Sunday, November 24, 2024

කුරුණෑගල දූෂණ මර්දන ස්ථානාධිපති ඇතුලු 13කට අද සිට හදිසි ස්ථානමාරු !

Must read

Police_viseකුරුණෑගල නගරයෙන් සහ ඒ අවට ප‍්‍රදේශවලින් මත්කුඩු තුරන් කිරීම පිණිස කැපීපෙනෙන මෙහෙවරක් ඉටුකරමින් සිටි කුරුණෑගල මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුලු නිලධාරීන් 13 දෙනෙකු අද (28 දා) සිට වහාම ක‍්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබේ.

කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න මහතාගේ නියෝගයකට අනුව කුරුණෑගල මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි පොලිස් පරීක්ෂකවරයා පොල්ගහවෙල පොලිසිය වෙතටත් සෙසු නිලධාරින් වැල්ලව, ගොකරැල්ල, වීරඹුගෙදර සහ පොතුහැර යන පොලිස් ස්ථානයන් වෙතද ස්ථාන මාරුකර යවා තිබේ.

දූෂණ මර්දන ඒකකයේ නිලධාරින්ගේ මෙම හදිසි ස්ථාන මාරුකිරීම නිශ්චිත හේතු දැක්වීමකින් හෝ නිදහසට කරුණු විමසීමකින් තොරව සිදු වී ඇති බවද වයඹ ටුඩේ වෙත වාර්තා වෙයි. දූෂණ මර්දන ඒකකයට සමගාමීව ක‍්‍රියාත්මක වූ කුරුණෑගල විස මත්ද්‍රව්‍ය මර්දන ඒකකයේ නිලධාරීන් කිහිපදෙනෙකුද මෙම ස්ථාන මාරුවීම් යටතේ වෙනත් පොලිස් ස්ථානයන් වෙත මාරුකර යවා තිබේ.

දූෂණ මර්දන ඒකකය නිලධාරින්ගේ හදිසි ස්ථාන මාරුකිරීම පිළිබදව කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම පැවසුවේ නිලධාරින්ගේ රාජකාරි ආකාර්යක්ෂමතාවය මත මෙම ස්ථාන මාරුවීම් සිදුකළ බවය.

කෙසේවෙතත් කුරුණෑගල මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන ඒකකය විසින් පසුගිය මාස කිහිපයේදී කුරුණෑගල හා ඒ අවට ප‍්‍රදේශවල මත්කුඩු වැටලීම් ගණනාවක් සිදු කළ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස නමගිය මත්කුඩු ජාවාරම්කරුවන් පිරිසක් සමග විශාල මත්කුඩු තොගයක්ද අත්අඩංගුවට ගැනීමට එම ඒකකයේ නිලධාරිහු සමත්වූහ. දූෂණ මර්දන ඒකකයේ අඛණ්ඩ වැටලීම් හමුවේ කුරුණෑගල සහ ඒ අවට ප‍්‍රදේශවලින් මත්කුඩු උවදුර බොහෝදුරට තුරන් වී තිබූ බව නගරවාසීන්ගේ පිළිගැනීම වී තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article