වෙන්නප්පුව, දුම්මලදෙණිය ප්රදේශයේ නිවසක ඇති දැඩි කළ එළදෙනක් නිවැසියන් විසින් දිගේලි කර සිටි ස්ථානයේම ඝාතනය කළ මිනිස් තිරිසනුන් පිරිසක් ගව මස්ද රැගෙන අද ( 05දා) අලුයම පලා ගොස් තිබේ.
මස් ලබාගැනීම පිණිස මෙලෙස අකාලයේ ඝාතනය කර ඇත්තේ දුම්මලදෙණිය, රෙජිස්ටාර් මාවතේ පිහිටි අයි. එස්. දසනායක මහතා විසින් සිය නිවසේ පවත්වාගෙන යන සත්ව ගොවිපළක සිටි නිරෝගී එළදෙනකි.
මෙම එළදෙන මීට සතියකට පමණ පෙර පැටවෙකු බිහිකළ කිරි එළදෙනක් බවත්, අද අලුයම 1 ත් 3 ත් අතර කාලයේදී මෙම සත්වයා අමානුෂික අන්දමින් මරා දමා සිරුරේ මස් රැගෙන පලාගොස් ඇති බවට දසනායක මහතා විසින් වෙන්නප්පුව පොලිසිය වෙත පැමිණිලි කර තින්බේ. එළදෙනගේ මස් රැගෙන ගොස් ඇති මෙම තිරිසනුන් විසින් අතුණු බහන්, ඇට කටු ආදී සිරුරු කොටස් ගෙවත්තේ දමා ගොස් තිබූ අයුරු එහි ගිය අපට දැකගත හැකි විය.