මැතිවරණ පැවැත්වීම සදහා අවශ්‍ය පසුබිම සකස්කර දිය යුත්තේ පළාත්පාලන අමාත්‍යංශය සහ පාර්ලිමේන්තුව විසින් බවත්, මැතිවරණ පැවැත්වීම කල්යන්නේ ඊට අදාල නීති සකස්කර අවසන් නොවීම හේතුවෙන් බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පැවසීය.
ඒ මහතා මෙලෙස පැවසුවේ ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේදී ඉකුත් 03 වැනිදා පැවැති ඡන්දදායක දින සැමරුම් උත්සවයකට සහභාගිවෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මහින්ද දේශප‍්‍රිය මහතා මෙසේද පැවසීය.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව සතුය කියලා. ඒ වගේම කියනවා එම ව්‍යවස්ථාදායක බලය ක‍්‍රියාත්මක කල යුත්තේ ජනතාවගේ ඡන්දයෙන් පත්කරගන්නා මන්ත‍්‍රීවරුගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසිනි කියලා. එහෙම නම් ජනතාවගේ බලය ක‍්‍රියාත්මක කිරීමට නම් ඡන්දයක් තිබිය යුතුයි. ජනතාව විසින් තමන්ගේ කතිරයෙන් තමයි රටේ ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තුවට නීතිය ක‍්‍රියාත්මක කිරීම සහ රටේ ආරක්‍ෂාව ඇතුළු සියලු බලතල පිරිනමන්නේ. ජේ. ආර්.ජයවර්ධන මහත්මයා හරි, පේ‍්‍රමදාස මහත්තයා හරි , විජේතුංග මහත්තයා හරි , චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය හරි, මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හරි, දැන් ඉන්න මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා හරි ඒ අය පාවිච්චි කරන්නේ ඒ අයගේ බලයද ? නෑ, අපේ බලය. අපේ විධායක බලය, ජනතාව සතු බලය. ඒ බලය ඒ ගොල්ලන්ට දුන්නේ කොහොමද ? අපි ඡන්දපොලට ගිහිල්ලා ගහන කතිරෙන්. ඒ කතිරේ බලෙන් තමයි ඒ ගොල්ලන්ට ඒ බලය හම්බවුණේ. ගමේ ඉන්න ෆාතිමා හරි , මුරුගන් හරි, අප්පුහාමි හරි ඡන්දපොලට ගිහින් දාන ඡන්දේ බලෙන්.
අපේ රටේ ඕනෑම කෙනෙකුට අවුරුදු 18 වැඩි නම් භේදයක් නැතිව හම්බවෙන්නේ මොනවාද ? දෙකයි. එකක් මරණය. වළක්වන්න බෑ. අනිත් එක තමයි ජන්දය. මරණයට අපි කවුරුත් කැමති නෑනේ. ඒ නිසා අකමැත්තෙන් හරි අපි ඡන්දය ගන්න ඕනෑ. මොකද ඒක විතරයි ස්ත‍්‍රී පුරුෂ, දුප්පත් පොහොසත්, උගත් නූගත්, භාෂාව , ආගම , ජාතිය, කුලය, ප‍්‍රදේශය යන කිසිවක් නොසලකා පවතින්නේ. ඇයි අපි ඒක අතහරින්නේ ? අපිට ගම්වලට ගිහින් පන්ති තියලා මිනිස්සුන්ට ඒක කියලා දෙන්න පුලුවන්ද ? පොල්පිතිගමට, බුල්නෑවට ගිහිල්ලා අපිට මිනිස්සුන්ට පරමාධිපත්‍ය ගැන කියලා දීලා වැඩක් තියෙනවාද ? ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේ ය , එය අත්හල නොහැක්කේය , පරමාධිපත්‍ය පාලන බලතල මූලික අයිතිවාසිකම් හා ඡන්ද බලයද ඇතුලත් වන්නේය කියලා කටපාඩමින් කිව්වට ඒගොල්ලන්ට තේරෙනවාද ? නැහැ. එහෙම කීවට ජනතාව තේරෙන්නේ නෑ. මළගෙවල්වලදී, මගුල් ගෙවල්වලදී, කැරම් ගහන වෙලාවට , ඕමි ගහන වෙලාවට බූරු ගහන වෙලාවට, දානේ ගෙදර දානේ උයන වෙලාවෙදී අපිට පුලුවන් මේ කරුණු කතාකරන්න. බස් එකේ යනකොට , නිදිමත හැදෙනකොට විහිළු කතා, දෙපිට කැපෙන කතා කියනකොට ඇයි අපට බැරි ඡන්දයේ වැදගත්කම ගැන කතා කරන්න බැරි. ඇයි ඉස්කෝලේ දරුවෝ එක්ක මේ ගැන කතාකරන්න බැරි ? ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ මොකක්ද, ඡන්ද බලය කියන්නේ මොකක්ද කියලා දැනුම මිනුම තරගවලට දාන්න බැරි ඇයි ?
