Sunday, January 19, 2025

ජනපති වෙබ් අඩවිය හැක්වෙද්දී මහ ඇමැති ෆේස්බුක් පිටුව රිපෝට් වෙයි !

Must read

alg_july_7_4alu_yata_gini_16_9_15

මෛත‍්‍රී පිල වයඹ ඇමැති මණ්ඩලයේ බලය අල්ලයි.

විවිධාකාර පුද්ගලයින් විවිධාකාරයෙන් අර්ථ දක්වමින් සිටින නමුත් කුරුණෑගල මාළිගාපිටියේදී පැවැති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ හැට පස්වැනි සංවත්සර උළෙල හරහා ඒකාබද්ධ විපක්ෂය ඇතුලු මහින්ද රාජපක්ෂ පාර්ශ්වය වෙත කන් රත්වෙන පිළිතුරක් දෙන්නට ජනපති මෛත‍්‍රීගේ පාර්ශ්වය සමත් වූ බව මැදිහත් මතධාරීන්ගේ මතය වී තිබේ. බල මණ්ඩල කැදවා කුරුණෑගල සමුඵවට නොයන බවට අත් ඔසවා පෙන්වමින් ඒකාබද්ධ විපක්ෂ මන්ත‍්‍රීවරුන් විසින් සති ගණනක් තිස්සේ ගෙනගිය විරෝධතාවයන් හුදු මාධ්‍ය සන්දර්ශණ බවට පත්කරවමින් වාර්තාගත පාක්ෂිකයින් පිරිසක් මාලිගාපිටිය වෙත කැදවාගන්නට මෛත‍්‍රී පාර්ශ්වය සමත් වී තිබිණි. දේශපාලනයේ දිශානතිය සමුඵවකට සහභාගිවන ඔලුගෙඩි ගණන මත පමණක් තීරණය කළ නොහැකි වුවත්, සම්මුතිවාදී ආණ්ඩුවේ කොටස්කරුවන්වීම නිසාම පාක්ෂිකයින්ගේ විරෝධයට සහ ක්‍රෝධයට පත් වී සිටිතැයි මහින්ද පිලෙන් අභිෂේක ගන්වා සිටින මහින්ද අමරවීර, ඩිලාන් පෙරේරා, දුමින්ද දිසානායක වැනි ඇමැතිවරුන් විසින් දහස් ගණනක ආධාරකරුවන් පිරිසක් ඔවුන් නියෝජනය කරවමින් පිණිස මාළිගාපිටිය වෙත එවන්නට සමත් වී තිබිණි. පක්ෂය තුළ එතෙක් නොපැවැති බලයක් තහවුරු කරගනිමින් මෛත‍්‍රී පාර්ශ්වය විසින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැට පස්වැනි සංවත්සර සැමැරුම ජයග‍්‍රාහීව අවසන් කරන විට එහි අතුරු ඵලයක් ලෙස වයඹ පළාත් සභාවේ ඇමැති මණ්ඩලය තුළද පූර්ණ බලයක් තහවුරු කර ගැනීමට මෛත‍්‍රී පිල සමත් වී තිබිණි. සමුඵව ආරම්භයට පෙර වයඹ පළාත් සභා ඇමැති මණ්ඩලයෙහි බලය බෙදී පැවතුනේ තුනට දෙකක් වශයෙනි. මහ ඇමැති ධර්මසිරි, සෞඛ්‍ය ඇමැති ලක්ෂ්මන් වේඩරුව සහ ප‍්‍රවාහන ඇමැති දෙහිගම මෛත‍්‍රී පාර්ශ්වය නියෝජනය කළ අතර ඇමැති මණ්ඩලයේ සෙසු සාමාජිකයින් වූ අධ්‍යාපන ඇමැති සන්ධ්‍ය රාජපක්ෂ සහ ධීවර ඇමැති සුමල් තිසේරා සැලකුනේ මහින්ද පිලේ සාමාජිකයින් ලෙසටය. නමුත් ශ‍්‍රීලනිප සමුඵවේ සංවිධාන කටයුතුවලට පමණක් නොව ඒ වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවලට