සමස්ත ලංකා නැටුම් තරගාවලියකට සහභාගිවීමට අවශ්‍ය මුදල් උපයාගැනීම සදහා දුම්මලසූරිය, තාවල්ල ධම්මාලෝක මහා විද්‍යාලයේ දරු දැරියන් ආධාර පත්‍රයක් රැගෙන ගෙයින් ගෙට සම්මාදමේ යාමේ සංවේදී පුවතක් පසුගිය ජූනි මාසයේදී අප වෙබ් අඩවිය ඔස්සේ වාර්තා කළෙමු.
එම පුවත කියවා සංවේදී වූ බොහෝදෙනෙකු මෙලෙක් වූ සිත්වලින් යුතුව එම දරු දැරියන් වෙත උපකාර කරන්නට ඉදිරිපත් වූ අතර එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස තාවල්ල විද්‍යාලයේ දරු දැරියන් හා සමානවම අගහිගකම්වලින් පෙළෙමින් සිටි දුම්මලසූරිය ජේ. ආර්. ජයවර්ධන විද්‍යාලයේ දරු දැරියන් පිරිසකටද සමස්ත ලංකා තරගයකට ඉදිරිපත්වීම පිණිස ආධාර උපකාර ලබාදීමට මැදිහත්වීමටද අපට හැකි විය.
ඒ සියලු පරිත්‍යාගශීලින්ගේ කැපකිරීම්, ආශිර්වාදයන් සහ පරිත්‍යාගයන් මල්ඵල ගන්වමින් එම පාසල් දෙකෙහිම දරු දැරියෝ අදාළ නැටුම් තරගාවලියෙන් සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ දෙකක් දිනාගැනීමට සමත් වූහ.
එම සිදුවීමට මාස කිහිපයකට පසුව , හැකියාවන් ඇතත් ඊට අගහිගකම් හරස් වූ තවත් අහිංසක දැරියන් පිරිසක් පිළිබදව යළිත් වාර්තා කරන්නට අපට සිදුව තිබේ.
සමස්ත ලංකා මට්ටමේ ක්‍රීඩා ජයග්‍රහණයක් පිළිබද සිහිනයක් අතපොවන මානය දක්වා සැබෑකරගෙන තිබියදී එම සිහිනයේ ඉතිරි අඩ සැබෑකරගැනීමේ දුෂ්කර වෑයමකට අද වන විට මුහුණ දී සිටින මෙම දැරියන් පිරිස පිළිබදව වාර්තාවන්නේ දොඩම්ගස්ලන්ද රාජකීය විද්‍යාලයෙනි.
මීට වසර කිහිපයකට පෙර වැසීයාමේ අවදානමට මුහුණ දී සිටි ඉබ්බාගමුව අධ්‍යාපන කලාපයට අයත් දොඩම්ගස්ලන්ද රාජකීය විද්‍යාලය අද වන විට සැලකෙන්නේ එම කලාපය තුළ පිහිටි දීප්තිමත් සහ ජනප‍්‍රිය පාසලක් ලෙසටය. දිනෙන් දින දියුණුව කරා පා තබන විද්‍යාලයක් වුවද ක‍්‍රීඩා පිටියක් නොමැතිවීම දොඩම්ගස්ලන්ද රාජකීය විද්‍යාලයට ඇති සුවිසල් අඩුපාඩුවක් බවට පත් වී තිබේ. විද්‍යාලයේ වොලිබෝල් පිටිය ලෙස යොදාගැනෙන්නේ පාසල් මිදුලය. එවැනි අපහසුතා මධ්‍යයේ වුවද පසුගියදා පැවැති වයඹ පළාත් වොලිබෝල් තරගවලදී වයස අවුරුදු 19 න් පහළ පළමු ස්ථානයටත්, වයස අවුරුදු 15 න් පහළ තෙවැනි ස්ථානයටත් පත්වෙමින් සමස්ත ලංකා මට්ටම දක්වා සුදුසුකම් ලැබීමට දොඩම්ගස්ලන්ද රාජකීය විද්‍යාලයේ සිසුවියෝ මේ වන විට සමත් වී සිටිති. ඔවුන් විසින් මෙම ජයග්‍රහණය වාර්තා කරන්නේ වොලිබෝල් ක්‍රීඩාව සදහා නම් දැරූ වයඹ පළාතේ පාසල් ගණනාවක් අභිබවා යමින් වීමද විශේෂත්වයකි.
වයඹින් ජයකෙහෙළි නැංවූ මේ දැරියන් දැන් තවත් සුවිසල් අභියෝගයකට මුහුණ දී සිටිති. ඒ සැප්තැම්බර් මස 17 වැනිදා පැවැත්වෙන සමස්ත ලංකා තරගවලට සහභාගිවීමේ අභියෝගයයි. සිතේ සහ ගතෙහි නොසිදුණු දිරියෙන් යුතුව සමස්ත ලංකා ජයග්‍රහණයක් වෙනුවෙන් මෙම දැරියන් මේ දිනවලදී තමන් සතු එකම වොලිබෝල දෙක භාවිතා කරමින් , සුපුරුදු පාසල් මිදුලෙහි පුහුණුවීම්වල යෙදී සිටින නමුත් එම තරගවලට සහභාගිවීමට යන වියහියදම් සොයාගැනීමේ ගැටලුවකට මුහුණ දී සිටිති. වයඹ පළාතෙන් බැහැරව දිවයිනේ වෙනත් ප්‍රදේශයෙකදී පැවැත්වීමට නියමිත සමස්ත ලංකා තරගවලට සහභාගිවීමේදී ප්‍රවාහන ගාස්තු සහ ක්‍රීඩා ඇදුම් පැළදුම් සදහා සදහා වැයවෙතැයි අපේක්ෂා කරන මුදල දරාගැනීමට තරම් මෙම දැරියන්ගේ පාසල හෝ ඔවුන්ගේ මව්පියන් වත්පොහොසත්කම් සහිත අය නොවෙති. ස්ථිර ආදායමක් හෝ රැකියාවක් නැති මේ දැරියන්ගේ බහුතරයක් වූ මව්පියන්ට අගහිගකම් ඉදිරියේ කදුලු සලනු හැර අන් විකල්පයක් ඉතිරිව නැත.
එබැවින් තාවල්ල විද්‍යාලයේ දරු දැරියන් වෙනුවෙන් උණු වූ සහ පරිත්‍යාගශීලි වූ මිනිසුන් මෙන් තමන් වෙතද සංවේදී වන මිනිසුන් මතුවන තෙක් පිටියක් නැතිව ගම දිනූ මේ දිරිය දියණියෝ දෑස් දල්වා බලා සිටිති. මක්නිසාද යත් සංවේදී සිත් සහිත මිනිසුන්ගෙන් සරණක් බලාපොරොත්තුවීම හැර මේ මොහොතේ ඔවුන්ට අන් සරණක් ඉතිරිව නැති හෙයිනි.
මේ දියණියන්ට යම් උපකාරයක් කිරීමට හැකි නම් 0372252677 අංකය ඔස්සේ දොඩම්ගස්ලන්ද රාජකීය විද්‍යාලයේ විදුහල්පති ජේ. එම්. ජයසේකර මහතා අමතා වැඩි විස්තර ලබාගත හැකිය.
පිටියක් නැතිව ගම දිනා දැන් රට දිනීමට සැරසෙන දිරිය දියණියන් පිළිබදව සැකසුණු කෙටි වීඩියෝවක් පහත දැක්වෙයි.