Wednesday, November 27, 2024

කැප්පිටිගල මහ පාරේ පිච්චුණු යතුරු පැදිය පාහර බේබද්දෙකුගේ තකතීරු වැඩක් !

Must read

අධික ලෙස බීමත්ව තමාගේම යතුරු පැදිය මහමගදී ගිනි තබා විනාශ කිරීමෙන් මහජන නොසන්සුන්තාවයක් ඇති කළ බවට සැකපිට පිහිඹුව ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු රිදීගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කැප්පිටිගල – අංකුඹුර මාර්ගයේ කොටගෙදර හන්දිය ආසන්නයේදී ගිනිබත් කර තිබූ යතුරු පැදියක් ප‍්‍රදේශවාසීන් විසින් පසුගිය 16 වැනිදා පස්වරුවේ සොයාගනු ලැබූහ. සොයාගන්නා අවස්ථාව වනවිටත් එම යතුරු පැදිය ගිනිගනිමින් තිබී ඇති අතර, එහි අයිතිකරුවෙකු පිළිබදව කිසිදු හෝඩුවාවක් නොවීම නිසා ප‍්‍රදේශවාසීන් යම් නොසන්සුන්තාවයකටද පත් වී තිබේ. පසුව ප‍්‍රදේශවාසීන් විසින් පොලිස් හදිසි ඇමැතුම් අංකවලට ඒ පිළිබදව කළ දැනුම්දීමකට අනුව එහි පැමිණි රිදීගම පොලිසියේ නිලධාරීන් විසින් එම යතුරු පැදියේ අයිතිකරු සොයා පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ගිනිගත් ස්ථානයේ වැටී තිබූ යතුරුපැදියේ නොම්මර තහඩුවට අනුව පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය එය දකුණු පළාතේ අකුරැස්ස ප‍්‍රදේශයේ පුද්ගලයෙකුගේ නමට ලියාපදිංචි කර ඇති එකක් බව අනාවරණය කරගෙන තිබේ. ඒ ඔස්සේ කළ පරීක්ෂණවලදී යතුරුපැදියේ ලියාපදිංචි අයිතිකරු විසින් අදාළ යතුරු පැදිය පිහිඹුව ප‍්‍රදේශයේ වාසය කරන තම සොහොයුරාගේ පාවිච්චිය පිණිස ලබා දී ඇති බව අනාවරණය කරගෙන ඇත.

එම තොරතුරුවලට අනුව පිහිඹුව ප‍්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. එම්. ධනසිංහ නැමති 43 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඔහුගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී තමන් විසින් බීමතින් යතුරුපැදිය ගිනි තැබූ බවට පාපොච්චාරණය කර තිබේ. සැකකරුගේ බිරිදගෙන් කළ ප‍්‍රශ්නකිරීම්වලදී මත්පැන්වලට තදින්ම ඇබ්බැහි වී සිටින තම සැමියාගේ වදහිංසාවලට තමන් නිරන්තරයෙන් ලක්වන බවටත්, පසුගිය 16 වැනිදාත් සැමියා බීමත්ව නිවසට පැමිණි අවස්ථාවේදී නිවසට පැමිණි සිටි ඥාතීන් පිරිසක් සමග ආරවුලක් ඇතිකරගත් බවටත් පොලිසියට ප‍්‍රකාශයක් ලබා දී තිබේ. එහිදී නිවසේ තිබූ රූපවාහිනී යන්ත‍්‍රය සහ ගුවන් විදුලි යන්ත‍්‍රයද පොළවේ ගසා විනාශ කර තමන්ටද පහර දුන් සැමියා යතුරු පැදියේ නැගී නිවසින් පිටවී ගිය බවද සැකකරුගේ බිරිද විසින් ප‍්‍රකාශ කර තිබේ. නිවසින් පිටවූ සැකකාර පුද්ගලයා කොටගෙදර හන්දිය ආසන්නයේදී යතුරු පැදිය නවතා දුම්වැටියක් දල්වාගැනීමෙන් පසුව ගිනිකූර බිමට දමා ඇති බවත්, එහිදී යතුරු පැදියේ ඉන්ධන කාන්දුවක් තිබූ ස්ථානයකට එම ගිනිකූර වැටීම නිසා යතුරු පැදිය ගිනිගෙන ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. වෙරිමත හේතුවෙන් යතුරුපැදිය ගිනිගන්නා බව නොදැන සැකකරු යතුරු පැදියෙහි වාඩි වී සිටි ඇති බවත්, පසුව මාර්ගයේ පැමිණි පුද්ගලයින් විසින් දෙදෙනෙකු විසින් යතුරු පැදිය ගිනිගන්නා බව දැන්වීමෙන් පසුව විමතියට පත් සැකකරු ගිනිගන්නා යතුරු පැදිය එම ස්ථානයේ දමා පළා ගොස් ඇති බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු රම්බඩගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. රිදීගම පොලිසියේ ස්ථානාධිපති , පොලිස් පරීක්ෂක එච්. එම්. එච්. ජයතිලක මහතාගේ උපදෙස් මත එහි අපරාධ අංශයේ ස්ථානාධිපති ඒ. ඩී. යූ. කේ. ගුණතිලක මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක ගුණරත්න බණ්ඩාර, පොලිස් සැරයන් චන්දන (46773 ) සහ පොලිස් කොස්තාපල් විජේසිංහ (34034) යන නිලධාරීහු විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළහ.

මහමග ගිනිබත් කර තිබූ යතුරු පැදිය.

kappitigala_bike_1 kappitigala_bike_4

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article