පවා ප‍්‍රසිද්ධියේ පෙනී සිටිමින් එහි සාර්ථකත්වය වෙනුවෙන් සෘජුවම දායක වූ ඇමැති සුමල් තිසේරා මේ වන විට වැඩි නැඹුරුවක් දක්වමින් සිටින්නේ මෛත‍්‍රී පාර්ශ්වය වෙත බවද කියැවෙයි. එමෙන්ම තම පිලේ කිසිවෙකුත් කුරුණෑගල සමුඵවට සහභාගි නොවන බවට මහින්ද පිලේ මන්ත‍්‍රීවරුන් විසින් ස්වයං වාරණයක් පනවාගෙන සිටියදී ඒ බව තුට්ටුවකට හෝ මායිම් නොකළ ඇමැති සන්ධ්‍ය රාජපක්ෂ විසින් සමුඵවට සුබ පතමින් කුරුණෑගල නගරයේ ස්ථාන කිහිපයකම කටවුට් ප‍්‍රදර්ශණය කර තිබිණි. එමෙන්ම සමුඵවට සිව් දිනකට පෙර ජනපති මෛත‍්‍රී කුඹුක්ගැටේ මධ්‍ය මහා විද්‍යාලයට පැමිණි ගමනටද ඇමැති සන්ධ්‍ය එක් වී සිටියේය. එහිදී එම විද්‍යාලයේ ගුරුවරුන් පිරිසක් විසින් ජනපතිගෙන් කළ ඉල්ලීමකදී ඇමැති සන්ධ්‍ය ළගට කැද වූ මෛත‍්‍රී ‘‘ මෙන්න මේ වැඩේ කරලා දෙන්න. ඔයාට පළාත් සභාවේ සල්ලි තියෙනවානේ ’යැයි කියුවේ ඇමැති සන්ධ්‍යගේ උරහිසෙහි සුරත රදවාගනිමින් බොහෝ මිත‍්‍රශීලි ස්වභාවයකිනි. පසුගිය පළාත් සභා රැස්වීමේදී තමන් ජනපති මෛත‍්‍රී සමග අත්වැල් බැදගන්නවා යැයි මන්ත‍්‍රී අශෝක වඩිගමංගාව කියද්දී ඊට අත්පොළසන් දුන් කිහිපදෙනා අතර ඇමැති සන්ධ්‍යද විය. ඇමැති සන්ධ්‍ය විසින් අනුගමනය කරමින් සිටින මෙම ක‍්‍රියාකලාපයන් අනුව පෙනෙන්නේ සන්ධ්‍යද සුමල් තිසේරාගේ මාර්ගයම තෝරාගෙන ඇති බවක් හෙවත් ඇමැති සන්ධ්‍යද මෛත‍්‍රී පාර්ශ්වය දෙසට වැඩි නැඹුරුවක් දක්වමින් සිටින බවකි. ශ‍්‍රීලනිප සමුඵවට පෙර පහෙන් තුනක් වූ වයඹ ඇමැති මණ්ඩලය සමුඵව අවසානයේදී පහෙන් පහක් දක්වා වර්ධනය කරගනිමින් එම ඇමැති මණ්ඩලය තුළ පූර්ණ බල තහවුරුකිරීමක් සිදුකිරීමට මෛත‍්‍රී පාර්ශ්වය සමත්වූයේ එලෙසිනි. වයඹ ඇමැති මණ්ඩලයේ බලය ඇල්ලීමට අමතරව සභානායක චින්තක මායාදුන්නේ සහ මන්ත‍්‍රී අශෝක වඩිගමංගාවද තම පාර්ශ්වයට එකතු කරගනිමින් බෝනස් වාසියක් ලබාගැනීමටද සමුඵව අවසානයේදී මෛත‍්‍රී පාර්ශ්වය සමත් වී තිබිණි. මීයක් කඩන්නේ අත ලෙවකන්නට නොවේ යැයි පැරණි කියමනක් තිබේ. එම කියමන නැවත වතාවක් සනාථ කරවමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ හැට පස්වැනි සංවත්සර සැමැරුම් උළෙල පැවැත්වීම සදහා කුරුණෑගල තෝරාගන්නට මෛත‍්‍රී පාර්ශ්වය විසින් ගත් තීරණය අපතේ නොගිය බවක් දැන් දැන් සිදුවෙමින් ඇති දේවල් අනුව පෙනී යයි.

