ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයෙන් තමන් වෙත විනය පරීක්ෂණ ලිපි එවනු ලැබුවහොත් ඒවාටත් ගිනි තබා විනාශ කරන බවත්, ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ මිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග නොකරන බවටත් පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයෙන් එවා තිබූ සම්මුඛ පරීක්ෂණ කැදවීම් ලිපි වලට පසුගියදා ප්‍රසිද්ධියේ ගිනි තැබූ කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් අද (06 දා) යළි ප්‍රකාශ කළහ.
හිටපු මන්ත්‍රීවරුන් මෙලෙස ප්‍රකාශ කළේ අද දහවල් කුරුණෑගලදී පැවැති මාධ්‍ය හමුවකදීය. මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රාදේශීය සභා හිටපු සභාපතිවරුන්, උප සභාපතිවරුන් සහ මන්ත්‍රීවරුන් ඇතුඵ පිරිසක් එක් වී සිටියහ.
එහිදී බිංගිරිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති දිමුත් තුෂාර ඒකනායක, කුරුණෑගල හිටපු නාගරික මන්ත්‍රී අබ්දුල් සත්තාර්, පොල්පිතිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රංජිත් විජේනායක, පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලිවේරා ගුණතිලක සහ කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රනිල් සංජය සිල්වා යන හිටපු මන්ත්‍රිවරුන් විසින් දැක්වූ අදහස් පළමු වීඩියෝවේ දැක්වෙන අතර වයඹ ටුඩේ වෙබ් අඩවිය විසින් අසන ලද ප්‍රශ්නවලට මාධ්‍ය හමුවට සහභාගි වී සිටි මන්ත්‍රිවරුන් ප්‍රතිචාර දැක් වූ ආකාරය දෙවැනි වීඩියෝවෙන් දැක්වෙයි.