Friday, November 22, 2024

තවත් සෙල්කුලක් අසිරිමත් බුදු රුවකින් ජීවය ලබනා වගයි….!

Must read

රම්බඩගල්ල සෙල් පිළිම වහන්සේ නිර්මාණය කිරීමත් සමග යළි ජීවය ලැබූ ශ‍්‍රී ලාංකීය සෙල් පිළිම කලාවේ දස්කම් විස්කම් යළිත් වරක් ලොව හමුවේ ප‍්‍රදර්ශණය කරවමින් තවත් සුවිසල් සෙල් පිළිම නිර්මාණයක නෙලීමේ කටයුතු ඉබ්බාගමුව , කිරිබමුණ ශ‍්‍රී ශෛලතලාරාම විහාරයේ දී ඊයේ (23 දා ) සුභ මොහොතින් ආරම්භ කෙරිණි.

කිරිබමුණ ශ‍්‍රී ශෛලතලාරාම විහාරස්ථාන භූමියෙහි පිහිටි සුවිසල් කඵ ගල් තලාවක් හාරා එතුළ නිර්මාණය කෙරෙන දිවා විහරණ ඉරියව්වෙන් යුත් ශෛලමය බුද්ධ ප‍්‍රතිමාව සහ තනි කඵගලින් නිමකෙරෙන දිවා ගුහාව මෙම සුවිසල් නිර්මාණයයි.

කිරිබමුණ ශ‍්‍රී ශෛලතලාරාමාධිපති , පුජ්‍ය පහළ ඇරූවුල උපරතන හිමියන්ගේ අදහසකට අනුව ඉදිකෙරෙන මෙම දිවා විහරණ ගුහාව මහනුවර, දෙගල්දොරුවේ පිහිටි ශෛලමය බුද්ධ මන්දිරයෙන් පසුව පසුව ශ්‍රී ලංකාවේ ඉදි කෙරෙන ප‍්‍රථම ශෛලමය බුද්ධ මන්දිරය ලෙසද සැලකේ.

අඩි 125 ක් දිග , අඩි 25 ක් ගැඹුරු , අඩි 42 ක් උස සහ ශෛලමය කණු 7 ක් සහිත මෙම දිවා ගුහාව තුළ නිර්මාණය කිරීමට නියමිත දිවා විහරණ ඉරියව්වෙන් යුත් සැතපෙන සෙල් පිළිමයෙහි දිග අඩි 100 ක් වන අතර පලල අඩි 20 කි. මෙම පිළිමෙයහි වැඩ අවසන් කිරීමෙන් අනතුරුව , පොළොන්නරුව ගල් විහාරයේ නෙලා ඇති සෙල් පිළිම වහන්සේටද වඩා ප‍්‍රමාණයෙන් විශාල වනු ඇති බව එහි සැලසුම් ශිල්පීන්ගේ අදහසයි.

දිවා විහරණ බුද්ධ ප්‍රතිමාවට අමතරව අඩි 25 ක උසින් යුතු සැරියුත්, මුගලන් අග‍්‍රශාවකයින් වහන්සේලාගේ පිළිම දෙකක්, දේවතා රූප, වාමන රූප , මල්කම්, ලියකම්, සදකඩ පහණ , මුරගල් සහ කොරවක්ගල සහිතව නිර්මාණය වන මෙම දිවා ගුහාවේ සියඵ සැලසුම් සහ සැරසිලි දේශීය කලා නිර්මාණයන් යොදවාගෙන හැඩ වැඩ කිරීමට නියමිතව තිබේ. එමෙන්ම මේ සියලූ නිර්මාණයක් ආබද්ධ නිර්මාණයන් නැතහොත් පිහිටි ගලෙහිම නිරිමාණය කිරීමට සැලසුම් කර තිබේ. මෙම පිළිමය සහ දිවාගුහාව නෙලීම සදහා ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 15 ක මුදලක් වැයවෙනු ඇතැයිද, එහි සියළු වැඩ කටයුතු අවසන් කිරීම සදහා වසර  5 ක පමණ කාලයක් ගතවෙනු ඇතැයිද ගණන් බලා තිබේ.

ලංකාව තුල දැනට සෙල් පිළිම නෙළීමේ යෙදී සිටින ඉන්දියානු ශිල්පීන්ට අභියෝගයක් එල්ල කරමින් මෙම දැවැන්ත නිර්මාණයෙහි සියඵ නෙලීම් කරනු ලබන්නේ ශ‍්‍රී ලංකා සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ මූර්ති කැටයම් අංශයේ  කථිකාචාර්ය දයානන්ද මුහන්දිරම් මහතා ඔහුගේ සිසු පිරිස විසිනි. ඉදිකිරීම් නිමවීමෙන් පසුව  ශ‍්‍රී ලංකාවේ විශාලතම සැතපෙන පිළිම වහන්සේ බවට පත්වීමට නියමිත මෙම නිර්මාණය මෑත යුගයේ දේශීය  ගල් කැටයම් ශිල්පීන් අතින් නිමැවෙන සුවිසල්ම නිර්මාණය ලෙස ද සැලකේ.

06

0701


02
030405

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article