මහඇමැතිගේ ෆේස්බුක් ගිණුම අතුරුදන් !

ජනාධිපති මෛත‍්‍රීගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුලු වී එහි දත්ත වෙනස් කළ බව කියන ලාබාල තරුණයින් දෙදෙනෙකු පිළිබදව පසුගිය සති කිහිපය පුරාම වැඩි වශයෙන් කතාබහට ලක් විය. අදාළ අනවසර ඇතුලුවීම හෙවත් හැක්කිරීමේ සිදුවීම එම තරුණයින්ට සිරදඩුවම් නියමවීම දක්වා දුරදිග ගිය නමුත් තව අතකින් බලන කල දැඩි ආරක්ෂක පිළිවෙත් සහිතව පැවැතිය යුතු රටේ ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවිය පවා සයිබර් අවකාශය තුළ පවතින්නේ කෙතරම් අනාරක්ෂිතවදැයි පෙන්වාදීමට එම තරුණයින් දෙපළ සමත් වී තිබිණි. ජනපති වෙබ් අඩවිය හැක් කිරීම පිළිබද කතාබහ අවසන්වීගෙන යද්දී ඒ හා සමාන අත්දැකීමකට මුහුණ දෙන්නට වයඹ මහ ඇමැති ධර්මසිරි දසනායකටද පසුගිය සතියේදී සිදුවිය. ඒ මහ ඇමැති ධර්මසිරි දසනායකගේ නමින් පවත්වාගෙන යමින් තිබූ නිල ෆේස්බුක් පිටුව හිටිඅඩියේ අතුරුදන්වීම හේතුවෙනි. මහ ඇමැති ධර්මසිරි ප‍්‍රධාන අමාත්‍ය ධූරයට පත්වීමෙන් ප‍්‍රධාන අමාත්‍ය මාධ්‍ය ඒකකයේ මෙහෙයවීමෙන් ආරම්භ කෙරුණු මෙම ෆේස්බුක් පිටුව හරහා ධර්මසිරි සහභාගිවන උත්සව සහ විශේෂ අවස්ථාවන් පිළිබද තොරතුරු මුහුණුපොත වෙත මුදාහරිනු ලැබිණි. එම පිටුවට දස දහසකට ආසන්න ෆේස්බුක් සාමාජිකයින් පිරිසක් කැමැත්ත පළ කර තිබූ අතර එහි තොරතුරු දෛනිකව බෙදාහදා ගනිමින් සක‍්‍රිය තත්වයේ පැවැතිණි. පසුගිය සතියේ දිනෙක යවත්කාලීන කිරීමක් සදහා ධර්මසිරිගේ ෆේස්බුක් පිටුවට ඇතුලූවීමට උත්සාහ කළ වයඹ ප‍්‍රධාන අමාත්‍ය මාධ්‍ය ඒකකයේ සාමාජිකයින් රත්වී ගියේ එම පිටුව මුහුණුපොතින් අතුරුදන් වී තිබීම හේතුවෙනි. දන්නා සෙල්ලම් දමා පිටුව සොයාගැනීමට උත්සාහ කළත් අවසානයේදී වටහාගත හැකි වූයේ අදාළ පිටුව රිපෝට්වීම හේතුවෙන් එය මුහුණුපොතින් ස්වයංක‍්‍රියවම ඉවත් වී ඇති බවකි. ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැකගන්නේ පිළිවෙත අනුගමනය කළ වයඹ ප‍්‍රධාන අමාත්‍ය මාධ්‍ය ඒකකය විසින් මහඇමැති ධර්මසිරිගේ නමින් නව ෆේස්බුක් ගිණුමක් ඉන් දින කිහිපයකට පසුව ආරම්භ කරනු ලැබීය. වයඹ ප‍්‍රධාන අමාත්‍ය මාධ්‍ය ඒකකයේ සාමාජිකයින් මේ දිනවල හරි හරියට වෙහෙසෙමින් ඉන්නේ මහඇමැති ධර්මසිරිගේ පෙර පැවැති ෆේස්බුක් පිටුවට වටා එක්වී සිටි ෆේස්බුක් සාමාජිකයින් පිරිස නව පිටුව වෙත නැවත කැදවාගනිමින් අහිමි වී ගිය ෆේස්බුක් කීර්තිය නැවත වරක් ධර්මසිරිට උපයාදීම වෙනුවෙනි.

