චෙරියපානි යන නම තාමත් අප සමාජයේ බොහෝ දෙනකුට එතරම් හුරු පුරුදු නැත.එනමින් හැඳින්වෙනුයේ ඉන්දු ලංකා සුඛෝපභෝගී මගී ප්‍රවහන යාත්‍රාව ය. ඊසාන දිග මෝසම් කාළගුණික තත්වය ආරම්භ වීම හේතුවෙන් මුහුදු රළ ප්‍රචණ්ඩ වීම මත චෙරියපානි යාත්‍රාවේ පළමු අදියරේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව නතර කළ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය නිවේදනය කොට තිබේ.ඊසාන දිග මෝසම් කාළගුණික තත්වය සමනය වූ පසු ලබන ජනවාරි සිට යළි මගී ප්‍රවහන සේවා මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කන්කසන්තුරේ වරායේ මෙහෙයුම් භාර නිලධාරි සමන් පෙරේරා පවසා ඇත. චෙරියපානි යාත්‍රාවෙන් එකවර මගීන් 150කට ගමන් කළ හැකි ය. එමඟින් ඉන්දියාවේ නාගපට්ටනම් වරායේ සිට ලංකාවේ කන්කසන්තුරේ වරාය දක්වා මගී ප්‍රවාහන මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවේ වසර 41 කට පසුව; ඉකුත් ඔක්තෝබර් 14 වෙනිිිදා ය.මේ අතර මගී ප්‍රවහන මෙහෙයුම්වලට අමතරව ඉදිරියේදී දෙරටේ භාණ්ඩ ප්‍රවහන මෙහෙයුම් ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව සමන් පෙරේරා කීය. මේ අතර චෙරියපානී යාත්‍රා සේවාව තාවකාලිකව නතර කිරීමට පෙර සතියකට දින තුනක් පමණක් ක්‍රියාත්මක කිරීමට ඉන්දීය නැව් සමාගම ඉකුත් 15දාම තීරණය කර තිබිණ.ඒ අනුව චෙරියපානී මගී ප්‍රවහන යාත්‍රාව ඉකුත්16 සිට ක්‍රියාත්මක වූයේ ද සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල පමණි. මේ යාත්‍රා සේවාවේ එක් ගමන් වාරයකට මගීන් 75කට වඩා අඩු සංඛ්‍යාවක් සිටියොත් අදාළ නැව් සමාගමට පාඩු බැවින් මේ තීරණය ගෙන තිබේ.
මේ වෙනුවෙන් අදාළ ටිකට්පත් නිකුත් කිරීම යාපනයේ ස්ථාන කිහිපයකම සිදු කෙරෙන අතර, ආගමන හා විගමන සේවා ද රේගු කටයුතු ද ඉතා කඩිනමින් සිදු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.නමුත් මේ වන විට ජන මනැසට හරියට ඉව වැටී නැති මේ නැව් සේවාවේ වැඩිම ප්‍රයෝජනය ඇත්තේ යාපනයේ ව්‍යාපාරිකයන්ට බව කියනු ලැබේ.එහෙත්, එවැන්නක් කීමට තාමත් කල් වැඩි බව අපගේ වැටහීම ය. එක් මගියකුට කිලෝ ග්‍රෑම් 50ක බරක් රැගෙන යෑමට අවසර ලැබීම නිසා යාපනයේ සිට ඉන්දියාවටත්, ඉන්දියාවේ සිට යාපනයටත් වැඩි වශයෙන් භාණ්ඩ රැගෙන යෑමට පටන් ගෙන තිබේ. මේ අතර චෙරියපානී මගී යාත්‍රාවේ මගියෙකු ළග නීති විරෝධී රන් බිස්කට් තොගයක් ඇති බවට ලැබුණු තොරතුරක් මත ඉකුත් 18 වන දා යාත්‍රාවේ සිටි සියළුම දෙනා ඉන් බිමට බස්වා පැය තුනක කාලයක් එම නැව පරීක්ෂාවට ලක්කර තිබේ.