Saturday, January 18, 2025

ඇරගන්න පෙර දැනගන්න !

Must read

poargiveවිවිධ පුද්ගලයින් විසින් රථවාහන රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන් සමග බහින්බස් වෙමින් , ආරවුල් ඇතිකර ගන්නා අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දර්ශණ ගණනාවක් මේ වනවිට ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ හුවමාරු වෙමින් තිබේ. ඊට අමතරව රථවාහන පොලිසිය, රියදුරන් සමග කටයුතු කළ යුතු ආකාරය දැක්වෙන ලිපි සහ අදහස් ගණනාවක්ද ෆේස්බුක් වෙබ් අඩවියට ඇතුළත් කර ති‍බේ. එම ලිපිවල අන්තර්ගත වී ඇති ඇතැම් නීති තර්ක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකිදැයි සහ ඒවා කෙතරම් දුරට නිවැරදිදැයි යන ගැටඵවද මේ වන විට සමාජය තුළින් මතු වී තිබේ. එබැවින් පහත දැක්වෙන්නේ ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ හුවමාරු වෙමින් පවතින සහ සමාජය තුළ ප්‍රචලිතව පවතින ජනප්‍රිය දුර්මත කිහිපයක් පිළිබදව පොලිස් දෙපාර්තුමේන්තුව විසින් කළ කරුණු පැහැදිලි කිරීමකි.

1. තනිව රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරියෙකුට ධාවනය වෙමින් පවතින රථයක් නැවැත්විය නොහැක. එවැනි අවස්ථාවක රථය නොනවත්වා ධාවනය කිරීමට රියදුරාට හැකියාව තිබේ.
මෝටර් රථ ආඥා පනතේ 162 වැනි වගන්තිය යටතේ මෙය සාවද්‍ය ප්‍රකාශයකි. ඕනෑම රියදුරෙකු පොලිස් නිලධාරියෙකු විසින් දෙන වාචික හෝ දෘෂ්‍ය උපදෙස් පිළිපැදිය යුතු අතර එම උපදෙස් අනුව නැවැත්වීම, පසුපසට ගෙන ඒම, වේගය අඩු කිරීම, ආපසු හැරවීම, මංතීරුවක් තුල සිටීම කලයුතුයි.

2. තනි පොලිස් නිලධාරියෙකුට ඔබේ රියදුරු බලපත්‍රය ලබාගත නොහැක.
මෝටර් රථ ආඥා පනතේ 135(1) වැනි වගන්තිය අනුව තනිව රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරියෙකුට රියදුරු බලපත්‍රයක් ලබා ගත හැකි අතර රියදුරන් එය ලබා දීමට බැඳී සිටිති.

3. ඔබෙ ජාතික හැඳුනුම්පත හැර වෙනත් ලේඛණයක් ඉල්ලා සිටිය හැක්කේ රථවාහන පොලිස් නිලධාරියෙකුට පමණි.
මෙවන් බෙදීමක් නැති අතර නිල ඇඳුමින් සිටින ඕනෑම පොලිස් නිලධාරියෙකුට ඔබේ හැඳුනුම් පත හෝ වෙනත් ඕනෑම ලියැවිල්ලක් පරික්ෂාකල හැක. පොලිසිය අපරාධ, රථවාහන අංශ ලෙස
බෙදා වෙන් කර ඇත්තේ පරිපාලනයෙහි ඇති පහසුව සඳහා පමණි.

4. තනි පොලිස් නිලධාරියෙකුට ඔබට නඩු දැමිය නොහැක. එබැවින් සාක්ෂි සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සෑම විටම සිටිය යුතුය.
මෙය දුර්මතයක් පමණක් වන අතර රථවාහන ආඥා පණතේ 162 වැනි වගන්තිය අනුව මේ ප්‍රකාශන සාවද්‍ය වේ. රියදුරෙකු විසින් කරනු ලබන වැරදි සම්බන්ධයෙන් තනිව රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරියෙකුට ඕනෑම අවස්ථාවක නඩු පැවරිය හැකිය.

5. පොලිසිය සාමය රකින ආයතනයක් වන අතර සන්නද්ධ හමුදාවක් නොවේ. එබැවින් ඔවුනට ගිණි අවියක් ඔබ වෙත එල්ල කළ නොහැක.
2010 මාර්තු 28 දිනැති චක්‍රලේඛනය අනුව නීතිය හා සාමය සුරැකීම සඳහා කොන්දේසි සහිතව ගිණි අවි භාවිතා කිරීම සදහා පොලිස් නිලධාරීන්ට පූර්ණ අවසරය ලබා දී තිබේ.