මෛත‍්‍රී පිලෙන් විසි කරන කුණු භාරගැනීමට මහින්ද පිල සූදානම්ද ?

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිට පවතින්නේ නොනිල වශයෙන් දෙපිළ බෙදී සිටින පසුබිමකය. දැන් දැන් කියැවෙන සහ කෙරෙන දේවල් දෙස බැලීමේදී ඉදිරි මැතිවරණයකදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු නව පෙරමුණක් කළ එළි බැසීමට වැඩි ඉඩකඩක් ඇති අතර ඒ බව සනාථ කරමින් තමන් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී මහින්දගේ නායකත්වයෙන් බිහිවන නව පෙරමුණෙන් මිස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග නොකරන බවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප‍්‍රාදේශීය සභා හිටපු සභාපතිවරුන්, උප සභාපතිවරුන් සහ මන්ත‍්‍රීවරුන් ඇතුඵ පිරිසක් ප‍්‍රතිඥා දී සිටිති. ඒ අනුව ජනපති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත‍්‍රී පාර්ශ්වයට එරෙහිව සටන් වැදීමට සූදානම් වන බව කියන මහින්ද පිල දැන් කල්පනා කළ යුත්තේ තම පිලේ ඉන්නේ සටනක් දිනවීම සදහා යොදාගත හැකි මට්ටමේ සොල්දාදුවන්මදැයි කියාය. මක්නිසාද යත් මහින්ද ඇතුලු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් ගණනාවකගේ ඉරණම සදහටම ලියැවීමට නියමිත තීරණාත්මක සටනක් සදහා කොර අශ්වයින් සහ ලෙඩ ජොකියන් යොදාගැනීම එම සටනෙන් මාරාන්තික පරාජයක් ලැබීමට ඉවහල් විය හැකි බැවිනි. මහින්ද පිලේ කොර අශ්වයින් සහ ලෙඩ ජොකියන් ප‍්‍රශ්නාර්ථයක් මතුකරන්නට සිදුවූයේ මෙතෙක් කල් මෛත‍්‍රී පිලට ආවඩමින් සිට ඊයේ පෙරේදා මහින්ද පිලට කරණමක් ගසා තමන් මහින්ද පිලේ මහ ලොකු චරිතයක් බවට ජනතාවට ඇගවීමේ බොළද වෑයමක යෙදී සිටින එක්තරා දේශපාලන පුතයෙකුගේ ක‍්‍රියාකලාපය හේතුවෙනි. ඒ අන් කිසිවෙකුත් නොව ලාංකීය පළාත් සභා ඉතිහාසය තුළ මාධ්‍යවේදීන් දොට්ට දමා දොරවල් වසා දමන්නට අණ කළ සහ ඒ හේතුවෙන්ම වයඹ ජනතාව අතර අප‍්‍රසාදයට පත්ව කුජීතව ගිය වයඹ පළාත් සභාවේ ටිකිරි බණ්ඩාය. ටිකිරි බණ්ඩා විසින් සභාපති පුටුවත්, සංවිධායකකමත් රැකගැනීමේ ලා මහින්ද පිලේ මෙන්ම මෛත‍්‍රී පිලේත් දෙකකුල් රුවාගනිමින් ගැසූ ඩබල් ගේම් මෙන්ම රෑ දනියෙල් දවල් මිගෙල් නාටකයන් ගැනද මින් පෙර අවස්ථා ගණනාවකදී අඵ යට ගිනි ඔස්සේ හෙළි කර ඇති බැවින් නැවත වතාවක් එම නාඩගම් විචාරය කිරීම පිණිස මෙම පිටුවේ සීමිත ඉඩකඩ නාස්තිකිරීමට ලියුම්කරු අපේක්ෂා නොකරයි. තනතුරු රැකගැනීම පිණිස ගාල්ලේ මැයි රැළියටත්, කිරුළපන මැයි රැළියටත් රිංගූ ටිකිරි බණ්ඩා ඊයේ පෙරේදා මහින්ද පිලට මාරුවීමෙන් අනතුරුව දැන් රගන්නට හදන්නේ මහින්ද සමග එක බඩවැල කඩාගෙන ආ සහෝදරයෙකුගේ චරිතයයි. වයඹ ජනතාව හොදින්ම දන්නා පරිදි මින් මාස කිහිපයකට පෙර ටිකිරි බණ්ඩා මුඵ හදවතින්ම පෙනී සිටියේ මෛත‍්‍රී පිළ වෙනුවෙනි. මෛත‍්‍රී පිළේ අනුහසින් වයඹ පළාත් සභාවේ සභාපතිකම ඩැහැගත් ටිකිරි බණ්ඩා ඉන් පසු දිගින් දිගටම උත්සාහ කළේ අහම්බෙන් ලැබුණු සභාපති පුටුවත්, පොල්ගහවෙල ආසන සංවිධායකකමත් ආරක්ෂා කරගැනීම පිණිසය. ජනපති මෛත‍්‍රී එන්නේ කොතැනද එතැන පෙනීසිටීම ඇතුලු බොහෝ දෑ ටිකිරි බණ්ඩා ඒ වෙනුවෙන් කළේය. ඒ හරහා ටිකිරි බණ්ඩා සැලසුම් ඇන්දේ පොල්ගහවෙල සම සංවිධායකකමට පත් කර සිටින හිටපු මන්ත‍්‍රී නිමල් විජේසිංහ පොල්ගහවෙලින් එළවා පොල්ගහවෙල ආසන සංවිධායකකම තනිවම බදාගැනීමටය. තනියෙන් රජවීමේ දවල් හීන බලමින් සිටි ටිකිරි බණ්ඩා සිහිනෙන් අවදිවන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පක්ෂ ප‍්‍රතිසංවිධාන ක‍්‍රියාවලිය ආරම්භ කිරීමත් සමගය. ඒ අනුව දුර්වල ආසන සංවිධායකවරුන් ඉවත් කර ඒ වෙනුවට නව ආසන සංවිධායකවරුන් පත්කිරීම ආරම්භ කිරීමත් සමග නිල්වලා එලවා තනිවම රජවන්නට එතෙක් මවමින් සිටි ටිකිරි සිහින බිදී ගොස් තිබෙන සම සංවිධායකකමටද තට්ටුවන ලකුණු පැහැදිලිවම පෙනෙන්නට විය.මක්නිසාදයත් පොල්ගහවෙල ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කරමින් ටිකිරි බණ්ඩා විසින් පාර්ලිමේන්තු මැතිවරණ තොගයකටම තරග කර ඇතත් ඒ එකින්වත් ජයග‍්‍රහණය කරන්නට ඔහුට මේ වන තෙක් නොහැකි වී ඇති බැවිනි. එමෙන්ම අනෙකුත් මැතිවරණයන්වලදී පොල්ගහවෙල මැතිවරණ කොට්ඨාශයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ලබා ඇති සීඝ‍්‍ර පසුබෑමද පොල්ගහවෙල ආසන සංවිධායක තනතුරෙහි යම් වෙනසක් කිරීම කෙරෙහි බලපා තිබිණි. තමන්ගේ සංවිධායකකමට තට්ටුවීමට යන බවත්, තමාට ඉන් ගැලවීමක් නැති බවත් කල්ඇතිවම