සටහන සහ ඡායාරූප
වාරියපොල අශෝක චන්ද්‍රසේකර
“ලංකාවේ මසුන් නැති කුඩා දිය අගලක් හෝ සොයා ගැනීම දුෂ්කර ය.”
මේ තම එදා හෙලදිව නම් කෘතිය තුළ රොබට් නොක්ස් විසින් කරනු ලබන ප්‍රකාශයකි. එහෙත් එදා නොක්ස් දුටු ලංකාව අද නැත.ඔහු දුටු අන් සියල්ලකට සේම මත්ස්‍ය කර්මාන්තයටද කණ කොකා හඬා අහවරය. කණ කොකා නම් කොහොමත් මත්ස්‍යයින්ට හිතවතකු නොවේ. මේ කියන්නට යන්නේ අප දන්නා කණ කොකා ගැන නොවේ. ශ්‍රී ලාංකේය මිරිදිය ධීවර කර්මාන්තය සුනු විසුනු කරමින් ඇදී යන මහා සුළි කුණාටුවක් බඳු වූ ආක්රමණික මත්ස්‍ය විශේෂයක් පිළිබඳවයි. දශක දෙක තුනකට පෙර විසිතුරු මත්ස්‍ය වගා කරුවන්ගේ ආදර ගෞරවය මැද මෙරට ට සම්ප්‍රාප්ත වූ ටැංකි සුද්දා නම් විස්මිත මත්ස්‍යයා පිළිබඳවයි. වීදුරු ටැංකි වල දිය සෙවෙල් කා දැමීම නිසා නොබෝ කලකින් මත්ස්යලෝලීන් ගේ සමීප මිතුරකු බවට පත්වීමට ටැංකි සුද්දා සමත් විය. රට පුරා ඇති විසිතුරු මත්ස්‍ය වගාවන් සියල්ලකම මෙන්ම මාලු ටැංකි ඇති සෑම නිවසකම ටෑන්ක් ක්ලීනර් නැමති මෙම මසුන් එකෙකු හෝ අනිවාර්යයෙන්ම සිටිති. සතියකට වරක් ජලය ඉවත් කර පිරිසිදු කරන දුෂ්කර කර්තව්‍යයට සහනය එක් ටැංකි සුද්දකුගෙන් ඉතා පහසුවෙන් ලබා ගත හැකිය. එක් ගැහැණු සතකු වරකට පැටවුන් විසිදහසක් පමණ බිහි කරන බැවින් ඉතා ලාභදායී මිළකට වෙළඳපොළෙන් ලබා ගත හැකි වීම ද ටැංකි සුද්දා ජනප්‍රිය වීමට තවත් එක් හේතුවකි.
එහෙත් බොහෝ දෙනාගේ ආලින්දය සුන්දර කිරීමට සහය වන මෙම කසල ශෝධකයා මිරිදිය ධීවර කර්මාන්තයට නම් සිදු කර ඇත්තේ මහත් ව්‍යසනයකි. මිරිදිය ධීවරයින් ගේ දැල් ආම්පන්න මතු නොව ඔවුන්ගේ ජීවිකාව, දරු පවුලේ අනාගතය ඈ සියලු දේ සුණු විසුණු කරමින් ඇදී ගිය ටැංකි සුද්දා නම් මහා විනාශකයා ගැන කතාවයි මේ. ධීවර කටයුතු වල දී කරදරකාරී බලපෑම් කරන ගල් කටුවා නම් මත්ස්‍යයකු පිළිබඳව පළමුව වාර්ථා වූයේ කලා වැව ආශ්රිත ධීවර ජනතාව ගෙනි. එකල සුළු වශයෙන් දැල් වලට පැටලුනු මෙම මතස්‍යයා දැලෙන් ඉවත් කිරීම අපහසු බවත් දෑත් තුවාල වන අතර දැල ඉරී යන බවත් ධීවරයෝ ප්‍රකාශ කලහ. ධීවරයින් ගල් කටුවා නමින් හැඳින්වූ මෙම ටැංකි සුද්දා ගේ විද්‍යාත්මක නාමය pterygoplichthys නම් වේ.කෝ(ර්)ඩාටා වංශයට අයත් loricariidae පවුලේ සාමාජිකයකු වන මොහු සාමාන්‍යයෙන් හඳුන්වන්නේ tank cleaner නමිනි.
