Sunday, November 24, 2024

සිසුවෙකු පැහැරගත්තැයි බොරු බියකින් වඩුපොළ සිද්ධාර්ථ විදුහල කැළඹෙයි.

Must read

kidnap
kidnap

ඉබ්බාගමුව , වඩුපොළ සිද්ධාර්ථ විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටින සිසුවෙකු පිටස්තරින් පැමිණි නාදුනන පිරිසක් විසින් පැහැරගෙන යනු දුටු බවට, එම විදුහලේ ඉගෙනුම තවත් සිසු පිරිසක් විසින් කළ ප‍්‍රකාශයක් හේතුවෙන් ඊයේ (01 දා) දහවල් එම විදුහල තුළ මෙන්ම ඉබ්බාගමුව ප‍්‍රදේශය පුරාද මහත් කැළඹීමක් ඇතිවිය.

ඉබ්බාගමුව නගරයේ සිට කිලෝමීටර් තුනක පමණ දුරින් පිහිටි වඩුපොළ සිද්ධාර්ථ විද්‍යාලය ප‍්‍රාථමික අංශ පන්ති පමණක් පැවැත්වෙන පාසලකි. ඊයේ උදෑසන කාලයේ පාසලේ වැට අයිනේ ගැවසෙමින් සිටි නාදුනන පුද්ගලයින් කිහිපදෙනෙකු ළමයෙකුගේ කට අතින් වසාගෙන සිටිනු තමන් දුටු බවට එම විදුහලේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් පිරිසක් විසින් විදුහල්පතිවරයාට දැනුම් දී තිබේ. පසුව විදුහල්පතිවරයා විසින් කළ දැනුම්දීමකට අනුව එහි පැමිණි ගොකරැල්ල පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් පාසලේ සියලු ළමුන් පිට්ටනිය වෙත කැදවා ඊයේ උදෑසන ලකුණු කළ නාම ලේඛණ අනුව ළමුන් එකිනෙකා පරීක්ෂාවට ලක්කළහ. එහිදී ළමුන් කිසිවෙකුගේ හෝ අඩුවක් නොමැති බව අනාවරණය වූ අතර එදින පාසල් නොපැමිණි දරුවන්ගේ නිවෙස්වලට දුරකථන ඇමැතුම් ලබාදෙමින් ඔවුන් නිවෙස්වල සිටින බව තහවුරු කරගැනීමටද පොලිසිය කටයුතු කළේය. දරුවෙකු පැහැරගෙන ගොස් ඇති බවට වූ ආරංචියක් ප‍්‍රදේශය පුරා පැතිරයාම හේතුවෙන් සිද්ධාර්ථ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ මව්පියන් මෙන්ම ප්‍රදේශවාසීහු විශාල පිරිසක්ද පාසලට පැමිණ සිටි අයුරු දැකගත හැකි විය.

මේ පිළිබදව ඉබ්බාගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා සුමේධා රත්නසේකර මහත්මියගෙන් කළ විමසීමකදී ඕ පැවසුවේ මෙය ළමුන් පිරිසක් විසින් කළ ප‍්‍රකාශයක් පදනම් කරගනිමින් පැතිර ගිය අසත්‍ය ප‍්‍රචාරයක් බවය. වඩුපොළ සිද්ධාර්ථ විද්‍යාලයේ ඉගෙනුම ලබන කිසිම සිසුවෙකු හෝ සිසුවියක පැහැරගැනීමකට හෝ අතුරුදන්වීමකට ලක්ව නැති බවද අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් කීවාය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article