වටහාගත් ටිකිරි බණ්ඩා කළේ ක්ෂණිකව තැටිය මාරුකිරීමය. මෛත‍්‍රී පිළේ සිට මහින්ද පිළට මාරු වූ ටිකිරි බණ්ඩා දැන් මොරගාමින් ඉන්නේ තමන් ජනතා හඩට කන්දෙමින් මහින්ද පිළට ආ බවත්, එම ගමනේදී තමන් විසින් දරමින් සිටින තනතුරු තානාන්තර අහිමිවූවත් කමක් නැති බවටත්ය. ටිකිරි බණ්ඩාගේ මුවින් පිටවෙන මේ දිව දෙකේ කතා අසන පොල්ගහවෙල ජනතාව දැන් අසන්නේ මෛත‍්‍රී පිළට කන්කෙදිරි ගා පළාත් සභාවේ සභාපතිකම් ඩැහැගනිද්දී සහ මෛත‍්‍රීපිලේ වැටීගෙන සිටියදී ජනතාව කී දේවල් නෑසුනේ කන් අගුල් වැටී තිබූ නිසාදැයි කියාය. එබැවින් ටිකිරි බණ්ඩා නියෝජනය කරන්නේ මෛත‍්‍රී පිල වේවා මහින්ද පිල වේවා පොල්ගහවෙල ආසන සංවිධායකකම තවත් නොබෝ දිනකින් ඔහුගෙන් නියත වශයෙන්ම ගැලැවීයාමට නියමිතය. ඒ සංවිධායකවරයෙක් වශයෙන් ඔහුගේ විසින් පෙන්වා ඇති අසාර්ථකත්වය සහ අදක්ෂතාවය හේතුවෙන් මිස මෛත‍්‍රී පිල හෝ මහින්ද පිල යන දේශපාලනික කාරණාව මත නොවන බවට ජනතාව වටහාගත යුතුය. අනෙක් අතට ටිකිරි බණ්ඩා යනු අසාර්ථක ආසන සංවිධායකවරයෙක් බවට පළමුව හදුනාගත්තේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිකම දැරූ සමයේදීය. ටිකිරි බණ්ඩා විසින් පොල්ගහවෙල කුජීත කර ඇති අන්දම දුටු මහින්ද වහාම කළේ පොල්ගහවෙල සම සංවිධායක තනතුරක් නිර්මාණය කර මන්ත‍්‍රී නිමල් විජේසිංහ ඊට පත්කිරීමය. එවකට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුව සිටි නිමල් විජේසිංහ සිය බලය ව්‍යාප්ත කරවමින් පොල්ගහවෙල ආක‍්‍රමණය කරද්දී එවකට නිකම්ම නිකම් පළාත් සභා මන්ත‍්‍රීවරයෙකුව සිටි ටිකිරි බණ්ඩා පැත්තකට විසි වී නාහෙන් හඩමින් සිටි ආකාරය පොල්ගහවෙල ජනතාව අදටත් සිහිපත් කරති. එබැවින් ටිකිරි බණ්ඩාගෙන් පොල්ගහවෙල සංවිධායක තනතුර ඉවත්කිරීම යනු කිසිසේත්ම දේශපාලන පලිගැනීමක් නොවන බවත්, එය මහින්ද විසින් ආරම්භ කළ පොල්ගහවෙල සුද්දකිරීමේ දිගුවක් බවටත් එම ආසනයේ ශ‍්‍රීලනිප පාක්ෂිකයින් විසින් වටහාගෙන හමාරය. එබැවින් ටිකිරි බණ්ඩා විසින් දැන් දැන් දෙසාබාමින් සිටින තනතුරු තානාන්තර අහිමිවූවත් කමක් නැති බවට වූ අමු මුසාවාද ශ‍්‍රවණය කිරීමේදී පොල්ගහවෙල ජනතාව දැන් සිහිකරන්නේ ‘‘හිගා කෑම බැරි වුණු තැන ලගී ගයා මර ගී’’යනුවෙන් කුමාරතුංග මුනිදාස ශූරින් විසින් ලියූ කවියකි.

