ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසම විසින් එහි සේවකයින් වෙත බෙදා දී ඇති බව කියන රිදීගම, කුඩා ඔය ආසන්නයේ පිහිටි ඉඩමකට අයත් බිම් කැබැලි, ඒවා ලබාගත් පිරිස් විසින් පිටස්තර පුද්ගලයින්ට අලෙවි කරමින් සිටින බව වයඹ පළාත් සභා මන්ත‍්‍රී එම්. එස්. පෙරේරා මහතා පසුගියදා පැවැති රිදීගම ප‍්‍රාදේශිය සංවර්ධන කමිටු රැස්වීමේදී චෝදනා කළේය.
ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසමේ වසර විස්සකට වැඩි කාලයක් සේවය කළ සේවක පිරිසක් අතර, පර්චස් 20 බැගින් වූ බිම් කොටස් අසූවකට ආසන්න ප‍්‍රමාණයක් මෙලෙස බෙදා දී ඇති බව හෙතෙම පැවැසීය. මෙම ඉඩම් ලබාගත් සේවකයින්ගෙන් සිව් දෙනෙකු හැර සෙසු ඉඩම්ලාභීන් සියලුදෙනා හම්බන්තොට, මාතර සහ ගාල්ල ප‍්‍රදේශවල පදිංචිකරුවන් වන බවද මන්ත‍්‍රීවරයා පැවැසීය. මෙම ඉඩම් බෙදාදීම පිළිබදව දිස්ත‍්‍රික් ලේකම්වරයා, ප‍්‍රාදේශීය ලේකම්වරයා හෝ වෙනත් කිසිදු රාජ්‍ය නිලධාරියෙකු දැනුවත් කර නැති බවත්, ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසමේ තනි මතයට අනුව අදාල බිම් කොටස් එහි සේවකයින් වෙත ඔප්පුවලින් පවරා දී ඇති බවත් හෙතෙම පැවැසීය. එලෙස ඉඩම් ලබාගත් පුද්ගලයින් විසින් එම බිම් කැබැලි, රුපියල් ලක්ෂ 20 සිට 25 දක්වා වූ ඉහළ මිල ගණන්වලට පිටස්තර පුද්ගලයින් වෙත මේ වනවිට අලෙවිකරමින් සිටින බව පැවැසීය. ඉඩමක් කට්ටි කිරීමේදී පොදු කටයුතු සදහා ප‍්‍රදේශයේ පළාත් පාලන ආයතනය වෙනුවෙන් බිම් කොටසක් නිදහස් යුතු වුවත් මෙලෙස කට්ටි කර බෙදා දී ඇති ඉඩමේ එවැනි පොදු කොටසක් වෙන්කර ඇතිදැයි රිදීගම ප‍්‍රාදේශීය සභාවේ ලේකම්වරයා පවා නොදන්නා බවද හෙතෙම පැවැසීය.
මෙහිදී අදහස් දැක් වූ රිදීගම ප‍්‍රාදේශීය ලේකම් එස්. එම්. එස්. නවාස් මහතා අදාල ඉඩම් බෙදාදීම පිළිබදව තමන් කිසිදු අවස්ථාවක දැනුම්වත් කර නොමැති බව පැවැසීය. රජය විසින් ක‍්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති සදහා ඉඩම් ඉල්ලා සිටීමේදී එලෙස ලබාදීමට තරම් ඉඩම් කොට්ඨාශය තුළ නොමැති තත්වයක් තුල කොට්ඨාශයේ ඇති ඉඩම් පිටස්තර පුද්ගලයින් වෙත ලබාදීම අනුමත කළ නොහැකි බවද හෙතෙම පැවැසීය. එබැවින් ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසම සතු මෙවැනි ඉඩම් තවත් ඇතිනම් ඒවා පිටස්තරයින් අතට පත්නොවී ආරක්ෂා කර ගත යුතු බවද ප‍්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් පැවැසීය.
අදාල ඉඩම් කැබැලි මිලදීගත් පුද්ගලයින් විසින් ඒවායේ තිබූ ගස් කපා දමා භූමිය හෙළිපෙහෙළි කරමින් ඇති අයුරු මෙන්ම එම බිම් කොටස් විකුණන බව දන්වමින් දැන්වීම් ප‍්‍රදර්ශණය කර ඇති අයුරුද එහි ගිය අපට දැකගත හැකි විය.