හෙට දිනයේදී (12 දා ) විදේශ රැකියාවක් සදහා ඊජිප්තුව බලා පිටත්වීමට සිටි අයෙකු බෝලවත්ත, කම්මල වෙරළ තීරයේදී මුහුදේ දිය නෑමට ගොස් සිටියදී අතුරුදහන් වි ඇති බව වෙන්නප්පුව පොලිසිය කියයි.
මුහුදේ ගිලීමෙන් මෙලෙස අතුරුදහන් වි ඇත්තේ බුත්ගමුව, අංගොඩ ප්රදේශයේ පදිංචි ජයවර්ධන කම්කානම්ලාගේ නලින්ද සම්පත් නැමති 31 හැවිරිදි එක්දරු පියෙකි.
තම පවුලේ සියලුදෙනා සමග ඊජිප්තුවේ රැකියාවක් සදහා පිටත් වී යාමට නියමිතව සිටි මෙම පුද්ගලයා රට රැකියාවට පිටත් වී යන තෙක් කටුකෙන්ද ප්රදේශයේ ඥාති නිවසක නැවති සිට තිබේ.
ඊයේ (10 දා) මෙම පුද්ගලයා විසින් සිය මිතුරන් පිරිසකට සමුදීමේ සාදයක් පවත්වා ඇති අතර සාදයෙන් අනතුරුව මිතුරන් තිදෙනෙකු සමග කම්මල මුහුදු තීරයේ නාමින් සිටියදී දියේ ගිලී අතුරුදන් වී ඇති බව පොලිසිය කියයි.
ගිං ඔය මුහුදට වැටෙන සුනාමි මෝයකට ආසන්නයේ මුහුද මේ දිනවලදී දැඩි අනතුරුදායක තත්වයක පවතින බවත් ,තරුණයන් පිරිස එම අනතුරුදායක තත්වය ගැන අවබෝධයක් නොමැතිව මුහුදට බැසීම නිසා මෙම අනතුර සිදුවන්නට ඇති බව පොලිසිය සැකකරයි.
අතුරුදන් වූ පුද්ගලයා සොයා ප්රදේශයේ ධිවරයන් විසින් ඊයේ රාත්රිය වන තුරුම මුහුද පරීක්ෂාවට ලක් කළ නමුත් මළ සිරුර සොයාගත නොහැකි වු බවද පොලිසිය කියයි.