මාස කිහිපයකට පෙර මෙම ටැංකි සුද්දා අර්බුදය නැවත කරළියට පැමිණියේ රට පුරා ජලාශ වල මිරිදිය ධීවර කර්මාන්තය අර්බුදයට පත් වීමත් සමගයි. ධීවර ජනතාව ගේ ආර්ථිකය සුණු විසුණු කරමින් කුණාටුවක් මෙන් මොහොතකින් හිස එසවූ මෙම ගැටළුව පිළිබඳව සොයා බැලීම සඳහා අප ධීවර කර්මාන්තය හා බැඳුණු ජලාශ කිහිපයක් වෙත ගියෙමු.කත්නෝරුව, අබකොළවැව, මැඩියාව, දැදුරුඔය ආදී ජලාශ වල දී ධීවරයින් අප හා අදහස් දැක්වූ ආකාරයයි මේ.
මීගලෑව ප්‍රදේශයේ කත්නොරුව ජලාශයේ ධීවර කර්මාන්තයේ යෙදෙන “පුබුදු” ධීවර සමිතියේ සභාපති යූ සාගර ජයසේන මහතා – “අපේ වැවේ කාෆ්, කැටිලා, බිග්හෙඩ් කියන මාලු වර්ග ඉන්නවා. පළාත් ධීවර අමාත්‍යංශයෙන්, ධීවර අධිකාරියෙන් අපිට නොමිලේ මාලු පැටව් දෙනවා.පසුගිය කාලෙ අපේ එක් ධීවරයෙක් දවසකට රුපියල් තුන්දාහක් විතර හෙව්වා.ඒත් දැන් ආදායම අඩුයි. දවසකට මාලු අහු වෙන්නෙ කිලෝ දෙකක් තුනක් විතර. කිලෝ එකක් මෙතනින් දෙන්නෙ එකසිය පනහට. මේ ගල්කටුවො නිසා දැල් ඉරෙනවා මාලු අහු වෙන්නෙ නෑ.”
සාගර ජයසේන මහතා තව දුරටත් ප්‍රකාශ කලේ මාලු පැටවුන් ආරක්ෂා කරන ටැංකි කීපයක්ද තමා සතු බවයි.රජයෙන් ලබා දෙන පැටවුන් යම් තරමකට ලොකු වන තෙක් එම ටැංකි වල තබාගෙන ජලාශයට මුදා හරිනු ලබයි. ඒ සඳහා එක් පැටවකුට රුපියල් දෙකක මුදලක් ධීවර සමිතියෙන් අයකර ගන්නා අතර එම මුදල එකතු කිරීම සඳහා ධීවරයින්ගෙන් මාලු කිලෝවකට රුපියල් විස්සක් අය කරන බවත් ඔහු ප්‍රකාශ කරන ලදි.
පුබුදු ධීවර සමිතියේ සාමාජිකයෙකු වන නලීන් රෝෂන් ප්‍රේමතිලක මහතා අප සමග ප්‍රකාශ කළේ මෙවැනි අදහසකි. “මේ ටැංකි සුද්දො හරිම කරදරයක්. දැලට අහු උනොත් ගලවන්න වෙන්නෙ දැල ඉරලමයි. ඊයෙ මගෙ දැලේ 14 ක් හිටියා. සමහර දවස් වල 75-80 ක් විතර අහු වෙනවා. ටැංකි සුද්දො බැදුනම දැල හෙලවෙන නිසා වෙන මාලු අහු වෙන්නෙ නෑ. එදාට අපිට ආදායම අඩුයි. මෙහෙම ගියොත් අපිට වෙන්නෙ වෙන රස්සාවක් හොයා ගන්නයි.ජලජීවී අධිකාරියේ මහත්තයෙක් හැම මාසෙම අපේ සමිතියේ රැස්වීමට එනවා. එයාල කියන්නෙ තවම මේ ප්‍රස්නයට ස්ථිර විසඳුමක් නෑ කියලයි.”
පුබුදු ධීවර සමිතියේ ධනවර්ධන මහතා, “මේ ආනයනික මාලු බිත්තර දාන්නෙ ගලන වතුරේ ඒ නිසා ජලාශ වල බෝ වෙන්නෙ නෑ. කාෆ්, බිග්හෙඩ්, කැටිලා කියන හැම ජාතියම එහෙමයි. දේශීය මාලු වර්ග ජලාශ වල බෝ වෙනවා. ඒත් ගල් කටුවා ඒ බිත්තර විනාශ කරන නිසා ලූලා, තෙප්පලියා වගේ මාලු වඳ වෙනවා. මගේ දැලට දවසකට ගල් කටුවො 10 ක් විතර අහු වෙනවා. කොහොමවත් මැරෙන්නෙ නෑ. ගලවලා ගොඩට විසිකරාමත් දවසක් විතර පන තියෙනවා.ඒ නිසා වඳ කරන්න අමාරුයි.