6. ඔබ මත්පැන් බී ඇති බවට පොලිස් නිලධාරියෙකු පැවසුවහොත්, බැලූන් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටීමට ඔබට අයිතිය ඇත. එම නිලධාරීන් සතුව අදාළ උපකරණ නොමැතිනම් ඔබට එතැනින් පිට වී යා හැකිය.
මෝටර් රථආඥා පණතේ විධි විධාන අනුව මත්පැන් පානය කර ඇති බවට සැක කරන රියදුරෙකු තමා භාරයට ගෙන ස්වසන පරික්ෂාවක් (balloon test) හෝ ඒ විගසම රජයේ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමට පොලිසියට බලය ඇත.

7. ගමන් කරන රථයක් නැවැත්විය හැක්කේ රථ වාහන අංශයේ පොලිස් නිලධාරියෙකුට පමණි.
මේ සාවද්‍ය ප්‍රකාශයක් වන අතර ඕනෑම පොලිස් නිලධාරියෙකුට වාහනයක් නැවැත්වීම සදහා නීත්‍යානුකුල බලයක් ඇත.

8. ඔබ කල වරද සහ ඊට අදාල නීති සංග්‍රහය පවසන තුරු පොලිසියට ඔබේ රියදුරු බලපත්‍රය ලබා දිය යුතු නොවේ.
ඔබට වලංගු රියදුරු බලපත්‍රයක් තිබේ දැයි පරික්ෂාකිරීමට පොලිස් නිලධාරියෙකුට අයිතිය ඇත. මෝටර් රථ ආඥා පණතේ 135 වැනි වගන්තිය අනුව ඕනෑම රියදුරෙකු තමා ළඟ හෝ රථය තුළ ‍රියදුරු බලපත්‍රය තබාගැනීම අනිවාර්යවේ. පොලිස් නිලධාරියෙකු විසින් පරික්ෂාවක් සඳහා විමසූ විට අදාල රියදුරු බලපත්‍රය ලබාදීමට රියදුරන් බැදී සිටිති.

9. ඔබේ රියදුරු බලපත්‍රය බලෙන් තබාගැනීමකදී ප්‍රදේශ බාර පොලිස් පරික්ෂකතුමා හෝ නියොජ්‍ය පොලිස් අධිකාරිතුමාට පැමිණිලි කර එය ලබාගත් නිලධාරියාට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගත හැක.
මාර්ග නීති කඩ කිරීමක් සඳහා පරික්ෂාවට ගත් රියදුරු බලපත්‍රයක් තම භාරයට ලබා ගැනීමට පොලිස් නිලධාරියාට හැකියාව ඇත. එවන් අවස්ථාවකදී කොන්දේසි සහිතව තාවකාලික බලපත්‍රයක් නිකුත් කරනු ලැබේ.

10. අධික වේගය සඳහා දඬුවම් කරන අවස්ථාවකදී, වේග පරික්ෂා උපකරණයේ දත්ත සටහන ඉල්ලා සිටීමට අයිතියක් ඇත. තවද මෙම උපකරණ බොහොමයක් ක්‍රියා විරහිතව ඇති අතර පොලිස් නිලධාරින් අනුමානයෙන් දඩ නිකුත් කරනු ලැබේ.
මෙය නිවැරදි අදහසක් නොවන අතර අපරික්ෂාකාරි ධාවනය යටතේ නීතිය අනුව කටයුතු කිරීමට පොලිස් නිලධාරියෙකුට බලය ඇත.

(කුරුණෑගල පොලිස් ස්ථානයේ ‍‍ෆේස්බුක් පිටුව ඇසුරෙනි. )

ඡායාරූපය

ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. අයි. පී. ‍ප්‍රේමතිලක මහතා සහ කුරුණෑගල නගරයේ උද්ඝෝෂණයක යෙදී සිටි ගුරු සංගම් නියෝජිතයින් පිරිසක් අතර මීට කලෙකට පෙර ඇති වූ උණුසුම් වචන හුවමාරුවක අවස්ථාවක් ලිපියට යොදාගෙන ඇති ඉහත ඡායාරූපයෙන් දැක්වෙයි. වයඹ ටුඩේ වෙබ් අඩවිය සතු මෙම පුස්තකාල ඡායාරූපයක් වන මෙය ලිපියේ මාතෘකාව වඩාත් අර්ථවත් කිරීමේ අරමුණින් භාවිතා කර ඇති එකක් බවත්, අදාළ ඡායාරූපයේ සිටින පුද්ගලයින් සහ ලිපියේ අදහස් අතර සෘජු සම්බන්ධයක් නොමැති බවත් කරුණාවෙන් සලකන්න.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article