නාවික හමුදාව පොලීසිය හා රේගු නිලධාරීන් විසින් මෙම පරීක්ෂාව සිදු කර තිබෙන අතර ඒ සදහා නවීන යන්ත්‍ර සූත්‍ර ද පොලිස් නිල සුනඛයින් ද යොදා ගෙන ඇති බව වාර්තාවිය.ඊට දින දෙකකට පෙර ද එම මගී යාත්‍රාවෙන්ම ඉන්දියාවේ සිට යාපනයට පමිණි ඉන්දීය ජාතිකයෙකු ළග මෙම රන් බිස්කට් ඇති බවට කිසියම් කෙනෙකු විසින් ආරක්ෂක අංශ වලට ලබා දුන් ඔත්තුවකට අනුව එම පරීක්ෂා කිරීම සිදු කර ඇත. ඉකුත් 18 වන දා පෙරවරු 11.30 ට කන්කසන්තුරේ වරායෙන් චෙරියපානි යාත්‍රාව ඉන්දියාව බලා පිටත් වීමට නියමිතව තිබුණ ද එය සම්පූර්ණයෙන්ම පරීක්ෂාවට ලක් කිරීම නිසා එම ගමන පැය තුනක පමණ කාලයකින් ප්‍රමාද වූ බවයි සඳහන් වේ.මෙය නියත ලෙසම මඟීන් තුළ නොසතුට දනවන කරුණකි.නමුත් එම නැවේ තිබී කිසිදු සැක කටයුතු යමක් හෝ නීති විරෝධී දෙයක් හමු නොවීම නිසා යාත්‍රාව පිටත් කොට යැවීමට පියවර ගත් කන්කසන්තුරේ වරායේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් දැනුවත් කිරීමටද පියවර ගෙන තිබිණ.එබැවින් නාගපට්ටනම් වරායට ළගාවීමෙන් පසුව යළිත් වරක් එම යාත්‍රාව පූර්ණ පරීක්ෂාවකට ලක් කොට ඇති බව ද වැඩිදුරටත් සඳහන් ය.එය ද මඟීන්ට අමතර කරදරයක් වූ බවට සැක නැත.
2023 ජූලි මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරයේදී දෙරටේ නායකයන් ගේ එකඟත්වයකට ඉන්දියාවේ නාගප්පටනම් සහ ශ්‍රී ලංකාවේ යාපනය අසල කන්කසන්තුරේ අතර යාත්‍රා සේවාව ආරම්භ වූයේ ඉන්දියාවේ නැව් සංස්ථාවේ මෙහෙය වීමෙනි. නාගපට්ටනම් සහ කන්කසන්තුරේ අතර දුර කිලෝ මීටර්110 කි.ගමන් කාලය මුහුදු තත්ත්වය අනුව පැය 3.5 යි. නමුදු මුහුදු තත්ත්වය අනුව එය තරමක් වෙනස් විය හැක.
මෙම යාත්‍රා සේවාව ආරම්භ කිරීම මඟින් අසල්වාසීන් සමඟ සහ පුළුල් ඉන්දියානු සාගර කලාපය තුළ සම්බන්ධතාව වැඩි දියුණු කිරීම තව දුරටත් තහවුරු වනු ඇතැයි යන්න ඉන්දීය රජය විශ්වාස කරන බව නිවේදනය කොට තිබේ. “ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සෘජු මගී යාත්‍රාවක් දෙරටේ ජනතාවට කාර්යක්ෂම සහ ලාභදායී ගමන් මාර්ගයක් සපයනු ඇත. සංචාරක සහ වෙළඳසබඳතා නංවාලීම සහ මිනිසුන් අතර සබඳතා ශක්තිමත් කරයි. මෙම තොටුපළ වරායන් දෙක අවට ආර්ථික ක්‍රියාකාරකම් වැඩිදියුණු කරන අතර දේශීය ආර්ථිකයන් ප්‍රබෝධමත් කරනු ඇත” යන්න ද ඉන්දීය රජය