පුත්තලම – කල්පිටිය මාර්ගයේ, සේතපොල ප්රදේශයේදී මෝටර් රථයක් සහ ත්රිරෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් ඊයේ
පුත්තලම – කල්පිටිය මාර්ගයේ, සේතපොල ප්රදේශයේදී මෝටර් රථයක් සහ ත්රිරෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් ඊයේ (29 දා) රාත්රියේ සිදු වූ අනතුරකින් එක් අයෙකු මිය ගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බව පුත්තලම පොලිසිය කියයි.
ඊයේ රාත්රී 9. 10 පමණ සිදු වූ මෙම අනතුරෙන් බරපතල ලෙස තුවාල ලැබීම නිසා ජීවිතක්ෂයට පත්වූයේ හේරත් මුදියන්සේලාගේ ඇන්ටනී රෝයි නැමැති අයෙකි. ඔහු නාවක්කඩු ප්රදේශයේ පදිංචිකරුවෙකු බව පැවසේ.
ත්රිරෝද රථය තුළ ගමන්කරමින් සිටියදී මෙම අනතුරින් තුවාල ලැබූ වයස අවුරුදු එක හමාරක සහ වයස අවුරුදු 4 ක කුඩා දරුවන් දෙදෙනකු ඇතුළු තවත් සිව්දෙනෙකු පුත්තලම මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව එක් වැඩිහිටි පුද්ගලයෙකු බරපතල තත්වයෙන් පසුවීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට මාරු කර යවනු ලැබීය.
කල්පිටිය දෙසින් පැමිණි මෝටර් රථය ,පුත්තලම සිට කල්පිටිය දෙසට ධාවනය වෙමින් පැවැති ත්රිරෝද රථයෙහි මුහුණට මුහුණ වැදුණු බවත් , ත්රිරෝද රථය යට කරගෙනම මීටර් කිහිපයක් ඉදිරියට ධාවනය වූ සිද්ධිය ඇසින් දුටුවෝ කියති. මාර්ගයෙන් පිටතට පැන තිබූ මෝටර් රථය අසල පිහිටි නිවසක ගේට්ටුවද කඩාගෙන ගොස් නැවතී තිබූ අයුරු දැක ගත හැකි විය.
මෝටර් රථ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය සහ ඔහුට සිය රථයෙහි වේගය පාලනය කරගත නොහැකිවීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මෙම අනතුර සිදුකිරීමෙන් පසුව මෝටර් රථය රියදුරා ප්රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සදහා පුත්තලම පොලීසියේ රථවාහන අංශය මේ වන විට පුඵල් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
පුත්තලම – නලින් හෙන්දුරුගොඩ