනැගිලි ඉදිකිරීම සදහා එදින දිවයින පුරා පිහිටි පාසල් ගණනාවකදී මුල්ගල් තැබුණු අතර ඊට සමගාමීව හිරියාල මැතිවරණ කොට්ඨාශයේ පිහිටි පාසල් හතරක නව ගොඩනැගිලිවලට මුල්ගල් තැබීමද එදින සිදු විය. හිරිපිටිය ආදර්ශ මහා විද්‍යාලය, පොතුවාගොන්න මහා විද්‍යාලය, තිත්තවැල්ල විද්‍යාලය සහ කුඹල්අංග හමීදියා මුස්ලිම් විද්‍යාලය යන විදුහල්වලදී නව ගොඩනැගිලි සදහා මුල්ගල් තැබීමේ උත්සව එදින සංවිධානය වී තිබුණේ හිරියාල එජාප සංවිධායක ජගත් යාපා සහ හිරියාල ශ‍්‍රීලනිප සංවිධායක මන්ත‍්‍රී කමල් ඉන්දිකගේ ප‍්‍රධානත්වයෙනි. එජාප – ශ‍්‍රීලනිප සම්මුතිවාදී ආණ්ඩුකරණයේ මහිමය පෙන්වමින් ජගත් සහ කමල් එක්ව මුල්ගල් තියද්දී ඊට තවත් අරුමයක් එක්කරමින් එම අවස්ථාවන්ට සහභාගි වූ එක්තරා මන්ත‍්‍රීවරියක පිළිබදව උත්සවවලට සහභාගි වී සිටි අයගේ වැඩි අවධානයක් යොමු වී තිබිණි. ඒ මීට දෙසතියකට පෙර ආණ්ඩුව ගෙදර යැවීමේ අරමුණ මුල්කරගනිමින් මහනුවර සිට කොළඹ දක්වා ගිය පාද යාත‍්‍රාවට පවා සිය සක‍්‍රිය දායකත්වය ලබාදුන්, වයඹ පළාත් සභාව තුළ මහින්ද රාජපක්ෂ පිළ නියෝජනය කරමින් සිටින මන්ත‍්‍රීනි මංජුලා දිසානායකයි. ඒකාබද්ධ විපක්ෂය හෙවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද රාජපක්ෂ පිල නියෝජනය කරන ලොකු කුඩා මන්ත‍්‍රීවරුන් සියලුදෙනාම පාහේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් සංවිධානය කෙරෙන උත්සවවලට සහභාගි නොවීමේ ප‍්‍රතිපත්තියක් මේ වන විට පවත්වාගෙන යමින් සිටිති. හිරියාලේදී එම ප‍්‍රතිපත්තිය යම් තරමකට ලිහිල් කළ මන්ත‍්‍රීනි මංජුලා මුල්ගල් තැබීමේ උත්සව හතරෙන් තුනකදීම ජගත් සහ කමල් සමග එකපෙළට සිටගෙන මුල්ගල් තියන්නට එක් වූ අතර කමල් ඉන්දික සමග සුහද කතාබහකටද වැටී සිටින අයුරු දැකගත හැකි විය. පාර්ලිමේන්තු මන්ත‍්‍රී මන්ත‍්‍රී සාලින්ද දිසානායකගේ හිරියාල සංවිධායකම උදුරා ගත් බවට මහින්ද පිළේ විවේචනයට ලක් වී සිටින මන්ත‍්‍රී කමල් ඉන්දික සමග මංජුලා දිසානායක කටයුතු කළ සුහද ආකාරයෙන් පෙනී ගියේ දෙපාර්ශ්වය විසින්ම පැරණි තරහ මරහ අමතක කර දමා ඇති බවකි. කෙසේවෙතත් මෙම සිදුවීම හිරියාලේ මහින්ද හිතවාදීන් යම් තරමකට සලිත කරන්නට සමත් වී තිබූ අතර ආණ්ඩුවේ වැඩකට මුල්ගල් තබන්නට එක්වීම හරහා මන්ත‍්‍රීනි මංජුලා විසින් යහපාලනය දෙසට මුට්ටිය දමා බලා ඇතැයි කියමින් අදහස් උදහස් හුවමාරුවෙද්දී එම උත්සවවලට සම්බන්ධ නොවූ නමුත් මන්ත‍්‍රී සාලින්දගේ නම පවා ඊට ඇදී තිබිණි.

ඔලුගෙඩි මාරුකිරීමේ  ‘ටිකිරි’ තැතක් වතුරේ යයි.

