Sunday, January 19, 2025

ඇමැති දෙහිගම‍ගෙන් එක්ලක්ෂ හයදහසක මුද්‍රණ බිලක් !

Must read

dehigama
2012 වසරේදී විවෘත කෙරුණු, කුලියාපිටිය කෝන්ගල්ල පානීය ජල ව්‍යාපෘතිය විවෘතකිරීමේ උත්සවය සදහා බැනර්, පොස්ටර් සහ ආරාධනාපත‍්‍ර මුද්‍රණය කිරීම වෙනුවෙන් පමණක් වයඹ පළාත් සමාජ සුබසාධන අමාත්‍යංශය විසින් රුපියල් එක්ලක්ෂ හයදහස් තුන්සියයක (106300 ) මුදලක් වැය කර ඇති බව අනාවරණය වෙයි.

මේ බව අනාවරණය වූයේ වයඹ පළාත් සභා මන්ත‍්‍රී රංජිත් ගුණසේකර මහතා (ප‍්‍ර. ප ) විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් වයඹ පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක , වනිතා කටයුතු , ග‍්‍රාමීය කර්මාන්ත සහ සංවර්ධන කටයුතු අමාත්‍යවරයා වෙත යොමු කර තිබූ ප‍්‍රශ්නයකට එවකට එම අමාත්‍යධූරය දැරූ සන්ධ්‍ය කුමාර රාජපක්ෂ මහතා විසින් 2015 අගෝස්තු මස 25 වැනිදා පැවැති පළාත් සභා රැස්වීමේදී ලබා දුන් පිළිතුරකිනි.

මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යංශ ලේකම්ගේ 2013 පෙබරවාරි 16 දිනැති අංක 156 දරන අය වැය චක‍්‍රලේඛය ප‍්‍රකාරව පුනරාවර්තන වියදම් දැරීමේදී අමාතවරුන්ගේ පදවි ප‍්‍රාප්ත උත්සව, ආරාධනාපත‍්‍ර, දිනපොත් සහ සුබපැතුම් වැනි අත්‍යාවශ්‍ය නොවන ක‍්‍රියාකාරකම් සදහා වන වියදම් සීමා කළ යුතු බව දන්වා තිබියදීත් 2012 වසරේදී වයඹ පළාත් සමාජ සුබසාධන අමාත්‍යංශය විසින් රුපියල් පන්ලක්ෂ විසිහත්දහස් හතළිහක මුදලක් (527040 ) මුදලක් අනවශ්‍ය ලෙස වැය කර ඇති බව විගණන විමසුමකදී අනාවරණය වී ඇති බවත්, එම මුදල වගකිවයුතුඅයගෙන් නැවත අයකරගැනීම සදහා කටයුතු කරන්නේදැයි රංජිත් ගුණසේකර මහතා විසින් ඉදිරිපත් කළ ප‍්‍රශ්ණයෙහි සදහන් විය.

අදාළ ප‍්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍ය සන්ධ්‍ය කුමාර රාජපක්ෂ මහතා විසින් 2013 වර්ෂයට අදාළව සමාජ සුබසාධන අමාත්‍යංශය විසින් කළ එවැනි වියදම් පිළිබදව සාකච්ඡාවට භාජනය වී ඇතත්, එවකට පැන නැගුණු අවශ්‍යතා අනුව මෙම වියදම් දරා ඇති බවද පැවසීය.

එම පිළිතුරෙන් සෑහීමට පත් නොවූ රංජිත් ගුණසේකර මහතා විසින් එලෙස පැනනැගුණු අවශ්‍යතා මොනවාදැයි යළි ප‍්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා විසින් එම වියදම්වල ලැයිස්තුවක් සභාවට ඉදිරිපත් කළේය. එහිදී කෝන්ගොල්ල ජල ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවය වෙනුවෙන් ඩිජිටල් බැනර් මුද්‍රණය කිරිම සදහා රුපියල් 71800 ක්, පෝස්ටර් 2000ක් මුද්‍රණය කිරීම සදහා රුපියල් 23000 ක් සහ ආරාධනාපත‍්‍ර 1000ක් මුද්‍රණය කිරීම සදහා රුපියල් 11500ක්ද වැයකර ඇති බව පැවසීය.

ඒ අනුව කෝන්ගල්ල පානීය ජල ව්‍යාපෘතිය විවෘතකිරීමේ උත්සවය සදහා බැනර්, පොස්ටර් සහ ආරාධනාපත‍්‍ර මුද්‍රණය කිරීම වෙනුවෙන් පමණක් වයඹ පළාත් සමාජ සුබසාධන අමාත්‍යංශය විසින් 2012 වසරේදී වැයකර ඇති මුදල රුපියල් එක්ලක්ෂ හයදහස් තුන්සියයක් වන අතර එම සමයේදී වයඹ පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක , වනිතා කටයුතු , ග‍්‍රාමීය කර්මාන්ත සහ සංවර්ධන කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ වත්මන් ප‍්‍රවාහන අමාත්‍ය ගුණදාස දෙහිගම මහතාය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article