යතුරුපැදියෙන් ගොස් මාලු අලවි කරන බී ජී විජේසිංහ මහතාද අප සමග සිය අදහස් මෙසේ ප්‍රකාශ කළේය. “මේ මාලු කලා වැවෙන් තමයි ඉස්සරලම බෝ වුනේ. ගෙවල් වල ටැංකි වලින් තමයි කලා වැවට එන්න ඇත්තේ.මුන් දැල් විනාශ කරන නිසා මාලු අහු වෙනව අඩුයි. ඒ නිසා අපටත් පාඩුයි. පෙට්‍රල් ගහගෙන දවසෙ වියදමවත් හොයා ගන්න මාලු කිලෝ හතලිහක් විතර ඕනෑ. ඒත් මේ දවස් වල කිලෝ අටක් දහයක් තමයි ලැපබන්නෙ.”
මී ලඟට අප ගියේ මහව අබකොළවැව ජලාශය ආශ්රිත “මහින්දපුර” ධීවර ගම්මානයටයි.ටැංකි සුද්දා ඔවුන්ට එතරම් සුද්දයක් දමා නැතත් මෙම ගැටලුවේ නොදුටු මානයක් කරා ඔවුන් අපගේ අවධානය යොමු කලා. ඔවුන් සිතන්නේ ටැංකි සුද්දා මෙන්ම ජලාශ වලට ගෙනවිත් දමන ආනයනික මත්ස්‍යයින් ද යම් කුමන්ත්රණයක කොටසක් විය හැකි බවයි. ධීවර නිළධාරීන් ද මෙම උගුලට හසුව ඇති බවක් ඔවුන් විශ්වාස කරන බව හැඟේ. “ධීවර මහත්තයා” නමින් ඔවුන් හඳුන්වන ධීවර අමාත්‍යංශ නිළධාරීන් පිළිබඳව ද ඔවුන්ගේ ප්‍රසාදයක් නැත. තම සාම්ප්‍රදායික ජීවන වෘතිය තමන්ට අවශ්‍ය පරිදි කරගෙන යාමට රජයෙන් විවිධ බාදා එල්ල වන බව ඔවුන්ගේ ප්‍රකාශ තුළ ගැබ් වූ අදහසයි. ඔරු සහ දැල් සහනාධාරය පමණක් ලබා දී තමන්ට තම රැකියාව නිදහසේ කරගෙන යාමට ඉඩ ලබා දෙන්නේ නම් එය සහනයක් බවයි ඔවුන්ගේ පොදු අදහස වූයේ.
මේ මහින්දපුර ධීවර සමිතියේ භාණ්ඩාගාරික එස් ඒ සමන්ත විජේරත්න මහතාගේ අදහස්, “අපට ශක්තිමත් ධීවර සමිතියක් තියෙනවා. සාමාජිකයො 32 ක් ඉන්නවා. කැටිලා , රෝහු කියන මාලු වර්ග අපේ වැවට දානවා. හැබැයි මේ මාලු නිසා අපේ දේශීය මාලු වඳ වෙනවා. ලූලා, තෙප්පලියා, කොරළියා වගේ දේශීය මාලුන්ට ඉල්ලුම වැඩියි. ඒත් මේ ගෙනත් දාන මාලු නිසා අපේ මාලු වඳ වෙනවා. ටැංකි සුද්දා ප්‍රශ්නෙ නම් අපට ඒ තරම් නෑ. ඉඳහිටල එකෙක් අහුවෙන්නේ. සමහර විට මාලු පැටව් ගේද්දි ඒ අතර ටැංකි සුද්දා එනව ඇති. අපට තියෙන ප්‍රස්නෙ අපේ කර්මාන්තයට ධීවර මහත්තුරු ඇඟිලි ගහන එකයි. එයාල දෙන පැටව් වැවට නොදැම්මොත් සහනාධාර කපනවා. එයාලා පැටව් වෙලාවට නොදුන්නම අපි සල්ලි දීලා වෙන තැනකින් පැටව් ගන්නවා. තුන හමාරේ දැල් විතරයි දාන්න දෙන්නේ. ඒත් ඒතරම් ලොකු මාලු වැවේ නෑ. වැවේ වතුර වැඩි කාලයක් නොරැඳෙන නිසා මාලු ඒ ගානට ලොකු වෙන්නේ නෑ. අපේ වැව හරහා තව වැව් පහකට වතුර ගන්න නිසා දාන මාලු වෙන වැව් වලට යනවා. ඒකට දැලක් දාල දෙන්න කිව්වට කරල දෙන්නෙත් නෑ. අපි කැමතියි දේශීය මාලු විතරක් ඉන්නවට.උන් ස්වභාවිකව බෝ වෙනවා. ඉල්ලුමත් හොඳයි.අපි රජයෙන් බලාපොරොත්තු වෙන්නෙ බෝට්ටු දැල් වගේ සහනාධාර විතරයි. මාලු පැටව් එපා.ඒත් දැල් ඔරු දෙන්නෙ මාලු පැටව් දැම්මොත් විතරයි.