අඵ යට ගිනි විශේෂාංගය ආරම්භයේ සිටම සතිපතා එය කියවන මෙන්ම එහි ගුණදොස් විචාරන අපගේ නිත්‍ය පාඨකයෙකු පසුගිය සතියේ ලියුම්කරු ඇමැතුවේය. වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි බණ්ඩා ඉලක්ක කරමින් ප‍්‍රහාරයක් එල්ලකිරිම අඵ යට ගිනි පිටුවේ අනිවාර්ය අංගයක් බවට පත් වී තිබෙන බවක් පෙනෙන බව කී ඔහු මේ කෝන්තරය නවතින්නේ කවදාදැයි ලියුම්කරුගෙන් විමසීය. ලියුම්කරුගේ ප‍්‍රතිචාරය වූයේ එම දිනය තීරණය කිරීම සභාපති ටිකිරි බණ්ඩා සතු කාරියක් බවයි. ඔහු විසින් මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් කළ අවමන් සහගත ප‍්‍රකාශය ඉල්ලා අස්කරගන්නා යම් දිනයක් වේ නම් එදිනට මේ කෝන්තරය අවසන් කිරීම සදහා මුලපිරිය හැකි බව අප පාඨක හිතවතා වෙත ලියුම්කරු විසින් පැහැදිලි කර දෙනු ලැබීය. අප අතර සංවාදය එලෙස අවසන් වූ නමුත් එසේ නමුත් අදාල ප‍්‍රකාශය ඉල්ලා අස්කරගැනීමෙන් ප‍්‍රශ්නය නිරාකරණය කරගැනීමේ අවංක චේතනාවක් සභාපති ටිකිරි බණ්ඩාට නැති බව ඔහු විසින් දැන් දැන් කියන කරන දෑ වලින් පෙනී යයි. මහත්මා ප‍්‍රවේශයක් ඔස්සේ වැරැද්ද නිවැරදි කරගැනීම වෙනුවට කෑලෑ පාරවල් ඔස්සේ ප‍්‍රශ්න විසදාගැනීම පිළිබදව ටිකිරි බණ්ඩා තවදුරටත් විශ්වාසය තබා ඇති බව හෙළිකරන සිදුවීමක් පසුගිය සතියේදී අනාවරණය කරගත හැකි විය. මාධ්‍යවේදීන්ගේ පළාත් සභා රැස්වීම් වර්ජනය හමුවේ කුජීතව ගිය සභාපති තෙමේ දැන් තවත් අලුත් වික‍්‍රමයකට මුල පුරා තිබේ. කවුරුන් හෝ දී ඇති නැව් කඹයක් මෙවරත් කෙළවරමට ගිල ඇති ටිකිරි බණ්ඩා දැන් උත්සාහ කරමින් ඉන්නේ පළාත් සභාව වාර්තාකිරීමේ නියුතු මාධ්‍යවේදීන්ගේ ඔලුගෙඩි මාරු කිරීම හරහා ප‍්‍රශ්නය විසදාගැනීමේ ප‍්‍රයත්නයකටය. ඒ අනුව වයඹ පළාත් සභාවේ සභාලේකම් පද්මිණී කාරියවසම්ගේ අත්සනින් කොළඹ පිහිටි සියලු මාධ්‍ය ආයතනයන් වෙත ලිපියක් යැවෙන්නේ දැනට සති දෙක තුනකට පෙරදීය. අදාළ ලිපියෙන් කියැවෙන්නේ වයඹ පළාත් සභාව වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදීන්ගේ නාම ලේඛණවල සංශෝධනයක් සිදුකිරීමට නියමිත බැවින් වයඹ පළාත් සභාව වාර්තාකිරීම සදහා සුදුසු මාධ්‍යවේදීන් නම් කර එවන ලෙසටය. අදාළ ලිපිය පිළිබදව සිය මව් ආයතන හරහා දැනගත් වයඹ පළාත් සභාව වාර්තාකිරීමේ නියුතු මාධ්‍යවේදීන්ට මෙය නම් හුදු ඔලුගෙඩි මාරුවක් හරහා වැඩේ ගොඩදාගන්නට ටිකිරි බණ්ඩා විසින් දැරූ ටිකිරි වෑයමක් බව වටහාගැනීම අසීරු නොවීය. වයඹ පළාත් සභා ලේකම් කාර්යාලය විසින් වයඹ පළාත් සභාව වාර්තාකරණයේ නියුතු මාධ්‍යවේදීන්ගේ නම් ගම් සංශෝධනය කිරීමට මේ තකහනියේ මුල පුරා ඇත්තේ එම කාර්යාලය විසින් සිදු කළ යුතු ඊට වඩා වැදගත් වැඩ තොග ගණනින් අතපසුවෙමින් තිබියදී බව නොදැනීම කණගාටුවට