Saturday, November 23, 2024

ආණ්ඩුකාර පියසීලී ගෙදර යවන ලියැවිල්ලට මන්ත්‍රීවරු හෙට අත්සන් තබති. ????

Must read

 

වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක මහත්මියට එරෙහිව ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් විසින් ගෙනඒමට නියමිත දෝෂාභියෝග යෝජනාවට හෙට දිනයේදී  (20 දා) අත්සන් තැබීමෙන් අනතුරුව අදාල යෝජනාව පළාත් සභාවේ න්‍යාය පත‍්‍රයට ඇතුළත් කිරිම සදහා  සභාපති ධර්මසිරි දසනායක මහතා වෙත භාරදීමට නියමිතය.

ස්ත‍්‍රී  දූෂණ චෝදනාවක් මත සේවයෙන් නෙරපා හැර සිටි පුත්තලම, විල්පොත අනුර විද්‍යාලයේ සේවය කළ ශාරීරික අධ්‍යාපන විෂය පිළිබද ගුරුවරයෙකු යළි සේවයේ පිහිටුවන ලෙසට ආණ්ඩුකාර අමරා පියසීලී මහත්මිය විසින් ලබාදී ඇති බව කියන නියෝගයක් මෙම විශ්වාසභංග යෝජනාව ගෙනඒමට මුල් වී තිබේ.

මෙම දෝෂාභියෝග චෝදනාවට අත්සන් තැබීම සදහා වයඹ පලාත් සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලූ මන්ත‍්‍රීවරුන් අද දිනයේ වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය කාර්යාලය වෙත කැදවා ඇති අතර අදාළ යෝජනාවට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් 34 දෙනාම අත්සන් තැබීමට නියමිත බව වයඹ ටුඩේ වෙබ් අඩවිය වෙත වාර්තා වෙයි.

පළාත් ආණ්ඩුකාරවරයෙකු ධූරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පනවා ඇති විධිවිධානවලට අනුව එහි 154 (ආ) 4 වැනි වගන්තියේ 2 වැනි අවස්ථාව වන බලය අයුතු ලෙස පාවිච්චිකිරීම හෝ දූෂණ චෝදනා යටතේ  ආණ්ඩුකාර අමරා පියසීලී මහත්මියට එරෙහිව දෝෂාභියෝග යෝජනාව කෙටුම්පත්කර ඇති බවද වෙත වාර්තා වෙයි.

වයඹ පළාත් හිටපු ආණ්ඩුකාර තිස්ස ආර් බල්ලල මහතා විසින් නිශ්ප‍්‍රභ කරන ලද අභියාචනාවක් වෙනස් කරමින් දූෂණ චෝදනා සහිත ගුරුවරයෙකු යළි සේවයේ පිහිටුවීමෙන්, පෙර ආණ්ඩුකාරවරයෙකු විසින් ලබා දුන් නියෝගයක් තවත් ආණ්ඩුකාරවරයෙකුට වෙනස් කළ නොහැකි ලෙසට සහ එක් සිදුවීමක් සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකුට ආණ්ඩුකාරවරයෙකු වෙත අභියාචනා කළ හැක්කේ එක් වතාවක් පමණක් බවට පැනවී ඇති විධිවිධාන වත්මන් ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක මහත්මිය විසින් හිතාමතාම කඩකර ඇතැයිද, එම`ගින් ආණ්ඩුකාරවරිය විසින් ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව චේතනාන්විතව උල්ලංඝණය කර ඇති බවටත් විෂමාචාර චෝදනා නගමින් පියසීලී මහත්මියට එරෙහිව ඉදිරිපත් කරනු ලබන අදාළ දෝෂාභියෝග යෝජනාව කෙටුම්පත් කිරීම අද (19 දා) පස්වරුව වන විට අවසන් කළ බවද වැඩිදුරටත් වාර්තා විය.

ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 154 (ආ)  4 වැනි වගන්තියට අනුව, යම් පළාත් සභාවක ආණ්ඩුකාරවරයෙකුට එරෙහිව ඉදිරිපත් කරනු ලබන දෝෂාභියෝග චෝදනාවක් ,එම පළාත් සභාවේ මන්ත‍්‍රී සංයුතියෙන් මන්ත‍්‍රීවරුන් දෙකෙන් එකකගේ ( 1/2 ) අත්සන් සහිතව  සභා න්‍යාය පත‍්‍රයට ඇතුළත්කරන ලෙස ඉල්ලමින් එහි සභාපතිවරයාට භාරදිය හැකිය.

එසේම එම දෝෂාභියෝග යෝජනාව සම්මත කිරීම සදහා , නොපැමිණි මන්ත‍්‍රීවරුන්ද සහිතව , අදාළ පළාත් සභාවේ මන්ත‍්‍රී සංයුතියෙන් තුනෙන් දෙකකගේ (2/3)  බහුතර අනුමැතියකින් සම්මත විය යුතු බවද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 154 (ආ)  4 වැනි වගන්තියෙහි වැඩිදුරටත් දැක්වෙයි.

වයඹ පළාත් සභාවේ තුනෙන් දෙකක බලයක් සහිත බහුතර බලය හිමිව ඇත්තේ එහි ආණ්ඩු පක්ෂය ලෙස කටයුතු කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයට වන බැවින් ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක මහත්මියට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් සභාවට ඉදිරිපත් වුවහොත් එය බහුතර ඡුන්දයෙන් සම්මතවීම සදහා වැඩි ඉඩකඩක් පවතී. වත්මන් වයඹ පළාත් සභාවේ සංයුතිය පවතින්නේ ආණ්ඩු පක්ෂයට මන්ත‍්‍රීධූර 34 ක් සහ විපක්ෂයට මන්ත‍්‍රීධූර 17 ක් වශයෙනි. වයඹ පළාත් සභාව , සභාපතිවරයා හැර මන්ත‍්‍රීවරුන්ගෙන් 51 දෙනෙකුගෙන් සමන්විත වන අතර එහි තුනෙන් දෙකේ බලයකින් යම් යෝජනාවක් සම්මත කිරීම  සදහා අවශ්‍යවන්නේ  මන්ත‍්‍රීවරුන් 34 දෙනෙකුගේ ඡන්ද පමණකි.

වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් විසින් සභාපති ධර්මසිරි දසනායක මහතා වෙත හෙට භාරදෙනු ලබන දෝෂාභියෝග යෝජනාව අපේ‍්‍රල් මස 07 වැනිදා පැවැත්වෙන මීළග වයඹ පළාත් සභා රැස්වීමේ න්‍යාය පත‍්‍රයට ඇතුළත්වීමට නියමිතය.

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article