Sunday, January 19, 2025

PHI ට පාට් දැමූ කතකට හයදාහක් දඩ.

Must read

phiමදුරුවන් බෝ වන ස්ථාන සහිත අපිරිසිදු ගෙවත්තක් පවත්වාගෙන යන බවට ලැබී තිබූ පැමිණිල්ලක් විභාගකිරීමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ රාජකාරියට බාධා කළ කාන්තාවකට රුපියල් හය දහසක දඩ මුදලක් ගෙවන ලෙසට නියෝග කළ කුරුණෑගල අතිරේක මහේස්ත‍්‍රාත් චාමර වික‍්‍රමනායක මහතා මින් ඉදිරියට එවැනි බාධාකිරීම් සිදු කළහොත් සිර දඩුවම් නියම කරන බවට තරයේ අවවාද කළේය.

මෙලෙස දඩ මුදල් නියම කෙරුණේ කුරුණෑගල, මීගමු පාර, බමුණාවල ප‍්‍රදේශයේ පදිංචි මොනිකා අබේරත්න නැමැති කාන්තාවකටය.

1897 අංක 03 දරණ රෝග ස්පර්ෂකයින් වෙන්කර තැබීමේ සහ රෝග වැළැක්වීමේ ආඥාපනත යටතේ කුරුණෑගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් විත්තිකාර කාන්තාවට එරෙහිව නඩු පවරා තිබිණි. පැමිණිල්ල මෙහෙයවමින් අධිකරණය හමුවේ කරුණු දැක් වූ බමුණාවල මහජන සෞඛ්‍ය පරීක්ෂක මංජුල අමරවික‍්‍රම මහතා, මෙම කාන්තාවගේ ගෙවත්ත දැඩි අපිරිසිදු තත්වයෙන් පවතින බවට යාබද නිවෙස් හිමියන් විසින් කර තිබූ පැමිණිල්ලක් විභාග කිරීම සදහා තමන් එහි ගිය බවටත්, එහිදී එම ගෙවත්ත තුළ තිබූ මදුරුවන් බෝවන ස්ථාන ගණනාවක් තමාට නිරීක්ෂණය වූ බවත් පැවසීය. එමෙන්ම විත්තිකාර කාන්තාවගේ නිවසේ වැසිකිළියෙන් බැහැරකරන වැසිකිළි අපද්‍රව්‍ය බාහිර පරිසරයට මුදාහරිමින් පවතින අයුරුද එහිදී දැකගත හැකි වූ බවත්, ඒ පිළිබද වැඩිදුර පරීක්ෂා කිරීමට අදාළ ගෙවත්තට පිවිසීමට උත්සාහ කළ අවස්ථාවේදී සැකකාර කාන්තාව ඊට ඉඩ නොදී තම රාජකාරියට දිගින් දිගටම බාධා කළ බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

විත්තිකාර කාන්තාව සිය අනන්‍යතාවය හෙළිකිරීම පවා දැඩි ලෙස ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරිවරයා හරහා ලබා ගත් තොරතුරුවලට අනුව බලයලත් නිලධාරියාගේ රාජකාරියට බාධාකිරීමේ චෝදනාව යටතේ සැකකාර කාන්තාවට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරූ බවද අමරවික‍්‍රම මහතා වැඩිදුරටත් කීය.

කුරුණෑගල ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය අශෝක පද්මකුමාර මහතාගේ උපදෙස් මත, බමුණාවල මහජන සෞඛ්‍ය පරීක්ෂක මංජුල අමරවික‍්‍රම මහතා විසින් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

(ඉහත දැක්වෙන ඡායාරූපය මෙම සිදුවීමට කිසිසේත්ම අදාළ ඡායාරූපයක් නොවන අතර ප්‍රවෘත්තිය අර්ථවත් කිරීමේ අරමුණින් යොදාගෙන ඇති අන්තර්ජාල ඡායාරූපයක් බව කරුණාවෙන් සලකන්න )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article