වෙළද බලපත්‍රයක් හෝ ලබානොගෙන මහජන සෞඛ්‍යට අහිතකර අයුරින් පළතුරු අලෙවි කිරීමේ යෙදුණු බව කියන පළතුරු වෙළදසැලක් වසාදමන ලෙසට නියෝග කළ කුරුණෑගල අතිරේක මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා එම පළතුරු වෙළදසැලෙහි හිමිකරුට රුපියල් දස දහසක දඩ මුදලක් ගෙවන ලෙසටද පසුගිය 18 වැනිදා නියෝග කළේය.
මෙලෙස වසාදැමීමේ නියෝග සහ දඩ මුදල් නියම කෙරුණේ කුරුණෑගල, මල්කඩුවාව ප්‍රදේශයේ හෙළවිරු ස්ටෝර්ස් නමින් පළතුරු වෙළදසැලක් පවත්වාගෙන ගිය එච්. එම්. එස්. හේරත් නැමැති අයෙකුටය.
1980 අංක 26 දරණ ආහාර පනත යටතේ කුරුණෑගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණි. පැමිණිල්ල මෙහෙයවමින් අධිකරණය හමුවේ කරුණු දැක් වූ බමුණාවල මහජන සෞඛ්‍ය පරීක්ෂක මංජුල අමරවික්‍රම මහතා, වැටලීම සිදුකරන අවස්ථාව වන විට මෙම වෙළදසැල ඉතාම අපිරිසිදු තත්වයෙන් පවත්වාගෙන යමින් තිබූ බවටත්, මහ පාරෙන් නැගෙන දූවිලි වැදී එහි විකිණිමට තිබූ පළතුරු දැඩි ලෙස අපවිත්‍ර වී තිබූ බවද පැවසීය. එමෙන්ම විත්තිකාර ව්‍යාපාරිකයා විසින් පළතුරු ඉදවීම සදහා වස වර්ගයක් භාවිතාකර ඇති බවද, එම වස වර්ගය දියර ඉසින යන්ත්‍ර මගින් පළතුරු ගෙඩි මතට ඉසීමෙන් පළතුරු ඉදවාගෙන ඇති බව කී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඒ සදහා යොදාගත් බව කියන දියර ඉසින යන්ත්‍ර කිහිපයක්ද අධිකරණය වෙත ඉදිරිපත් කළේය.
එමෙන්ම විත්තිකාර ව්‍යාපාරිකයා විසින් එම වෙළදසැලෙහි පළතුරු සලාද සහ පළතුරු යුෂ අලෙවි කිරීමේ ව්‍යාපාරයක්ද පවත්වාගෙන ගොස් ඇති බවත්, පළතුරු සලාද සහ යුෂ නිපදවීම සදහා වෙළදසැලෙන් ඉවත් කරන නරක් වූ පළතුරු යොදාගෙන ඇති බව වැටලීමේදී අනාවරණය වූ බවද හෙතෙම පැවසීය. එමෙන්ම වසරේ මුල් කාර්තුව තුළදී ප්‍රදේශයේ පළාත් පාලන ආයතනය වෙතින් ලබාගත යුතු වෙළද බලපත්‍රය ලබාගැනීමද මෙම ව්‍යාපාරිකයා විසින් පැහැරහැර තිබූ බවද අමරවික්‍රම මහතා කීය. මෙම වෙළදසැල ආසන්නයේ ජාතික තරුණ සේවා සභාවේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලය, ඞී. බී. වෙළගෙදර මධ්‍ය මහා විද්‍යාලය සහ සමෘද්ධි බැංකුව ආදී ජනාකීර්ණ ස්ථාන රැසක් පිහිටා තිබීම හේතුවෙන් දෛනිකව විශාල පිරිසක් මෙම වෙළදසැලෙන් පළතුරු මිලදී ගෙන ඇති බවත්, අදාළ වෙළදසැලෙන් අපිරිසිදු පළතුරු අලෙවිකරන බවට ලැබී තිබූ මහජන පැමිණිලි මත වැටලීම සිදු කළ බවත් අමරවික්‍රම මහතා වැඩිදුරටත් කීය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නියම කරනු ලබන ප්‍රමිතීන්ට අනුකූලව අදාළ වෙළදසැල සෞඛ්යාරක්ෂිත ලෙස සකස්කරන ලෙසට නියෝග කරමින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් මීට පෙර ලබා දී තිබූ මාස දෙකක කාල සීමාව තුළදී විත්තිකාර හෝටල් හිමියා විසින් ඒ සදහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබීම පිළිබදව සැලකිල්ලට ගත් අතිරේක මහේස්ත්‍රාත්වරයා එම වෙළදසැල වසාදැමීමේ නියෝග නිකුත් කළේය.
කුරුණෑගල ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය අශෝක පද්මකුමාර මහතාගේ උපදෙස් මත, බමුණාවල මහජන සෞඛ්‍ය පරීක්ෂක මංජුල අමරවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන සේනක වීරසේකර, දිලීප සමරනායක, ගයාන් විජේබණ්ඩාර සහ ලලිත් ධර්මරත්න යන නිලධාරීහු විසින් වැටලීම සිදු කර සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කළහ.