මහින්දට අරංගේත‍්‍රම් පෙන්වමින් ටිකිරි බණ්ඩා විසින් තමන් මහින්දවාදියෙකු යැයි ලොවට පෙන්වීමට කරන ව්‍යාජ රංගනයන් දැක දැකත් මෛත‍්‍රී පිළද ටිකිරි බණ්ඩාගේ ක‍්‍රියාකලාපය පිළිබදව ශත පහකට හෝ මායිම් කරනා බවක් පෙනෙන්නට නැත. ටිකිරි බණ්ඩා යනු ජන පදනමක් නොමැති දේශපාලනඥයෙකු ලෙසට එම පිල විසින් හදුනාගෙන සිටීම ඊට හේතුව බව වාර්තා වෙයි. එබැවින් මෛත‍්‍රී පිළේ තක්සේරුව වී ඇත්තේ පළාත් සභා මැතිවරණයකින් එහාට ජයග‍්‍රහණයක් ලබන්නට නොහැකි වූ , අසාර්ථක, ජන ප‍්‍රසාදයක් නොමැති පුද්ගලයෙකු මහින්ද පිලට එක්වීමෙන් තම පිලට වාසියක් මිස අවාසියක් අත්නොවන බවය. එමෙන්ම මාධ්‍යවේදීන් දොට්ට දැමීම වැනි සිදුවීම් හරහා ටිකිරි බණ්ඩා විසින් පුද්ගලිකව උපයාගෙන ඇති අපකීර්තිය සහ ජන අප‍්‍රසාදයට අමතරව ඉදිරි මැතිවරණයේදී ටිකිරි බණ්ඩා ගෙදර යැවීම පිණිස සක‍්‍රිය සටනක් දියත් කිරීමට මාධ්‍ය සංවිධාන විසින් ඇතිකරගෙන සිටින එකගත්වය හමුවේ මැතිවරණයට තරගකරන සමස්ත කණ්ඩායටම පමණක් නොව පක්ෂයට පවා අහිතකර අන්දමින් එම තත්වයන් බලපෑ හැකි බවට මෛත‍්‍රී පිල විසින් මනාව අවබෝධ කරගෙන ඇති බවද වාර්තා වෙයි. එබැවින් එළිපිට නොකිව්වත් ටිකිරි බණ්ඩා මහින්ද පිලට පැනීම මෛත‍්‍රී පිල විසින් සලකනු ලබන්නේ පක්ෂයේ තිබූ කුණු ගොඩක් ඉවත්වීමයාමක් ලෙසට බව පැහැදිලිය. එබැවින් දැන් අපට මහින්ද පිලෙන් අසන්නට ඇත්තේ මෛත‍්‍රී පිලෙන් ඉවතලන කුණු ගොඩවල් භාරගැනීමට ඔබ සූදානම්දැයි කියාය.

උපුටාගැනීම – මව්බිම පුවත්පත, 2016 සැප්තැම්බර් 15 වැනි බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article