-
දිස්ත්‍රික්කයේ තිබෙන නීත්‍යානුකූල සුරාසැල් 258 න් 161 ක්ම පිහිටා ඇත්තේ පන්නල වීම ඊට හේතුවයි.
-
කුරුණෑගල ජනගහණයෙන් සියයට දහසයක්ම (16 %ක් ) මත්ද්‍රව්‍ය භාවිතා කරනවා.
-
ඒ අතරින් එක් ලක්ෂ දාහතර දහසක පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා.
-
දිස්ත්‍රික්කයේ අවුරුදු 20-30 අතර තරුණ ප්‍රජාව වැඩිපුරම ඇබ්බැහි වී සිටින්නේ හොරොයින් ඇතුලු නීතිවිරෝධී මත්ද්‍රව්‍යවලටයි.
කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තිහ අතරින් වැඩිම මත්ද්‍රව්‍ය භාවිතාකරන්නන් ප්‍රමාණය පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් වාර්තාවන බවත්, කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පිහිටි නීත්‍යානුකූල සුරාසැල් 258 න් 161 ක්ම පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි පිහිටා තිබීම එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මත්ද්‍රව්‍ය භාවිතය ඉහළයාමට හේතු වී ඇතැයිද කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ගාමිණී ඉලංගරත්න මහතා පැවැසීය.
දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හිරියාල මැතිවරණ කොට්ඨාශයේ, මීගහඇළ විද්‍යාලීයිය ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැති මතින් නිදහස් රටක් ප්‍රාදේශීය සමුඵව අමතමිනි.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ තිහම ආවරණය වන පරිදි සිදුකළ සමීක්ෂණයකදී මෙම තොරතුරු අනාවරණය වූ බව කී දිස්ත්‍රික් ලේකම්වරයා දහසය ලක්ෂ තිස් හයදහසක් වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමස්ත ජනගහණයෙන් පුද්ගලයින් දෙලක්ෂ පනස් හත්දහසක් පමණ මත්ද්‍රව්‍ය භාවිතාකරන බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට දහසයයි දශම තුනයි නවයක් (16.39 % ) වන බවද කීය. මෙම පිරිස අතරින් අතරින් පුද්ගලයින් එක් ලක්ෂ දාහතර දහසකට වැඩි පිරිසක් (114000 ) මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බවද හෙතෙම පැවැසීය.
පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ වෙසෙන පුද්ගලයින් 25202 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිතාකරන බව අනාවරණය වී ඇති බව කී ඉලංගරත්න මහතා දිස්ත්‍රික්කය තුළ ඇති නීත්‍යානුකූල සුරාසැල් 258 න් 161 ක්ම පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටා තිබීම එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මත්ද්‍රව්‍ය භාවිතය ඉහළයාමට හේතු වී ඇතැයිද වැඩිදුරටත් පැවසීය. අදාළ සමීක්ෂණයේදී හෙළි වූ තොරතුරුවලට අනුව දිස්ත්‍රික්කය තුළ වෙසෙන වයස අවුරුදු 10-20 ත් අතර පුද්ගලයින් 10228 ක්, වයස අවුරුදු 20-30 ත් අතර පුද්ගලයින් 23090 ක්, වයස අවුරුදු 30-40 ත් අතර පුද්ගලයින් 25229 ක් සහ වයස අවුරුදු 40-50 ත් අතර පුද්ගලයින් 25370 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට ඇබ්බැහි වී සිටින බව අනාවරණය වූ බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
මෙම පිරිසෙන් බහුතරයක් ඇබ්බැහි වී සිටින්නේ සිගරට් සහ මධ්‍යසාරවලට නමුත් වයස අවුරුදු 20-30 වයස් කාණ්ඩය නියෝජනය කරන තරුණ ප්‍රජාව වැඩිපුරම ඇබ්බැහි වී සිටින්නේ හොරොයින් ඇතුලු නීතිවිරෝධී මත්ද්රව්යවලටවීම අතිශය කණගාටුදායක තත්වයක් බවද ඉලංගරත්න මහතා පැවැසීය.