කරුණකි. මාධ්‍යවේදීන්ගෙන් පලිගැනීමේ චේතනාවෙන් මිස එවැනි සංශෝධනයක අවශ්‍යතාවයක් මේ වන විට කිසිසේත්ම මතුනොවී තිබීමද විශේෂත්වයකි. පළාත් සභාව වාර්තාකිරීමට අලුතෙන් මාධ්‍යවේදීන් නම් කරන්නැයි කොළඹ පිහිටි මාධ්‍ය ආයතන වෙත ලියුම් යවන සභා ලේකම් පද්මිණි කාරියවසම්ට අමතක වී ඇති බවට සැකකළ හැකි කාරණාවක් මෙහිදී සිහිපත් කර දිය යුතු වෙයි. හය වැනි පළාත් සභාව ආරම්භයේදී පළාත් සභා වාර්කාරුවන්ගේ නාම ලේඛණවල සංශෝධනයක් සිදුකෙරුණේ වත්මන් සභා ලේකම්වරියගේ මූලිකත්වය සහ අනුදැනුම ඇතිව බවත්, එහිදී මියගොස් සිටි සහ මාධ්‍ය වෘත්තියෙන් ඉවත් වූ මාධ්‍යවේදීන්ගේ නම් පළාත් සභා වාර්තාකරුවන්ගේ ලැයිස්තුවෙන් ඉවත් කර ඒ වෙනුවට අලූත් මාධ්‍යවේදීන් නම් කෙරුණු බවත් ඇය අමතක නොකල යුතු කරුණකි. එම සංශෝධනයෙන් තෙවසරක් ගෙවුණු තැන වයඹ පළාත් සභාව විසින් තවත් සංශෝධනයක් සදහා අරඅදින්නේ සභාපති ටිකිරි බණ්ඩා සභාපති තෙමේ මාධ්‍යවේදීන් සමග පවතින ජන්මාන්තර වෛරය පිරිමසාගැනීමට බව පැහැදිලිය. ගෙවුණු වසර තුන තුළ වයඹ පළාත් සභාව වාර්තාකිරීමේ නියුතු මාධ්‍යවේදීන් මිය ගියේවත්, මාධ්‍ය වෘත්තිය හැර ගියේවත් නැත. සිදුවූ එකම දෙයනම් තමන්ට අපහාස කළ සභාපතිවරයෙකුට එරෙහිව පළාත් සභාව වර්ජනය කරන මාධ්‍යවේදීන් පිරිසක් බිහිවීම පමණකි. මේ නිසා කොළඹ පිහිටි බොහෝ මාධ්‍ය ආයතනවලින් පළාත් සභාවෙන් යැවුණු ලිපියට පිළිතුරු ලිපියක් එවීමට තරම්වත් සැලකිල්ලක් දක්වා නැති අතර පිළිතුරු එවූ මාධ්‍ය ආයතනයන් විසින් නම් කර එවා ඇත්තේද දැනට පළාත් සභාව වාර්තා කරමින් සිටින සුපුරුදු මාධ්‍යවේදීන්වීමද විශේෂත්වයකි.
වසර ගණනාවක් තිස්සේ මන්ත‍්‍රීවරුන් විසින් වයඹ පළාත් සභාව තුළදී සම්මත කරගත් යෝජනා සිය ගණනක් මේ වන විට ඇත්තේ හමස් පෙට්ටියේය. මන්ත‍්‍රීවරුන් විසින් සභාවේදී විවාද කර සම්මත කරගැනීමෙන් පසුව ක‍්‍රියාත්මක වූ යෝජනාවක් ගැන නම් මෑත කාලයේදී වයඹ පළාත් සභාවෙන් අසන්නට නොලැබිණි. තම යෝජනාවන් ක‍්‍රියාත්මක නොකර හමස් පෙට්ටියේ ලෑම පිළිබදව මන්ත‍්‍රීවරුන් විසින් ඇගිල්ල දිගු කරන්නේ වයඹ පළාත් සභවේ නිලධාරීන් වෙතය. මෙම යෝජනාවන් ක‍්‍රියාත්මක කිරීමේදී වයඹ පළාත් සභා කාර්යාලය වෙතද අනිවාර්ය වගකීමක් පැවරෙන බව නොරහසකි. මේ වන විට හමස් පෙට්ටියේ පුස්කමින් ඇති ජනතාවාදී මන්ත‍්‍රී යෝජනාවන් දෙස බලන විට වයඹ පළාත් සභා කාර්යාලය විසින් තම වගකීම කොයිතරම් දුරට ඉටුකර ඇත්තේදැයි මතුවන්නේ සාධාරණ සැකයකි. වසර තුනෙන් තුනට මාධ්‍යවේදී ලැයිස්තු අලුත් කිරීමේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ජොබ් එකට කරගැසීමට වඩා වයඹ සභා ලේකම් කාර්යාලය විසින් කළ යුතු වැදගත් කාර්යයන් අතපසුවෙමින් ඇති බව කියන්නේ එහෙයිනි.

නාවින්නගේ සල්ලිවලට පළාත් සභාව දොර වහයි.

පළාත් අධ්‍යාපන, සෞඛ්‍ය සහ වාරිමාර්ග සංවර්ධන කටයුතු වෙනුවෙන් රේඛීය අමාත්‍යංශවලින් පළාත් සභාව වෙත අතිරේක අරමුදල් සපයාගැනීම පිණිස වයඹ පළාත් සභාව වෙත ඉදිරිපත් කර තිබූ පරිපූරක ඇස්තමේන්තුවකින් වාරිමාර්ගවලට අදාළ පරිපූරකය අනුමත නොකර සිටීමට වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් විසින් පෙරේදා (16 දා ) පැවැති වයඹ පළාත් සභා රැස්වීමේදී කටයුතු කළහ. අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයෙන් රුපියල් මිලියන 268 ක මුදලක් මින් පෙර වයඹ පළාත් සභාව වෙත වෙන් කර තිබුණේ වයඹ පළාතේ ඇති වාර්මාර්ග පිළිසකර කිරීම වෙනුවෙනි. අගහරුවාදා පැවැති පළාත් සභා රැස්වීමට පරිපූරක ඇස්තමේන්තුවතක් ඉදිරිපත් කෙරුණේ අදාල මුදල් ප‍්‍රමාණවත් නොවීම නිසා එම ව්‍යාපෘතිවලට අවශ්‍ය අතිරේක අරමුදල් ලබාගැනීම වෙනුවෙනි. මෙම පරිපූරක ඇස්තමේන්තුව පිළිබදව සැළ වූ වයඹ පළාත් සභාවේ මහින්ද හිතැති මන්ත‍්‍රීවරුන් ඇමති නාවින්නගේ අමාත්‍යංශයේ ප‍්‍රතිපාදන හරහා සිදුකරන පළාත් වාරිමාර්ග පිළිසකර ව්‍යාපෘතියට විරෝධය පළකිරීමට මුල්පිරූහ. මන්ත‍්‍රීවරුන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ අදාල පරිපූරක ඇස්මේන්තුව පිළිබදව සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීම සදහා පළාත් සභා රැස්වීමට ආරම්භවීමට පෙර හදිසි ආණ්ඩු පක්ෂ රැස්වීමක්ද කැදවීමටද වයඹ මහ ඇමැති ධර්මසිරි දසනායක විසින් කටයුතු කර තිබිණි. කණ්ඩායම් රැස්වීමේදී කරුණු පැහැදිලි කළ ධර්මසිරි වයඹ පළාත තුළ ඇති සිදුකෙරෙන සංවර්ධන කටයුතු ගණනාවක් ඉදිරියට ගෙනයාම වෙනුවෙන් අදාළ පරිපූරක ඇස්තමේන්තුව අනුමත කිරීමේ අවශ්‍යතාවය පැහැදිලි කළේය. නමුත් ඊට විරෝධය පළකරමින් අදහස් දක්වන්නට වූ සුමිත් රාජපක්ෂ, ඩී. බී. හේරත් ඇතුලු මන්ත‍්‍රීවරුන් කීවේ අධ්‍යාපන සහ සෞඛ්‍ය පරිපූරකයට තමන් විරුද්ධ නැති බවත්, ඇමැති නාවින්නගේ අමාත්‍යංශය හරහා වාරිමාර්ග සංවර්ධනය වෙනුවෙන් ලැබෙන ප‍්‍රතිපාදනවලට තමන් විරුද්ධ බවත්ය. නාවින්න විසින් ක‍්‍රියාත්මක කරමින් යන වැව් හැරීමේ ව්‍යාපෘතිය කිසිදු විධිමත් බවක් නැති එකක් බවට ආණ්ඩු පක්ෂයේ මහින්දවාදී මන්ත‍්‍රී කණ්ඩායමේ මතය වී තිබිණි. ඇතැම් වැව් හෑරීම සදහා රුපියල් ලක්ෂ විස්ස, තිහ වැනි සුවිසල් මුදලක් වෙන් කර ඇති බවත්, ඒවා වැව් ගැඹුරු කිරීමේ සැබෑ අරමුණට වඩා නාවින්නගේ දේශපාලන හිතවතුන් සතුටු කිරීමට නිර්මාණය කර ගත් ව්‍යාපෘති බවටත් මන්ත‍්‍රීවරුන් මෙහිදී චෝදනා කළහ. මෙම වැව් ගැඹුරු කිරීම පිළිබදව ගොවි සංවිධානයන් දැනුවත්කර නැති බවටත්, ගැඹුරු කිරීම සදහා වැව් තෝරාගෙන ඇත්තේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් මිස ගොවි සංවිධානවල අවශ්‍යතාවයන් අනුව නොවන බවටත් මන්ත‍්‍රීවරුන් කරුණු දක්වන්නටවීම නිසා කණ්ඩායම් රැස්වීම රත් වී ගියේය. එම නිසා වාර්මාර්ගවලට අදාළ කොටස හැර අනෙක් අමාත්‍යංශවලට අදාළ පරිපූරක ඇස්තමේන්තුව පමණක් සම්මත කළ යුතු බවට මන්ත‍්‍රීවරුන් දිගින් දිගටම කරුණු දක්වන්නට වූහ. මන්ත‍්‍රී සෝමසිරි ගුණතිලක විසින් වයඹ පළාතේ වාරිමාර්ගවල අයිතිය සම්බන්ධයෙන් වයඹ පළාත් සභාවට ඇති නීත්‍යානුකූල අයිතිය පිළිබදව පැහැදිලි කිරීමක්ද කළේය. ආණ්ඩු පක්ෂයේ බහුතර මන්ත‍්‍රී පිරිසක් නාවින්නගේ අමාත්‍යංශයට අදාළ පරිපූරකය ප‍්‍රතික්ෂේප කරන මතයක සිටියදී ඊට පක්ෂව සිටියේ මහ ඇමැති ධර්මසිරි, මන්ත‍්‍රී කමල් හේරත් වැනි කිහිප දෙනෙකු පමණකි. වයඹ පළාතේ වැව් ගණනාවක් පිළිසකර කරවාගැනීමට අවස්ථාවක් ලැබී තිබෙන බව කියමින් මහ ඇමැති ධර්මසිරි විසින් අදාල පරිපූරකය සම්මත කළ යුතුය යන මතයේම සිටීම පිළිබදව මන්ත‍්‍රී ඩී. බී. හේරත්ට යකා නැග්ගේය. ‘‘ඔබතුමා මහ ඇමැති වුණාට කමක් නැහැ. කරුණාකරලා බහුතර මතයට ඇහුම්කන් දෙන්න. අනික ඔබතුමා ඔය තනතුරට පත් කළේ අපි. ඒ නිසා ඔබතුමා අපි කියන දේ අහන්න. ’’ඩී. බී. උස් ස්වරයෙන් ධර්මසිරිට කීය. ඩී. බී. ඇතුලු මන්ත‍්‍රී කණ්ඩායමෙන් නැගුණු විරෝධය හමුවේ මහ ඇමැති ධර්මසිරි එතැනිනින් එහාට කතා කරන්නට නොගිය අතර පළාත් සභාවට ඉදිරිපත් කෙරුණු පරිපූරක ඇස්තමේන්තුවෙන් වයඹ සංවර්ධන අමාත්‍යංශයෙන් ප‍්‍රතිපාදන ප‍්‍රතිපූර්ණය කිරීම හැර අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි අමාත්‍යංශවලට අදාළ කොටස් සම්මත විය. අදාළ පරිපූරකය සම්මත කළ යුතු බවට විපක්ෂ නායක ශමල් සෙනරත් විසින් පළාත් සභාව තුළදී සද්දයක් දැමූ නමුත් එය සිහින් කෙදිරිල්ලක් බවට පත් කළ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම අදාළ පරිපූරකය තමන්ට උවමනා පරිදි සම්මත කරගත්තේ ශමල්ටද කොකා පෙන්වමිනි.

උපුටාගැනීම – මව්බිම පුවත්පත , 2016 අගෝස්තු 18 වැනි බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article