මට මේ කුරුණෑගලදී හරි කෑගල්ලේදී හරි කවුරුහරි අම්මා කෙනෙක් කීවා සර් හොද වැඩක් නම් තියෙනවා පරමාධිපත්‍යයයි, ඡන්ද බලයයි ගැන ලංකාවේ අයට උගන්වන්න නම් . පහේ ශිෂ්‍යත්ව විභාගෙට ඕක දාමු කිව්වා ඕක. ඔක්කොම අම්මලා ඡන්ද බලේ ගැන ඉගෙන ගන්නවා කීවා. තාත්තලටත් කියලා දෙනවා කියලා කීවා. උපදින්න ඉන්න ළමයටත් කියලා දෙනවා කිව්වා. ඒක ඇත්තයි. අපේ අම්මලා නූගත් කියන එක බොරු. ඒ නිසා අපි පහේ ළමයින්ට කෙසේ වෙතත් විශ්ව විද්‍යාලේ යන්න ඉන්න ළමයින්ටවත් මේ ගැන කතා කරන්න බැරි.
අපි කියනවා අද තරුණයෝ ඡන්දෙ ගැන උනන්දු නෑ කියලා. ඒක බොරු. අද තරුණයෝ කැමති ලයික් දාන්න කමෙන්ට් දාන්න විතරක් නෙමෙයි. මම දැක්කා පොතක තියෙනවා තරුණයින්ට සමාජ වැඩ ඇලජික්ද කියලා. එහෙම ඇලජික් නැහැ. තරුණයෝ සමාජ වැඩවලට , දේශපාලන වැඩවලට කැමතියි. නමුත් එපා වෙලා තියෙන්නේ ඇයි. එයාලගේ හිතේ තියෙනවා දේශපාලඥයෝ කියන්නේ යක්කු, පෙරේතයෝ, රාස්සයෝ කන පරාස්සයෝ , බෝවෙන රෝග වලින් පෙලෙන අය, හොරු, අල්ලස් දෙන, අල්ලස් ගන්න අය කියලා. ඒක වැරදියි. ගන්න අය ඇති. නමුත් ඒ අයට ඒවා දෙන්නේ කවුද ? ඒ ගොල්ලන්ට ඡන්දේ දෙන්න කවුද ? සිරකරුවෝද මනුෂ්‍යයෝය කියලා කියනවා. ඒ වගේ තමයි දේශපාලනඥයෝද මනුෂ්‍යයෝය. මේ දේශපාලඥයින්ට කවුද ඡන්දේ දුන්නේ. කවුද ඒ අයව තෝරාගත්තේ ? අපේම ඡන්ද ලැයිස්තුවල ඉන්න අපේම ඥාති තමයි. ඒ එක් කෙනෙක්වත් අගහරු ලෝකෙන් හරි, අයිස්ලන්තෙන් හරි, ඉන්දියාවෙන් හරි ආවේ නැහැ. ඒ ඔක්කොම අපේ රටේ. එයාලට ජන්දේ දුන්නේ අයිස්ලන්තේ හාදයෝද ? නැත්නම් පැපුවා නිව්ගිනියාවල හාදයෝද ? චිලීවල හාදයෝද ? නෑ ඔක්කොම දුන්නේ ලංකාවේ හාදයෝ. ජන්දේ දීලා කියනවා මුන් හොරකම් කරනවා ඇර වෙන මුකුත් කරන්නේ නෑ කියලා. ඒකේ ඇත්තක් තියෙනවා නම් අපි ඔක්කොම ඒකට වැරදිකාරයෝ. සල්ලි දීලා නිලධාරින් ගන්නවාටත් වැඩිය නරක දේ තමයි සල්ලි දීලා ඡන්දදායකයෝ ගන්න එක. ඊටත් වැඩිය නරක එක තමයි ඡන්දහිමියෝ සල්ලි අරගෙන ඡන්දේ දෙන එක. අපි කියනවා අල්ලස් ගන්න එක වැරදියි. ගන්න එක වගේම දෙන එකත් වැරදියි. දේශපාලඥයෝ ඡන්දේ ගන්න අල්ලස් දෙනවා නම් ගන්න අපිත් වැරැදියි.
