Saturday, November 23, 2024

එළුවන්කුලම සපත්තු පාලමේ පිපිරීමක් – කඩිනමින් වැළි කොට්ට දැමීමට උපදෙස්

Must read

02(6) එළුවන්කුලම සපත්තු පාලම පිපිරීමක් හේතුවෙන් ජලය කාන්දු වීමට පටන් ගෙන ඇත.  එළුවන්කුලම සපත්තු පාලම ආරක්ෂා කර ගැනීම සඳහා කඩිනමින් වැළි කොට්ට යෙදීමට කටයුතු කරන ලෙස  පසුගිය 10 වැනිදා සවස එම ස්ථානයේ සිදු කරන ලද නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව   පුත්තලම දිසා ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.සපත්තු පාලම පුපුරා ආපදාවන ලක්වීමට මෙම හේතු ඉවහල් විය හැකි බව වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මතය වී ඇත.කෙසේ වෙතත් මේ වන විට එම පාලම මතින් කිසිදු වාහනයකට ගමන් කිරීමට නොහැකි වන ලෙස අවහිර කර ඇත.

මෙම සපත්තු පාලම පුත්තලම පරණ මන්නාරම මාර්ගයේ එළුවන්කුලම ප්‍රදේශයේ කලාඔය හරහා ඉදි කර ඇත.
විල්පත්තුව හරහා වැටී ඇති මෙම මාර්ගය ඔස්සේ පසුගිය කාලය තුළ වාහන විශාල ප්‍රමාණයක් ගමන් කරන්නට විය.
ඊට හේතුව වී ඇත්තේ පුත්තලමේ සිට මන්නාරම දක්වා ඇති කෙටි මාර්ගය මෙය වීම සහ විල්පත්තුව ජාතික වනෝද්‍යානය නැරඹීම සදහා ඇතුළු වීමට පිවිසුම් දොරටුවක් මෙම සපත්තු පාලම ආසන්නයේ ස්ථාපනය කර තිබීමය. පසුගිය කාලය තුළ සෑම වැසි සමයකදීම රාජාංගනය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග මෙම සපත්තු පාලම මතින් අඩි 07 කඩ වටා වැඩි ජලයක් ගලා යයි.

පුත්තලම නගරයට අවශ්‍ය ජලය ලබා ගැනීම සදහා ස්ථාපනය කර ඇති ජල යෝජනා ක්‍රමය සදහා අවශ්‍ය ජලය ලබා ගන්නේද මෙම ස්ථානයේ සිදු කර ඇති හරස් කිරීමක් තුළිනි.පවතින ජල කාන්දුව හේතුවෙන් මේ වන විට ජල යෝජනා ක්‍රමයට අවශ්‍ය ජලය ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත. දැනට එක් රැස් කර ඇති ජලය ලබන 12 වැනිදා වන විට අවසන් වීමට ඉඩ තිබෙන බව ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් සදහන් කරයි.01(9)

මෙම තත්ත්වයට කඩිනම් විසදුමක් ලබා දීමට නම් ජලය කාන්දු වන ස්ථානයට වැලි කොට්ට යෙදීම සිදු කළ යුතු බව අදාල නිලධාරීන් විසින් නිර්දේශ කර ඇත.එසේ නොමැති වුවහොත් ජල කාන්දුව වැඩි වී සපත්තු පාලමට අනතුරක් වීඩ ඇති බවද එම නිලධාරීන්ගේ මතය වී ඇත.

ඒ අනුව කඩිනමින් මෙම ස්ථානයට වැලි කොට්ට යෙදීමට කටයුතු කරන ලෙස දිසා ලේකම්වරයා අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.වැලි කොට්ට යෙදීම වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ සහ ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ පුත්තලම යුධ හමුදා කදවුරේ නිලධාරීන් විසින් සිදු කිරීමට නියමිතව ඇත.

මෙම නිරීක්ෂණ චාරිකාව සදහා වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ,143 වැනි බල සේනාවේ අණ දෙන නිලධාරී බ්‍රිගේඩියර් ධම්මික දිසානායක,පුත්තලම වාරි මාර්ග ඉංජිනේරු දිලීප හෙට්ටිආරච්චි යන මහත්වරුන්ද එක්ව සිටියේය.

 


සටහන සහ ඡායා – ජූඩ් සමන්ත

 

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article