මීගලෑව මහජන බැංකු ශාඛාවට හොරෙන් ඇතුඵ වී එහි සේප්පුවක් කඩා බැංකුවට උගස් කළ රන් ආභරණ කොල්ලකෑමට තැත්කළ පුද්ගලයෙකුට විනාඩි 45කට වැඩි කාලයක් තිස්සේ දැරූ දැඩි පරිශ‍්‍රමයකින් පසුවවත් සේප්පුව විවර කරගැනීමට නොහැකිවීමෙන් බැංකුව තුළ තිබූ පුන්‍යාධාර පෙට්ටියක් රැගෙන පලාගොස් ඇතැයි මීගලෑව පොලිසිය කියයි.
පසුගිය සිකුරාදා රාත‍්‍රියේ බැංකු ගොඩනැගිල්ලේ පිටුපස බිත්තිය අලවංගුවක් සහ යකඩ කපන කියතක් ආධාරයෙන් කපා දමා රාත‍්‍රි 12.50ට පමණ මෙම පුද්ගලයා බැංකු පරිශ‍්‍රය තුළට කඩාවදින ආකාරය ආරක්ෂිත කැමරාවල සටහන් වී ඇති බව පොලිසිය කියයි.
බැංකු පරිශ‍්‍රයට ඇතුළු වූ මෙම පුද්ගලයා පළමුව ණය දෙන අංශය වෙත ගොස් එහි තිබූ ලිපි ගොනු විසුරුවා දමන ආකාරයත්, ඉන් පසුව උගස් අංශයට ඇතුලු වී උගස් කරන ලද රන් භාණ්ඩ තැන්පත් කර තිබෙන ආරක්ෂිත සේප්පුව අලවංගුවක් ආධාරයෙන් බිඳ දැමීමට විනාඩි 45 කට වැඩි කාලයක් තිස්සේ උත්සාහ කරන ආකාරයත් ආරක්ෂිත කැමරා දර්ශනවල සටහන් වී තිබෙන බවද පොලිසිය කියයි.
රන් භාණ්ඩ සහිත සේප්පුව විවෘත කිරීමට ගත් උත්සාහය අසාර්ථකවීම නිසා මෙම පුද්ගලයා වකුගඩු අරමුදලට මුදල් එකතු කිරීම සදහා බැංකුවේ මුදල් කවුන්ටරයක් මත තබා තිබූ පුන්‍යාධාර පෙට්ටිය රැගෙන ගොස් ඇති අතර මුදල් ඉවත්කරගත් හිස් පෙට්ටිය බැංකු ගොඩනැගිල්ලේ පිටතින් පිහිටි වැසිකිළිය අසලට විසිකර දමාගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනතුරු කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත.