Sunday, November 24, 2024

පොහොට්ටු පිලේ තෙල් විරෝධයෙන් වයඹ පළාත් සභා රැස්වීමත් අතරමග නවතී.

Must read

jo_protest_nwp

වත්මන් රජයේ වැඩපිළිවෙලට සහ රට තුළ ඇති වී තිබෙන ඉන්ධන හිගයට විරෝධය පළකරමින් වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරු පිරිසක් සභා ගර්භයෙන් පිටවීයාම හේතුවෙන් අද (07 දා ) පැවැති වයඹ පළාත් සභා රැස්වීමේදී එකම යෝජනාවක් හෝ විවාදයට නොගෙන අතරමගදී කල්තබන්නට එහි සහාපතිවරයාට සිදුවිය.

වයඹ පළාත් සභා රැස්වීමේ මන්ත‍්‍රීවරුන්ගේ පුද්ගලික කරුණු දැක්වීම් අවස්ථාවේදී අදහස් දැක් වු ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී සුමිත් රාජපක්ෂ මහතා ඉන්ධන හිගය සහ වත්මන් ආණ්ඩුවේ ක‍්‍රියාකාරීත්වය විවේචනය කරමින් අදහස් දැක් වූ අතර සිය අදහස් දැක්වීම අතරතුරදී විරෝධතා පුවරුවක් ඔසවා සභාවට ප‍්‍රදර්ශණය කළේය. එම අවස්ථාවේදී සිය අසුන්වලින් නැගී සිටි ආණ්ඩු පක්ෂයේ සෙසු මන්ත‍්‍රීවරුන්ද ඔවුන් විසින් එතෙක් සගවාගෙන තිබූ විරෝධතා පුවරු ප‍්‍රදර්ශණය කරමින් කෑකෝ ගසන්නට වූහ. ඊට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් විරෝධය දැක්වීමත් සමග දෙපිරිස අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වූ අතර, ඒ හේතුවෙන් සභා රැස්වීම එකම කාලගෝට්ටියක් බවට පත්විය. සභාව තුළ විනාඩි දෙකක පමණ කාලයක් විරෝධතා පුවරු ප‍්‍රදර්ශණය කරමින් විරෝධය දැක්වූ මන්ත‍්‍රී පිරිස එම පුවරු ඔසවාගෙනම සභාගර්භයෙන් ඉවත් වී ගියහ.ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් එලෙස සභාගැබෙන් ඉවත්ව යද්දී වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, සෞඛ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වේඩරුව සහ මන්ත‍්‍රීනි ඉන්ද්‍රානි දසනායක ඇතුලු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමැතිවරුන් කිහිපදෙනෙකු එම විරෝධයට එක් නොවී ඔවුන්ගේ අසුන්වල සිට එදෙස බලා සිටින අයුරු දැකගත හැකි විය. මන්ත‍්‍රීවරුන්ගේ ඉවත්වීයාමෙන් පසුව වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි බණ්ඩා, තේ විවේකය සදහා සභාව කල්තැබීමට නිවේදනය කළේය.

තේ විවේකයෙන් පසුව සභාවේ කටයුතු යළි ආරම්භ වූ නමුත් ඒ වනවිට ආණ්ඩු පක්ෂය පැත්තේ අසුන්ගෙන සිටියේ මන්ත‍්‍රීවරු පස්දෙනෙකු පමණි. මන්ත‍්‍රී පියුමාල් හේරත් මහතා විසින් ප‍්‍රකාශයක් කිරීම සදහා සූදානම් වූ අවස්ථාවේදී නැගී සිටි විපක්ෂනායක ශමල් සෙනරත් මහතා සභාව තුළ ගනපූර්ණය නොමැති බවට රීති ප‍්‍රශ්නයක් මතුකළේය. සභා රැස්වීමක් පවත්වාගෙනයාම සදහා අවශ්‍ය මන්ත‍්‍රී ගනපූර්ණය ඒ වනවිට නොමැතිවීම හේතුවෙන් වයඹ පළාත් සභාව ලබන 21 වැනිදා දක්වා කල්තැබීමට සභාපති ටිකිරි බණ්ඩා විසින් නිවේදනය කිරීමත් සමග සභාවේ කටයුතු දහවල් 12 ට පමණ අවසන් විය.

මන්ත‍්‍රී පිරිස විරෝධයේ යෙදුණු අයුරු සහ වයඹ ඇමැති මණ්ඩල සාමාජිකයින් බලාසිටිද්දී සෙසු මන්ත‍්‍රීවරු සභාගැබෙන් නික්ම ගිය අයුරු වයඹ ටුඩේ කැමරා ඇසෙහි මෙලෙස සටහන් විය.

jo_protest_nwp1

jo_protest_nwp2

jo_protest_nwp3

jo_protest_nwp4

jo_protest_nwp5

jo_protest_nwp6

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article