මහින්දපුර ධීවර සමිතියේ සාමාජිකයෙකු වන අජිත් මහතා ද අප සමග අදහස් දැක්වීය. ඒ මේ ආකාරයෙන්, “ගෙනත් දාන මාලු කිලෝ එකක් අපි දෙන්නෙ එකසිය දහයට ඒත් ලූලා තිලාපියා වගේ පරණ මාලු එකසිය හැටට වැවේදිම දෙන්න පුලුවන්.අලුතින් දාන මාලුන්ට ඉල්ලුම අඩුයි. අඹන්පොළ ගොවිජන සේවා එකෙන් තමයි ධීවර මහත්තයා එන්නේ. එයාලා කියන්නේ එයාල දෙන පැටව් ගන්න කියලා. ඉස්සර මේ වැවේ ග්‍රෑම් හත්සිය පනහ විතර කොරළි හිටියා. දැන් දකින්නවත් නෑ. කලු තෙප්පලියා වඳ වෙලා.එක සැරයක් ධීවර මහත්තුරු කියපු නිසා ඉස්සො එක් ලක්ෂ තිස්දාහක් දැම්මා. ටික දවසකින් බලනකොට අපේ දේශීය මාලු වර්ගයක් වන අංගුට්ටන්ගෙ කෑලි වතුරෙ පා වෙනවා. ඉස්සො උන්ගෙ ඔලුව කාලා. මේක මහ විනාශයක්.”
මහින්දපුර ධීවරයින්ගේ වෙනස්ම අදහස් ද සමගින් අප මී ළඟට ගියේ වාරියපොල දැදුරුඔය ජලාශයේ ධීවරයින් හමු වීමටයි. එහි ධීවරයෙකු වන සුජීව කුමාර මහතා අප සමග ප්‍රකාශ කළ අදහසයි මේ. “ජලාශයේ කැටිලා, ලේල්ලු වගේ මාලු ඉන්නවා. ග්‍රෑම් 400-500 ප්‍රමාණයේ ටැංකි සුද්දො අහු වෙනවා. ඊයෙ මගේ දැලට ටැංකි සුද්දො 102 ක් අහු උනා. උන් ගලවන්න ගිහිල්ලා අත් දෙකත් තුවාල වෙලා. (සුජීව මහතා තුවාල වූ දෑත් අපට පෙන්වයි)
ආණ්ඩුවෙන් දුන්න දැල් ටැංකි සුද්දො නිසාම විනාශ වෙලා. උන් දැල් ඉරනවා. ගලවද්දිත් දැල් ඉරෙනවා, ගැට ගැහෙනවා.මේක බරපතල ප්‍රස්නයක්.”
එහි ධීවරයෙකු වන වසන්ත වික්‍රමසිංහ (බේබි) මහතා ද අප සමග අදහස් දැක්වීය. “දේශීය මාලුන්ට ඉල්ලුම වැඩියි. ඒත් ඒ මාලු අල්ලන්න පොඩි දැල් දාන්න බෑ, ටැංකි සුද්දො අහු වෙනවා. උන් දේශීය මාලුන්ගෙ බිත්තර කනවා. කුරුණෑගලින් එන ධීවර මහත්තයෙක් ඉන්නවා. එයාලට මේ ප්‍රස්නෙ කිව්වට විසඳුමක් නෑ. අපි දැල් වලට අහුවෙන ටැංකි සුද්දො මරල ජලාශය මැද්දෙම දාල එනවා. ඒකෙන් ජලාශයේ වතුර අපිරිසිදු වෙනවා. ගොඩට ගෙනාවත් පරිසරය අපවිත්‍ර වෙනවා. උන්ගෙ බෝ වීමත් වැඩියි. මේක අපේ දේශීය මාලුන්ට ලොකු තර්ජනයක්.