අද ඕනම මල ගෙදරකට ගියොත් ඉඳගන්න තියෙන ප්ලාස්ටික් පුටුව පිටිපස්සේ ගහලා තියනවා, අහවල් මැතිතුමාගේ ප‍්‍රතිපාදනවලින් ප‍්‍රදානය කරන ලදී කියලා. වාඩිවෙලා ඉන්න ටෙන්ට් එකේ ගහලා තියෙනවා අහවල් මැතිතුමා දුන්නා කියලා. ඒකටද අපිට මන්ත‍්‍රීවරු ඕනේ ? මල ගෙදරට පුටු ඉල්ලගන්නද, බඩු ලබාගන්නද අපිට මන්ත‍්‍රිවරු ඕනේ ? ගංවතුර වෙලාවෙදි සහන මල්ලක් ඉල්ලගන්නද මන්ත‍්‍රීවරු ඕනේ ? එහෙම නැත්නම් ප‍්‍රතිපත්ති සම්පාදනයටද මන්ත‍්‍රීවරු ඕනේ ? ඒ නිසයි රෙස්පොන්සිබල් වෝටින් කියන එක එහෙම නැත්නම් වගකීමක් සහිතව ඡන්දය දෙනවයි කියන එක තමයි අපිට ඕනේ.
අපි හැමෝම බණිනවා ඉන්දියාවේ තරුණයින්ට. ඉන්දියාවේ සල්ලිවලට තමයි ඡන්දේ දෙන්නේ. නමුත් තමිල්නාඩුවේ ෆේස්බුක් එකේ තරුණයින්ගේ ප්‍රොපියිල් පික්චර් එක වෙනස් කළා. මොකක්ද දැම්මේ. ඡන්දය දීමට පොරොන්දු අවශ්‍ය නැත, ජන්දය සඳහා නෝට්ටු අවශ්‍ය නැත කියලා. අපිට කවද්ද ඒක කරන්න පුලුවන් වෙන්නේ. අපේ රටේ ත‍්‍රීරෝද ලක්‍ෂ දහයක් දුවනවා. එයින් දහදාහක පිටිපස්සේ අපිට ගහන්න පුලුවන් වෙයිද අපි මැතිවරණ නීති ආරක්‍ෂා කරමු කියලා. ලංකාවේ ගම් දාහතරදාහක් තියෙනවා. ඒ ගම් දාහතරදාහෙන් එක ගමක ගෙවල් පහක අපි බැරිවෙයිද බැනර් එකක් දාන්න අපි නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් පෙනී සිටිමු කියලා. ඒක කරන්න පුලුවන් වෙන්නේ අපේ තරුණයෝ දැන් ඉන්න අපි වගේ වැඩිහිටියන් ළඟ තියෙන නරක දේවල් අයින් කරලා හොඳ දේවල් අරගෙන ඒ වෙනුවෙන් පෙනී සිටියොත් පමණයි.