පවසා තිබේ. කොවිඩ් වසංගතය අතරතුර අත්හිටුවන ලද චෙන්නායි සහ යාපනය අතර සෘජු ගුවන් සම්බන්ධතාව 2022 දෙසැම්බර් මාසයේදී නැවත ආරම්භ විය. ශ්‍රී ලංකාවේ උතුරු පළාත සමඟ සෘජු සම්බන්ධතා වැඩි දියුණු කිරීම මෙමඟින් ඉන්දියාව අපේක්ෂා කරන බව බැලූ බැල්මට වුව පැහැදිලි ය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම්බන්ධ කෙරෙන මෙම මගී යාත්‍රා සේවාව කෙරෙහි ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම පෞද්ගලික අවධානය නොමඳවම යොදා ඇති බවද පැහැදිලි කරුණකි. පසුගිය අගෝස්තු 15දා මඩු සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යයට ගිය ජනාධිපතිවරයා ආධ්‍යාත්මික විෂය පථයට කිසිසේත් අදාල නොවන අන්දමින් උතුරේ සංවර්ධන ඉලක්කයන් පිළිබඳ ඉඟි කිහිපයක් පළ කිරීම ඒ සඳහා වන හොඳම නිදසුනකි.කොළඹ කොටුවේ සිට තලෙයි මන්මාරම තෙක් නගරාන්තර දුම්රියක් ධාවනයට එක් වූයේ ද එහි ප්‍රතිඵලයක් ලෙසිනි.
ඒ අනුව ජනතාවට උවමනා කුමක්ද ? ජනතාව අතුරින්ම මතු වන පාර්ශවයන් ලවා ඒ උවමනා එපාකම් උපරිම ලෙස සංතෘප්ත කිරීමෙන් රටක ආර්ථිකය සවිබල ගැන්වීම මුල් කොට ගත් නව ලිබරල්වාදී ගෝලීය ආර්ථික සංකල්ප ඔස්සේ ජනාධිපතිවරයා ගන්නා මෙම ක්‍රියාමාර්ගය ලක් ඉතිහාසයේ කිසිදු රාජ්‍ය නායකයකු ගත් එකක් නොවේ.ඒ අනුව ඔහුගේ මෙම දේශපාලන පිය සටහන් අනාගතයේ මෙරට දේශපාලන ඉතිහාසයේ වැදගත් සමරු සටහන් ද වනු ඇත.
එහෙත්, ඒ සඳහා අප රටේ ආර්ථිකය නංවාලීමට නම් ගංජා වගාව, ගණිකා වෘත්තිය, කැසිනෝ ආදී දූ කෙලි ප්‍රවර්ධනයට රාජ්‍ය අනුග්‍රහය ලබා දිය යුතු බව නොනවත්වා හඬ නඟන ඩයනා ගමගේ වැනි කාන්තාවක සංචාරක රාජ්‍ය අමාත්‍ය ධූරයේ තබා ගැනීම අනියම් පිටිවහලක් වනු ඇතැයි ජනාධිපතිවරයා සිතා සිටින්නේ දැයි අපි නොදනිමු. එසේ නොමැති නම් ශ්‍රී ලංකාව වැනි සුවිශේෂ එෛතිහාසික සහ සංස්කෘතික උරුමයක් පවතින අප රටේ සංචාරක කර්මාන්තය පොදුවේ ගත් කළ මත්ද්‍රව්‍ය, දූ කෙලිය සහ ගණිකා වෘත්තිය යන කනප්පුව මත රඳවා තැබීමට දිවා රෑ මොර දෙන්නියකගේ පශ්චාත් භාගයට පයින් දෙකක් ගසා නෙරපනු මිස ඔවැනි මුල් පුටුවක් හිමි කරන්නේ නැත.අප දන්නා අන්දමට මිනී මස් මිනිස් ශරීරයට අහිත කර නැත.එසේම ඒවා රසට පිසීමට ද හැකි වනු ඇත.ඒ අනුව චෙරියපානි ද ඩයනා ගමගේ ගේ ගමන් මඟ ඔස්සේ මෙහෙයවීමට ජනපතිවරයා සිතන්නේ නම් එහි අන්තය සාරධර්ම විරහිත නොමිනිස් සමාජයක් ( Anomic society ) බව ඒකාන්ත වශයෙන්ම කිව යුතුය.