ටැංකි සුද්දා නැමති මෙම මත්ස්‍යයා පිළිබඳව කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රකට සුරතල් මත්ස්‍ය ව්‍යාපාරිකයෙකු වන ප්‍රදීප් හේරත් මහතාගෙන් අප විමසීමක් කළෙමු, “මේ ටෑන්ක් ක්ලීනර් මාලුවා ආනයනික මාලුවෙක්. ටැංකි වල තියෙන දිය සෙවෙල් තමයි මුගේ ආහාරය. ගෙවල් වල තියෙන ටැංකි වල ඉන්න ටෑන්ක් ක්ලීනර්ලා ලොකු උනාම වැව් වලට දානවා. ටැංකියෙ ඉඩ මදි වෙන නිසා. අපි ලඟනම් ලොකු ටැංකි තියෙන නිසා එහෙම දාන්න වෙන්නෙ නෑ. මේ මාලු එක වරකට පැටව් විසි දහසක් විතර දානවා. ඒ නිසා මිල අඩුයි. ලාභය වැඩියි. අනිත් මාලුන්ගෙ බිත්තර තියෙන්නෙ විවිද මතුපිටවල් වල අලවලා. ටෑන්ක් ක්ලීනර් දිය සෙවල කාගෙන යද්දි මාලු බිත්තරත් කනවා. මේ නිසා අනිත් මාලුන්ගෙ බෝ වීම අඩු වෙනවා. ඒ අතින් බැලුවම මේ මාලුවා අනිත් මාලුන්ට තර්ජනයක්. කොහොම උනත් ජලාශයකට මෙයාල බෝ වුනොත් අනෙක් මාලු ඉක්මනින් වඳ වෙන්න පුලුවන්.
ඉහත කරුණු කාරණා විමසීමේ දී අප හමුවෙහි පැන නගින ගැටළු රාශියකි. ටැංකි සුද්දා ජලාශ වලට බෝ වුනේ අහම්බෙන් ද? එසේත් නැතිනම් දේශීය මත්ස්‍ය සම්පත විනාශ කිරීමේ අරමුණින් හිතා මතාම බෝ කලාද?. ධීවර අමාත්‍යංශයේ නිළධාරීන් සහ ජලජීවී අධිකාරියේ නිළධාරීන් ධීවරයින්ගේ විරෝධතා නොතකා ආනයනික මාලුන් ජලාශ වලට දාන්නේ ඇයි? එසේ ජලාශ වලට මුදා හරින දෙමුහුන් මත්ස්‍ය පැටවුන් සමග ටැංකි සුද්දාත් මුදා හැරුනා ද? දෙමුහුන් මත්ස්‍ය පැටවුන් නොමිලේ ලබා දීම, ටැංකි සුද්දාගේ ව්‍යාප්තිය බහු ජාතික කුමන්ත්‍රණයක් නම් එම කුමන්ත්‍රණයට ධීවර නිලධාරීන් ගොදුරු කර ගත්තේ කිනම් උපක්‍රමයක් හරහා ද?.
මේ පිළිබඳව වයඹ පළාත් කෘෂිකර්ම හා ධීවර අමාත්‍ය සුමාල් තිසේරා මහතාගෙන් අප කළ විමසීමේ දී ඔහු ප්‍රකාශ කලේ මේ පිළිබඳව දින දෙකකට පෙර තමාට වාර්තා වූ බවයි. ඒ අනුව මේ වන විටත් විමර්ශන කණ්ඩායම් දෙකක් යොදවා තොරතුරු ගවේෂණය කරන අතර නිශ්චිත සාධක හමු වූ වහාම අදාල වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් කටයුතු කරන බවත් ඒ පිළිබඳව මාධ්‍යට හෙලි කරන බවත් ඔහු ප්‍රකාශ කරන ලදි.
දේශීය පැණි දොඩම් ගෙඩියට, දේශීය කෘෂි බීජ වලට සිදු වූ ව්‍යසනය මිරිදිය ධීවර කර්මාන්තයටත් අත් වීමට පෙර මේ පිළිබඳව ජාතික මට්ටමේ වැඩ පිළිවෙලක් අවශ්‍ය වී ඇති බව පෙනේ. එසේ නොවුනහොත් නුදුරු අනාගතයේ දී ම බහු ජාතික සමාගම් වලින් කියන ගානක් දී මාලු පැටවුන් ලබා ගැනීමටත් ඒ වෙනුවෙන් ඔවුන් ඉදිරිපත් කරන විවිද කොන්දේසි වලට අවනත වෙමින් රට උගසට තැබීමටත් සිදු වනු ඇත. රට වටා මහ මුහුද තිබිය දී සැමන් ටින් එක පිට රටින් ගෙන්වන තෙක් බලා සිටිනවා මෙන් රට පුරා වැව් තිබිය දී කූණිස්සෙකුවත් නැති වැව් ජලයේ ඉස්ගෙඩියන් දෙස බලාගෙන හූල්ලන්නට අනාගත පරපුරට ඉඩ තබමුද?