අපේ රටේ ඡන්දදායකයෝ ලක්ෂ එකසිය පනහක් විතර ඉන්නවා. අපේ රටේ කාන්තාවෝ කොච්චර ඉන්නවාද ? අර ලක්ෂ එකසිය පනහෙන් ලක්ෂ හැත්තෑහතක් විතර කාන්තාවෝ. සියයට පනස් දෙකක්. ඔය සියයට පනස්දෙකට පාර්ලිමේන්තුවේ කාන්තාවෝ කීදෙනෙක් ඉන්නවාද ? අඩුම ගණනේ එකසිය විස්සක් ? නමුත් ඉන්නේ කී දෙනාද ? දහතුන් දෙනයි. මොනවද මිනිස්සු කියන්නේ, අපෝ වැඩක් නෑ, ඔය කාන්තාවෝ ඉන්නේ එක්කෝ මහත්තයා මැරුනොත්, නැත්නම් තාත්තා මැරුනොත්, අයියා මල්ලි මැරුනොත්ථ, එහෙම නැත්නම් නිළියක් හරි ක‍්‍රීඩිකාවක් නම් කියලා. නමුත් අනිත් පැත්තට කල්පනා කරන්නේ නැහැ. පිරිමි කීදෙනෙක් ඇවිත් ඉන්නවාද තාත්තා හින්දා ? පිරිමි කීදෙනක් ඇවිත් ඉන්නවාද නලූවෝ සහ ක‍්‍රීඩකයෝවීම නිසා. මේක මාර වැඩක්. කාන්තාවන්ට විතරයි අර නීතියයි, නොසැලකිල්ලයි.
1998 දී තිබුණු වරුණ කරුණාතිලකට එරෙහිව දයානන්ද දිශානායක කියන නඩුවේදී අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීන්දුවක් දෙනවා ”යම්කිසි තැනැත්තෙකු ඡන්දපොලකදී ඡන්ද කුටිය තුලදී ස්වකීය ජන්ද පත‍්‍රිකාව රහස්‍ය ලෙස ලකුණු කිරීමෙන් ප‍්‍රකාශ කරනු ලබන අදහස යම් තැනැත්තෙකු වේදිකාවක කරන ප‍්‍රසිද්ධ කතාවකදී ප‍්‍රකාශ කෙරෙන අදහස් ප‍්‍රකාශ කිරීමකට කිසිසේත්ම දෙවැනි නොවේ” කියලා. ඒ කියන්නේ යම් කෙනෙක් කරන වේදිකාවක චතුර විදිහට කරන කතාවට සමානයි ගමේ අහිංසක ඡන්ද දායකයෙක් ජන්දපොලට තමන්ගේ ජන්දය ප‍්‍රකාශ කිරීමෙන් කරන අදහස. එහෙයින් ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුවෙන් කියනවා ඡුන්ද බලය කියන්නේ අදහස් ප‍්‍රකාශ කිරීමක්. භාෂණයේ නිදහසක් සහ අදහස් ප‍්‍රකාශ කිරිමේ නිදහසක්. එය මූලික අයිතිවාසිකමක්. ඒක කියන්නේ ඡන්ද බලය මූලික අයිතිවාසිකමක් වෙනවා කියලා. තමන්ගේ බිරිදගේ ඡන්දය දාන එක වළක්වන්නවත් කෙනෙකුට අයිතියක් නැහැ. එය ඕනෑම ඡන්ද විමසීම් පනතක දඩුවම් ලැබිය හැකි වරදක්. ඒ නීතිය අපේ රටේ ක‍්‍රියාත්මක කරන්නේ නැහැ. ගිහින් කියන්න පුලුවන් උඹ කැමැති එකෙක් නැත්නම් ගිහිල්ලා කැන්සල් කරලා වරෙන් කියලා. හැබැයි මේක අද ඊයේ නෙවෙයි. 1930 ගණන්වල රාජ්‍ය සභා ඡන්දේ තියෙද්දී එක්තරා අපේක්‍ෂකයෙකුට ඡන්දෙ දාන්න එන අය වැලැක්වීම සදහා රා පෙවූ අලි පාරේ ඇවිද්දලා තියෙනවා. ඒ දඩු කඩලා දාලා තියෙනවා. කාන්තාවන් ජන්දපොලට එන එක වළක්වන්න අරක්කු පොවපු පිරිමි හෙලුවෙන් පාරේ ඇවිද්දවලා තියෙනවා. එහෙම ඉතිහාසයක් තියෙන රටක අපි ඉන්නේ. හැබැයි දැන් කාලෙක ඉදලා අපේ ඡන්ද පොලවල් අපේ පාලනයට අරගෙන තියෙනවා. හැබැයි අපි තනියම නෙවේ. පොලිසියේ, අනිකුත් නිලධාරින්ගේ, සියලුම සිවිල් පුරවැසියන්ගේ සහ මාධ්‍යවේදීන්ගේද, යහපත් දේශපාලනඥයිනගේද සහය ඇතිව. මේ අවස්ථාවේදී ඒ සහය වූ සියලු දෙනාටම මම ස්තූති කරන්න කැමැතියි.
