ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව නමින් වෙනම දෙපාර්තමේන්තුවක් පිහිටුවා ඇත්තේ මෙරට වෙසෙන ගොවීන්ගේ යහපත වෙනුවෙනි. ගොවියෙකු විසි බීජ සිටුවීම සදහා බිම් සැකසීමේ සිට එහි අස්වැන්න වෙළදපොළට යැවීම දක්වා වූ ක්‍රියාවලිය තුළ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත පැවරෙන්නේ සුලුපටු වගකීමක් නොවේ.
එබැවින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙරට ගොවීන්ගේ සුභසාධනය සහ සංවර්ධනය වෙනුවෙන් කැපවිය යුතු ආයතනයක් බවට තර්කයක් නැත.
නමුත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවා ඇති කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයට ඇත්තේ ඊටම වඩා වෙනස් න්‍යාය පත්‍රයක් බව පහත ඡායාරූපවලින් පැහැදිලි වෙයි. එම කාර්යාලය මෙරට ගොවීන්ට වඩා ඇමරිකානු ගොවීන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් කැපසිටින ඇති බවක්ද එම ඡායාරූපවලින් ගම්‍ය වෙයි.
කුරුණෑගල නගරයේ සිටි මීටර් පන්සියයක දුරින් කුරුණෑගල – මහනුවර ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇති ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේ ආපන ශාලාවේ සවිකර ඇති දැවැන්ත පුවරුවකින් කියැවෙන්නේ එහිදී බනිස් සහ ෂෝටීස් වර්ග අඩු මිලකට ලබා ගත හැකි බවකි. ආහාර රුචිය වඩවන ආකාරයෙන් බනිස්, රෝල්ස් සහ පේස්ට්‍රි ඇතුලු පාන් පිටි කෑම වලින් සැදූ ආහාර වර්ග ගණනාවක ඡායාරූපද එම පුවරුවට ඇතුළත් කර තිබේ.
බනිස්, රෝල්ස් සහ පේස්ට්‍රි ඇතුලු කෑම වර්ග සාදන්නේ පාන් පිටිවලින් බව කවුරුත් දන්නා කරුණකි. වත්මන් සමාජය හුරු වී සිටින ජීවන රටාවන්ට අනුව මෙම කෙටි කෑම වර්ග නැතිවම බැරි වී ඇති අතර ඕනෑම ආපන ශාලාවක ඒවා විකිණීමට තබා ඇති බවද තවත් සත්‍යයකි. ගොවිජන සේවා ආපන ශාලාවට වුවද මේ තත්වය බැහැර කිරීමට නොහැකි බවත් එහි පැවැත්ම වෙනුවෙන් පාන් පිටි කෑම වර්ග විකිණීම අනිවාර්ය වී ඇති බවද අකමැත්තෙන් වුවද අප පිළිගනිමු.
එසේ නම් වරද ඇත්තේ පාන් පිටි ආහාර ප්‍රවර්ධනය කෙරෙන මෙම පුවරුවේය. අදාළ පුවරුව සවි වී ඇත්තේ දවසකට දෙනෝදාහක් එයා මෙහා ගමන් කරන ප්‍රධාන මාර්ගයක් අයිනේය. එම පුවරුවට අඩි කිහිපයක් එහායින් සවි කර රාජ්‍ය ලාංඡනය සහිතව සවි කර ඇති තවත් පුවරුවක සදහන් වන්නේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලය යනුවෙනි. රුපියල් විස්සක් දී පාන් පිටි ගිලින්නට ප්‍රසිද්ධියේ අඩගැසීම ඇමරිකානු තිරිගු ගොවියා පොහොසත් කිරීමක් බවත්, එය මෙරට ගොවීන් නගා සිටුවීමේ අරමුණ පෙරදැරිව ස්ථාපනය කර ඇති ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට නොගැලපෙන කාරියක්බ වත් අප කියන්නේ එහෙයිනි.