අපේ රටේ හැමෝම කියන්නේ ඡන්දේ නෑ, මැකොනම් ඇවිද ඇවිද ඉන්නවා. ඡන්ද නෑ කියලා කවුරුත් කියනවා. ඒ ගැනත් මම කෙටියෙන් කියන්න ඕනෑ. කෙටියෙන්ම කිව්වොත් ඡන්දේ නැත්තේ ඡන්දේ තියන්න ඕනෑ විදිහට ඡන්දේ ලෑස්තිවෙලා නැති නිසයි. දැන් මේ පිට්ටනියට හොදට වහිනවානේ. දැන් මැච් එකක් ගහන්න පුලූවන්ද ? බැහැ, පෑව්වට පස්සේ ගහන්න පුලුවන්ද? බැහැ, වතුර අස්කරලා ඒ වැඩකටයුතු කළොත් තමයි මැච් එක ගහන්න පුලුවන්. ඒක කරන්න ඕනේ කවුද ? පිට්ටනියට නියමාකාරයට හදන්න ඕනේ මේ පිට්ටනියේ භාරකාරයෝ. අම්පයර්ස්ලාටයි, ඉස්කෝරස්ලටයි වතුර අස්කරන්න බැහැ. අපි කරන්නේ ඒ වැඩේ. පළාත්පාලන අමාත්‍යංශයයි, පාර්ලිමේන්තුවයි තමයි පිට්ටනිය හදලා දෙන්න ඕනෑ. වැස්සොත් ඕවර්ස් ගාණ අඩු කරන්න ඕනෑද කියන එක මට තීරණය කරන්න බැහැ. අයිසීසී එකේ රූල්ස්වලට තමයි ඕවර්ස් ගණන අඩුකරන්න ඕනේ. අපේ අයිසීසී එක කවුද ? අපේ පාර්ලිමේන්තුව. ඒගොල්ලෝ නීතිහදලා ඉවර නැහැ අපිට තවම ඡන්දය තියන්න. ඒක නිසා තමයි මට ඇවිද ඇවිද ඉන්න වෙලා තියෙන්නේ. හැබැයි ඒ ඇවිදීම ඡන්දේ තියන්න ප‍්‍රයෝජනවත් දෙයක්. අන්ධ ඡන්දදායකයෝ ඡන්දේ ගැන උනන්දුවක් නැතිව ඉන්නවාට වඩා රෙස්පොන්සිබල් වෝටින් ගැන උනන්දු කරවන්න අපි උත්සහ කරනවා. අපිට කොයි මහත්තයා හරි, කොයි නෝනා හරි, කොයි පැවිදි උතුමාණෝ හරි ඔය කවුරු දිනුවත් අපිට ප‍්‍රශ්නයක් නැහැ. මැතිවරණ කොමිසම් සභාවට නැත්නම් මැතිවරණ දෙපාර්තමේන්තුවට කවුරු දිනුවත් ඒකේ ප‍්‍රශ්නයක් නැහැ. අපි අපේ රස්සාව තමයි කරන්නේ. අපි බැදිලා ඉන්නවා අපේ රස්සාව කරන්න අපි හෘද සාක්ෂියට එකගව ඒක කරනවා.
මෙම උත්සවයට රාජ්‍ය නිලධාරීන් , සිවිල් ක්‍රියාකාරීන් සහ ඡන්දදායකයින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.